භූමිතෙල් පෝලිමේදී  මල්ලී මැරුණේ රජයේ වරදින් – අයියා කියයි

728

සිද්ධිය වූ මොහොත

කිසිම ලෙඩක් තිබුණේ නෑ:

මහා ධමනිය පිපිරීමෙන් සිදුවූ මරණයක් පශ්චාත් මරණ පරීක්ෂණයෙන්  හෙළි වෙයි

රෝහල් ගෙනියන්න ගොඩක් වෙලාව අරන්:

වැඩිහිටියන්ට සලකන යුගය ඉවර වෙලා

තව කෙනකුට මෙහෙම ඉරණමක් අත්වෙන්න  දෙන්න එපා අසල්වැසියෙක් කියයි

භූමිතෙල් පෝලිමේදී  මල්ලී මැරුණේ රජයේ වරදින් - අයියා කියයි

මගේ මල්ලීට කිසිම ලෙඩක් තිබුණේ නැහැ. මල්ලී මැරුණේ මේ රජයේ වරදින් කියලා මම බය නැතුව කියනවා. මොකද අපේ පැත්තේ භූමිතෙල්වත්, ගෑස්වත් හොයා ගන්න තැනක් නැහැ. මල්ලී උදේම ලෑස්ති වුණා ‘‘අද නම් කොහෙන් හරි භූමිතෙල් හොයාගෙන එනවා’’ කියලා. අන්තිමට අපිට ලැබුණේ භූමි තෙල් නෙවෙයි මල්ලීගේ මළකඳ විතරයි. මල්ලී කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙච්ච හොඳ මනුස්සයෙක්. එයා පහුගිය දවස් ටිකේම දුක් වුණා නෝනා කෑම උයන්න ගන්න මහන්සිය නිසා. අන්තිමට අපිට මල්ලිව නැති වුණා යැයි මියගිය මොහොමඞ් මහතාගේ වැඩිමහල් සහෝදරයා හැඬූ කඳුළින් කියා සිටියේය.

භූමිතෙල් පෝලිමේදී  මල්ලී මැරුණේ රජයේ වරදින් - අයියා කියයි


මහනුවර යටිනුවර වීදියේ ඉන්ධන පිරවුම් හලක භූමිතෙල් පෝලිමක සිටියදී මෙසේ මියගොස් තිබුණේ හැත්තෑ එක් හැවිරිදි හනීෆා මොහොමඞ් ඉල්ලියාස් නමැති අයෙකි.

මියගිය මොහොමඞ් ඉල්ලියාස් මහතාගේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (20* මහනුවර ජාතික රෝහලේදී සිදුකෙරිණි. මහා ධමනිය පුපුරා යෑමෙන් ඔහුගේ මරණය සිදු වී ඇති බවට අනාවරණය වූ බව මහනුවර රෝහල පවසයි.

කටුගස්තොට, උඩතලවින්න ප‍්‍රදේශයේ පදිංචි මොහු පෙරේදා (19 දා* පස්වරුවේ භූමිතෙල් ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම් හලේ පැය හතරක පමණ කාලයක් පෝලිමට වී සිටියදී හදිසියේම සිහිසුන්ව බිම ඇද වැටී තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

මියගිය මොහොමඞ් ඉල්ලියාස් මහතා රජයේ සේවයට එක්ව වසර 30ක පමණ කාලයක් කටයුතු කළ බවත් ඔහු ශ‍්‍රී ලංකා පොලිසියේ සිවිල් සේවකයකු ලෙස රාජකාරි කළ අයකු බවත් ඔහුගේ සහෝදර මොහොමඞ් නිසාම් මහතා පැවසීය.

උඩතලවින්න ප‍්‍රදේශය හා ඒ අවට ගෑස් හෝ ලාම්පුතෙල් නොමැති වීම නිසා ලිප පත්තුකර කර ගැනීමට පවා නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවත් මහනුවර ඉන්ධන පිරවුම් හලක භූමිතෙල් ඇති බවට ලැබුණු තොරතුරක් අනුව මල්ලී පෙරවරු 11.30 ට පමණ නිවසින් ගිය බවත් ඒ මහතා කීය.

