6 දා හර්තාලයෙන් ආණ්ඩුව නොගියොත්  11 දා සිට දිගටම හර්තාල්

670

සියලු වෘත්තීය සමිති බහුජන සංවිධාන හා සිවිල් සංවිධාන එක්වෙයි

මැයි 06 දින රට පුරා එක්දින හර්තාල් ව්‍යාපාරයක් සහ වැඩ වර්ජනයක් සංවිධානය කර ඇති බවත් ඒ සඳහා ආණ්ඩුව උත්තර නොදුන්නොත් වත්මන් ජනපීඩක ආණ්ඩුව ගෙදර යන තෙක්ම මැයි 11 දින සිට රට පුරා අඛණ්ඩ හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කරන බවත් වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ඊයේ (02 දා) ‘දිවයින’ට පැවසීය.

මේ සඳහා රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සියලු වෘත්තීය සමිති එක්වන බවත් මේ හර්තාල් ව්‍යාපාරය සඳහා වන තීන්දුව ඊයේ කොළඹට රැස්වූ වෘත්තීය සමිති ව්‍යාපාර, බහුජන සංවිධාන සහ විවිධ ක්ෂේත්‍රවල සංගම් තීරණය කළ බවත් සමරසිංහ මහතා කීවේය.

“මේ ආණ්ඩුවට ජනතා ප්‍රශ්න විසඳන්න බෑ. යන්න කිව්වම මේ ආණ්ඩුවට තේරෙන්නෙ නැති නිසා අපි දැන් ආණ්ඩුව පන්නන්න යන්නේ” යැයි ද වසන්ත සමරසිංහ මහතා කීවේය.

ආණ්ඩුව යන්නෙ නැත්නම් 11 වැනිදා සිට අඛණ්ඩ හර්තාල් ව්‍යාපාරයකට රට කැඳවන බව ද ඒ තීරණය ඊයේ ගත් බව ද ඒ මහතා කීවේය.

මැයි 06 වැනිදා වැඩ වර්ජනය සහ හර්තාල් ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරය ඇතුළු සියලු බහුජන සංවිධාන සහ විවිධ ක්ෂේත්‍රවලට අයත් සංගම් හා සිවිල් සංවිධාන සහාය දක්වන බව ද වසන්ත සමරසිංහ මහතා කියා සිටියේය.

අපි මේ වසරේ (2022) ජනවාරි 08 සිට ආණ්ඩුවට එරෙහිව විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග ගත්තා. ඒ අනුව අපේ පසුගිය සමුළුවකදී තීරණය කළා ඉකුත් අප්‍රේල් 28 දින වැඩ වර්ජනයක් සහ මැයි 06 වැනිදා හර්තාල් ව්‍යාපාරයක් පවත්වන්න. පසුගිය 28 වැඩ වර්ජනය දීප ව්‍යාප්තව කරා. ඉතාම සාර්ථක වැඩ වර්ජනයක්. ඒක අපි ආණ්ඩුවට දුන්න පෙරහුරුවක් පමණක් බව ද වසන්ත සමරසිංහ මහතා තවදුරටත් කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment