65 වන දිවියට පා තබන රණස්ගල්ලේ ඤාණවීර හිමිපාණෝ

130

වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ, කුලියාපිටිය නක්කාවත්ත පුරවරයේ රණස්ගල්ල නම් රමණීය ග්‍රාමයෙහි වර්ෂ 1958 ක් වූ නොවැම්බර් මස 27 වන දින ජන්මලාභය ලැබූ උන්වහන්සේගේ දෙමව්පියන් වූයේ, ජයසිංහ ආරච්චිගේ ධීරසේකර සහ පීරිස් සෝමාවතී යන දම්පතීන්ය. සහෝදරයන් පස් දෙනෙකු හා සහෝදරියකගෙන් යුත් පවුලේ බාල පුත්‍රයා විය.

මූලික අධ්‍යාපනය රණස්ගල්ල කනිටු විද්‍යාලය හා නක්කාවත්ත මහින්ද මධ්‍ය මහා විද්‍යාලයන්ගෙන් සපිරුණු අතර, පාසලෙහි ගුරුවරුන්ගේ කීකරු ම පුංචි සිසුවා ලෙස සැමදෙනාගේ ආදර ගෞරවයට උන්වහන්සේ පාත්‍ර විය.

1970 දී මාර්තු මස 16 වන දින අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ උත්තරීතර මහානායක ධුරන්දර පරමපූජනීය මඬිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වෙත දෙමව්පියන් විසින් අලව්ව, වීදියවත්ත ග්‍රාමයේ දී මෙම දරුවා සසුනට පූජා කරන ලදී. ඉන්පසු එදින ම රත්මලාන මල්ලිකාරාමාධිපති අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ අනුනායක අතිපූජ්‍ය වැලිගම ශ්‍රී ඤාණරතන මහනාහිමියන් වෙත මෙම දරුවා භාර කරන ලදී.

ඉන්පසු මල්ලිකාරාම විහාරස්ථානයේ දහම් වත් පිළිවෙත් උගෙන ගැනීමෙන් අනතුරුව 1970 මැයි මස 21 වන දින උතුම් වූ පැවිදි දිවියට රණස්ගල්ලේ ඤාණවීර නමින් ඇතුළත් විය. උන්වහන්සේගේ ආචාර්යන් වහන්සේ ලෙස පරමපූජනීය වැලිගම ශ්‍රී ඤාණරතන ස්වාමින්වහන්සේ ද, උපාධ්‍යායන් වහන්සේ මඬිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේය.

උන්වහන්සේ මල්ලිකාරාම විහාරස්ථාන ධර්මරක්ෂිත පිරිවෙනෙහි මූලික අධ්‍යාපනය ලැබූ අතර වැඩිදුර අධ්‍යාපනය සඳහා අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්ම පීඨයට ඇතුල් වූ උන්වහන්සේගේ දිවිමගෙහි හැරවුම් ලක්‍ෂය ලෙස දැක්විය හැකිය.

අනතුරුව 1978 දී පරමපූජනීය වැලිගම ඤාණරතන අනුනායක මාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් හා පරමපූජනීය මඬිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේ, පූජ්‍ය අම්පිටියේ රාහුල මාහිමිපාණන් වහන්සේ හා බම්බලපිටිය වජිරාරාමවාසී පූජ්‍ය පියදස්සී මාහිමිපාණන් වහන්සේලාගේ උපාධ්‍යායත්වයෙන් උපසම්පන්න වූහ.

තම අධ්‍යාපන ගමන් මගේ අභිවෘද්ධිය සනිටුහන් කරමින් ප්‍රාචීණ භාෂෝපකාර සමිතිය මගින් පවත්වනු ලබන රාජකීය පණ්ඩිත විභාගය සමත් වූහ. එසේම 1984 දී ත්‍රිපිටකවේදී ගෞරව උපාධිය සපුරා මෙම අවධියේ දී වැලිගම මහානායක මාහිමියන්ගේ ශිෂ්‍යයන් අතර රාජකීය පණ්ඩිත උපාධිය ලැබූ පළමු ශිෂ්‍යා බවට පත් වීමට උන්වහන්සේට හැකියාව ලැබුණි.

අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයේ උපාධියට ඉගෙනීම් කටයුතු කරමින් සිටිය දී සිව් වසරක ඉගෙනීම් කාලය අතරතුර ශ්‍රී ලංකා රජයේ විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වනු ලැබූ අ.පො.උ.පෙළ විභාගය විශිෂ්ට සාමාර්ථයන් සමග සමත්වී උන්වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයට තේරී පත් වූහ.

මල්ලිකාරාමයේ වැඩවසන තමන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ස්වාමින් වහන්සේලාගේ අවවාද අනුශාසනා හිස්මුදුනින් පිළිගනිමින් විහාරස්ථානයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළ අතර, තමන් වහන්සේට බොහෝ සෙයින් ගුරුහරුකම් ලබාදුන් ජ්‍යෙෂ්ඨ ස්වාමීන්වහනසේ නමක් වූ අපවත්වීවදාළ අතිපූජ්‍ය තිස්සමහාරාමයේ පුණ්ණ හිමියන් හා වර්තමාන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අසංග තිලකරත්න ශූරීනුත් ගෞරවයෙන් සිහිපත් කරනු ලබයි. එම ගුරුහරුකම් මනාව ලබාගත් ඤාණවීර හිමිපාණෝ මල්ලිකාරාම ශ්‍රී ධර්මරක්ෂිත පිරිවෙනෙහි ම ආචාර්යවරයෙකු වශයෙන් පත් වූහ.

කුඩා කල සිට ප්‍රකට ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වශයෙන් ගුවන් විදුලිය, රූපවාහිනිය සහ සතර දිග්භාගයේ ධර්ම දේශනා පවත්වමින්, ඒවා අටුවා-ටීකා-ටිප්පනි අනුව හා වර්තමානයට ගැලපෙන පරිදි තම ධර්ම ඤාණය ශ්‍රාවක හුදීජනයාට ලබාදීමට කටයුතු කළහ.

ගමත් පන්සලත් අතර සම්බන්ධතාවය පවත්වා ගැනීම සඳහා තරුණ සමිතිය, දායක සභාව හා විශාඛා කුළඟන සමිතියේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරනු ලැබීය. මල්ලිකාරාම තරුණ සමිතියට නව ජීවයක් ලබා දෙමින් දිවයින පුරාම සමාජ සත්කාර සේවාවන් රැසක් උන්වහන්සේ සිදු කළහ. “මල්ලිකාරාම සරණ පදනම” පිහිටුවා එහි සභාපතිධුරයට පත්ව 30 වසරක යුද්ධයේ දී දෙපා අහිමි වූ ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවය කළ රණවිරුවන් 1200 ට කෘතිම පාද ලබාදීම සිදු කළ අතර තවද, එදා මායිම් ගම්මාන යයි සඳහන් කළ ප්‍රදේශ කරා ගොස් මූලික අවශ්‍යතාවයන් සපුරා දෙන ලදී. ත්‍රිකුණාමල වෙල්ගම් වෙහෙර වැනි ඓතිහාසික විහාරස්ථානයන් ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහයෝගය ද ඇතුව කටයුතු කළහ. තවද නැගෙනහිර ප්‍රදේශයේ මඩකලපුව ප්‍රදේශවල විහාරස්ථානයන් වෙත ගොස් ප්‍රත්‍ය පහසුකම් ලබාදීම ද උන්වහන්සේ අතින් සිදු විය.

කාලයාගේ ඇවෑමෙන් ගුරුදේවයන් වහන්සේගේ අපවත්වීමෙන් අනතුරුව මල්ලිකාරාම විහාරස්ථානයේ විහාරාධිපතිධුරය සංඝ සභාව විසින් ඤාණවීර හිමිපාණන් වහන්සේට පිරිනමන ලදී. එමෙන්ම සුපින්වන් සඟ පරපුරක් උදෙසා මහානායක හිමියන් ගමන් කළ මගෙහි යමින් සිය ආචාර්යත්වයෙන් බුදු පුතුන් තනන්නට පීතෘත්වයෙන් දරණ ප්‍රයත්නය සදා අනුස්මරණීය වේ.

උන්වහන්සේ තනතුරු සොයා ගිය කෙනෙක් නොවන අතර, තනතුරු උන්වහන්සේ සොයා ආහ. අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ධුරයට පත්වීමත්, තවද වැල්ලවත්ත විජයාරාම විහාරයේ වැඩ විසූ අහංගම ආනන්ද අධිකරණ සංඝනායක මාහිමියන් අපවත්වීමෙන් අනතුරුව තම නිකාය විසින් එහි විහාරාධිපති ධුරයට ද පත් කරනු ලැබූහ. මල්ලිකාරාම මහාවිහාරයට අනුබද්ධිත විහාරයන්හි චිරස්ථිතිය උදෙසා තම පැවිදි සහෝදරයන් හට අවවාද අනුශාසනා පමණක් ම නොව අවශ්‍ය පහසුකම් සළසා දීමට කරන කැපවීම අගය කළ යුතුම ය.

රටත් ජාතියත් ආගමත් වෙනුවෙන් අමිල මෙහෙයක් ඉටු කරන නිමල බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් ලෙස හැඳින්විය හැක.

රත්මලාන මල්ලිකාරාමාධිපති බස්නාහිර පළාතේ උප ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත පරම පූජණීය රණස්ගල්ලේ ඤාණවීර මාහිමිපාණන් වහන්සේගේ හැටපස් (65) වැනි ජන්ම දිනය නොවැම්බර් මස 27 වැනි දිනට යෙදේ. එය නිමිති කරගෙන දායක සභාව සහ කාන්තා සමිතිය බෝධිපූජා, දානමය පිංකම් රාශියක් පැවැත්වීමට කටයුතු සලස්වා ඇත.

65 වන දිවියට පා තබන රණස්ගල්ලේ ඤාණවීර හිමිපාණෝ

දායක සභාවේ ප්‍රධාන සංවිධායක
ප්‍රේමනාත් ද සොයිසා

advertistmentadvertistment
advertistmentadvertistment