භූමිතෙල් පෝලීමේ සිටියදී ඇදවැටී තිබෙන සහෝදරයා රෝහල්ගත කිරීමට සෑහෙන වෙලාවක් ගතව තිබෙන බවත් මහනුවර ජාතික රෝහලින් ලැබුණු පණිවිඩයකට අනුව ගොස් බැලීමේදී ඔහු මියගොස් සිටි බවත් නිසාම් මහතා පැවසුවේය.

මොහොමඞ් හනීෆා මොහොමඞ් ඉල්ලියාස් යන මහතා පාතදුම්බර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දොරගමුව පාර, උඩතලවින්න යන ලිපිනයේ පදිංචි වයස අවුරුදු 71 ක පුද්ගලයෙකි.

ඔහුගේ පවුලේ සහෝදර සහෝදරියන් නවදෙනකු වන අතර, ඔහු දරුවන් හතර දෙනකුගේ පියෙකි. පිරිමි දරුවෝ දෙදෙනෙක් හා ගැහැනු දරුවෝ දෙදෙනෙක් මේ අතර වෙති. පිරිමි දරුවන් දෙදෙනා විදේශගතව

රැුකියාවල නිරත වන අතර ගැහැනු දරුවෝ දෙදෙනා විවාහකය. බිරිඳ සමග හුදෙකලාව මොහු වාසය කර ඇත.

මෙම සිදුවීම වූ 19 වැනිදා පෙරවරු 11.00ට පමණ මොහු නිවසින් පිටත්ව ගොස් ඇත්තේ භූමිතෙල් ලබා ගැනීම වෙනුවෙන් වන අතර පැය 5 කට අධික කාලයක් අධික වර්ෂාව මධ්‍යයේ භූමිතෙල් ලබා ගැනීම සඳහා පෝලිමේ සිට ඇත. හවස 4.40 පමණ වනවිට මොහු සිහිසුන්ව ඇද වැටී ඇති අතර ඉන් පසුව මරණයට පත්ව ඇත.

මෙම සිදුවීම පිළිබඳව අදහස් දැක්වූ අසල්වැසියෙක් මෙසේ පැවසීය.

එම්. ඒ. එම්. ආරිෆ්. (වයස අවුරුදු 75යි.* උඩතලවින්න, ගලදෙනිය.

අද රටක් විදියට ජනතාව ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන්. මගේ හිතවතා උයාගන්න තෙල් නැතිව තෙල් ගන්න පෝලිමට ගියේ වයස ගැනවත් නොහිතා. අන්තිමට වුණේ අසල්වැසියන් වන අපට ඔහුගේ පවුලේ අයටයි දුකක් උරුම වීමයි.

වයසක කෙනෙක් මේ වගේ පෝලිමකට ගියේ දරුවන් ජීවත් කරවන්න අවශ්‍ය නිසා. වුණේ ඔහුට ජීවිතෙන් සමු ගන්න. දරුවන් අනාථ වුණා. මේ විදිහට ගියොත් ජනතාවට කාගෙන්වත් පිහිටක් නෑ. අපි ඉල්ලා සිටින්නේ ජනතාව මේ තරම් දුකට පත් කරන්නැතුව කඩිනමින් ජනතා ගැටලූ විසඳා දෙන්න කියලයි. තව පවුලකට මේ වගේ දුකක් දෙන්න එපා. අනික මිනිසත්කම පිරිහිලා හොඳටම. වයසක කෙනකුට අවස්ථාවක් දෙන්න කිසිම කෙනෙක් නෑ. වැඩිහිටියන්ට සලකන යුගය විනාශ වෙලා’’ යැයි ඔහු ‘දිවයිනට’ පැවසීය.

සමන්ති වීරසේකර, ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment