60 දශකය අගයන Silver Screen සම්මාන උළෙල වාසි බලාගෙන කරන දෙයක් නෙමෙයි – සනෝජා බිබිලේ

273

හැටේ දශකයේ කලා ශිල්පීන් වෙනුවෙන් පවත්වන Silver Screen ඇගයීම් උළෙල එළැඹෙන මැයි 06 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සවස 6.00 ට පැවැත්වෙනවා. මෙවැනි සම්මාන උළෙලක් පවත්වනුයේ ඇයි ද යන්න පිළිබඳව එම උළෙල සංවිධානය කරනු ලබන Silver Screen පදනමේ ලේකම් ප්‍රවීණ රංගන ශිල්පිනී සනෝජා බිබිලේ මීවිත අපත් සමග මෙලෙස පිළිසඳරකට එකතු වුණා. පහතින් පෙළගැසෙන්නේ මෙම උළෙල සංවිධානය කරනු ලබන්නේ ඇයි ද යන්න වග සහ එහි අරමුණයි.

“ඇත්තට ම අපි මේ වැඩසටහන ආරම්භ කළේ 50 දශකයේ සම්මාන උළෙලකින්. එය ගිය වසරේ දෙසැම්බර් මාසයේ 21 වැනිදා පැවැත්වුණා.

මෙම සම්මාන උළෙල කරන්න ප්‍රධාන හේතුව වුණේ මගේ පියා සුමිත් බිබිලේ නිසයි. මොකද ඔහුට ඕනෑ වුණා ඔහුත් සමග රඟපෑ 50 දශකයේ සිනමා නළු නිළියන් මුණගැසෙන්න. කතා කරන්න. මේ නිසා මගේ පියා මගෙන් ඉල්ලීමක් සිදුකළා මොකක් හරි දෙයක් සංවිධානය කරන්න කියලා. මම ඒකට ගොඩක් උත්සාහ දැරුවත් අවසානයේ ඒක කරගන්න බැරිවුණා. අන්තිමේ මගේ අප්පච්චි 2017 දී මියගියා. මේ සංකල්පය මගේ පියා ගේ. අන්තිමේ මගේ පියා මැරෙන්න මොහොතකට කලින් මගෙන් ඉල්ලීමක් කළා දුවේ ඔයා සම්මාන උළෙලක් පවත්වන්න කියලා.

60 දශකය අගයන Silver Screen සම්මාන උළෙල වාසි බලාගෙන කරන දෙයක් නෙමෙයි - සනෝජා බිබිලේ

අන්තිමේ මම මේ වැඩේ 2019 වසරේ ආරම්භ කරන්න සූදානම් වෙද්දී කොරෝනා වසංගතය පැමිණියා. 2020 දීත් ඒ දේම තමයි. 2022 දී මම මගේ මිතුරන් සමග සාකච්ඡා කළා. එක්කෙනෙක් මිලානෝ නගරයේ ජීවත්වෙන නිශාන්ත ජයකොඩි මහතා. අනෙක් කෙනා තමයි සැලසිනේ ආයතනයේ අමිල මහතා. අන්තිමේ ඔවුන් මට උදව් කරන්නම් කියලා මේ වැඩේ පටන් ගත්තා. මේ වැඩේ පටන් ගන්නකොට මගේ කකුලෙන් අදින්න ගොඩක් කට්ටිය හිටියා. අන්තිමේ දී අපි ගිය වසරේ 50 දශකයේ නළු නිළියන් වෙනුවෙන් මේ වැඩේ ආරම්භ කළා.

මෙවර අපි කලාකරුවන් 28 දෙනකුට සම්මාන ලබාදෙනවා. ඒ වගේම ඉතාම අසාධ්‍ය තත්ත්වයේ පසුවන කලාකරුවන් හතරදෙනකුට සම්මාන පමණක් නෙවෙයි සහතිකයක් සමග මුදල් ත්‍යාගයක් පවා ලබාදෙනවා. ඒ වගේම ත්‍යාග අටකුත් ලබාදෙනවා. මේ සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙන්නේ වසන්ත ජයවර්ධන මහත්මයා සහ නිරුමුරුගන් මහත්මයා. ඊට අමතරව වරාය අධිකාරියේ සේවය කරන මහත්වරු කිහිපදෙනකු ගේ සහයෝගය ලබාදෙනවා. මැයි 06 වැනිදා සවස 5.30ට බී.එම්.අයි.සී.එච්. හි ලෝටස් ශාලාවේ පවත්වන්නේ.

අපි මෙහි බලාපොරොත්තු වන්නේ කෘතගුණවේදීත්වය විතරයි. 50 දශකයේ නළු නිළියන් එදා සිනමාව රැගෙන ආ නිසයි අද අපේ නළු නිළියන් බිහිවෙලා ඉන්නේ. ඔවුන් එදා මේ සිනමා කර්මාන්තය 60 දශකයේ පරපුරට භාරදුන්නා. 60 දශකයේ අය 70 දශකයට භාර දුන්නා. ඔවුන් නිසා තමයි අද අපි මේ ක්‍ෂේත්‍රයේ රැඳිලා ඉන්නේ. ඒකට අපේ කෘතගුණවේදීත්වය තියන්න ඕනෑ. මේ දේවල් රජය සහ චිත්‍රපට සංස්ථාව විසින් කළ යුතු දේවල්. අද වෙනකම් කවුරුවත් මේකට අතගැසුවේ නැති නිසයි අපි මේක ප්‍රථම වතාවට පටන් ගත්තේ.

තවත් කාරණාවක් තමයි අපි මේක සිදුකරන්නේ, කිසිදු ආර්ථික වාසියක් බලාගෙන නෙමෙය.ි නමුත් සමහරු චෝදනා කරනවා අපි මේක කරන්නේ ආර්ථික වාසි බලා ගෙන කියලා. අපි අපිට පුළුවන් ප්‍රමාණයට මුදල් යොදවලා තමයි මේ කටයුත්ත නිර්මාණය කරන්නේ. සුළු සුළුවෙන් හරි අනුග්‍රාහකත්වය දක්වන අයත් ඉන්නවා. සිල්වර් ස්ක්‍රීන් පදනම ලියාපදිංචි කරන්නත් සියලු කටයුතු සූදානම් කරලයි තියෙන්නේ. කිසිම ආර්ථික වාසියක් කිසිම කෙනෙකුට මේකෙන් ලැබෙන්නේ නැහැ. අපි මේ තුළින් ලබාගන්නේ සතුට විතරයි. අපි ගෙදරින් කෑම ටික උයාගෙන ඇවිල්ලා ගෙදරින් තේ ටික හදාගෙන ඇවිත් අපි ඔක්කොම බෙදාගෙන කාලා, චිත්‍රපට සංස්ථාවේ ඉඳගෙන තමයි මේ දේවල් සාකච්ඡා කරන්නේ. අපිට චිත්‍රපට සංස්ථාවෙන් ලොකු දායකත්වයක් ලැබෙනවා.සිල්වර් ස්ක්‍රීන් පදනමේ අවසාන බලාපොරොත්තුවක් කියලා දෙයක් නැහැ. අපි මේක 60, 70, 80, 90 දශකය කියලා අදියර කිහිපයකට පවත්වනවා. අවසානයේ මේක අපි අලුත් පරපුරට භාර දෙනවා. මේක දිගින් දිගට ම පවත්වාගෙන යන්න කියලා තමයි අපි කියන්නේ. මේක පවත්වාගෙන ගියොත් ස්වභාව දහම විසින් ඔබලාව රැකබලා ගනීවි කියලා තමයි කියන්න තියෙන්නේ.

මෙවර සිනමාවේදීන් 26 දෙනෙක් සම්මාන ලබාගන්නවා. මේකේ සම්මාන ලබාදෙන්නේ රඟපාන නළු නිළියන්ට විතරක් නෙමෙයි. මේකේ කොටස් හතක් තියෙනවා. රංගන ශිල්පීන්, ශිල්පිනියන්, ගායක ගායිකාවන්, සහාය අධ්‍යක්‍ෂවරු, අධ්‍යක්‍ෂවරු, වේෂ නිරූපණ ශිල්පීන්, චිත්‍රපට රචකයන්ට මෙහිදී සම්මාන ලබාදෙනවා. අනික මේ සම්මාන තෝරන්නේ අපි නෙමෙයි. මෙහි විනිසුරු මඬුල්ල විදිහට ගාමිණී වේරගම, දීප්ති ෆොන්සේකා, අරුණ ගුණරත්න, සිරි කුලරත්න, අර්නස්ට් වඩුගේ ආදීන් තමයි කටයුතු කරනු ලබන්නේ. අපිට ඕනෑ ඕනෑ විදිහට කාවවත් තෝරන්න බැහැ. අපි මේ වැඩේ කරන්නේ ස්වෙච්ඡාවෙන්. මේ සංවිධානයෙන් වාසි නැති අය ඉවත්වෙලා යන අවස්ථාත් නැතුවා ම නෙමෙයි. කිසිම මුදලක් කාටවත් දෙන්නේ නැහැ. එහෙම වෙලාවට ගොඩක් අය මේකෙන් ඉවත් වෙලා යන අවස්ථා තියෙනවා. පැහැදිලිව ම මේක වාසි බලා ගෙන කරන දෙයක් නෙමෙයි. මේ අභියෝගය අපිට ජයගන්න පුළුවන් වගේම දිගට ම කරගෙන යන්න පුළුවන් කියලා ලොකු විශ්වාසයක් තියෙනවා.

● දිනේෂ් විතාන
ඡායාරූපය – උපුල් නිශාන්ත

advertistmentadvertistment
advertistmentadvertistment