සෙනසුරු මාරුව ඔබට කොහොමද?

3354

2022 අපේ‍්‍රල් 29 වැනි සිකුරාදා පෙරවරු 07.52ට සිදුවන සෙනසුරුගේ කුම්භ රාශි ගෝචරය ඔබේ ලග්නයට කෙලෙස බලපායිද? සෙනසුරුගේ මෙම ආගමනය හේතුකොටගෙන ලග්න තුනකට ඉතාම යහපත්, වාසනාවන්ත කාලයක් උදාකරන අතර ලග්න දෙකකට මිශ‍්‍රපල හිමිකර දෙනු ඇත. ලග්න හතකට සාමාන්‍ය පල ගෙන දීමට ඉඩ තිබේ. සෙනසුරු ග‍්‍රහයා 2025 අපේ‍්‍රල් 01 වැනිදා දක්වා කුම්භයේ ගමන් කිරීමට නියමිතය.

මේෂ ලග්නය

ඉතා යහපත්, වාසනාවන්ත කාලයක උදාවකි. පෙර පින් මතුකෙරෙන අතර බලාපොරොත්තු ඉටුවනු ඇත. අතගසන සියලූ කටයුතු සාර්ථක වේ. රැකීරක්ෂා, වෙළහෙළඳාම් හා ගොවිතැන් වැඩවලින් ප‍්‍රගතියක් අපේක්ෂා කළ හැක. දුක් කරදර පහව ගොස් සිතට සහනයක් හා සැනසීමක් ලැබෙන අතර නිවසේ විශේෂ උත්සවයකට මග පෑදේ. තම තත්ත්වය දිනෙන් දින උසස් වේ. නම ප‍්‍රසිද්ධියට කරුණු යෙදෙන අතර කීර්තිය ඔබ සොයා එන සමෘද්ධිමත් කාලයකි. ධන ලාභ හිමිවනු ඇත.

වෘෂභ ලග්නය

මනුෂ්‍ය ගුණ ධර්ම හීන වන කාලයකි. බලාපොරොත්තු බිඳවැටීමට ඉඩ ඇත. සිත් තැවුල්, දුක් දොම්නස්, ධන හානි ඇති කෙරෙන අතර ආදායම් මාර්ගවලට බාධා ඇති වේ. තනතුරුවලින් පහත වැටේ. රැකී රක්ෂා, වෙළහෙළඳාම් හා ගොවිතැන් කටයුතුවලට අවහිරතා ඇති කෙරේ. පුරුදු

රැකියාවෙන් ඉවත්ව වෙනත් රැකියා සොයා යෑමට සිතෙන කාලයකි. කරන කියන කටයුතුවලට බාධා පැමිණෙන අතර ගෞරවයට ද හානි පැමිණීමට ඉඩ තිබේ. වැඩිහිටියකුට මාරකයක් තරම් අපලයක් සිදු වේ. ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන්න.

මිථුන ලග්නය

මිශ‍්‍ර ඵලදායක කාලයකි. ගෙදර දොර හෝ රැකියාවේ ස්ථාන මාරුවක් බලාපොරොත්තු වීමට පුළුවන. ශරීර සනීපයට බාධා ගෙන දෙන අතර පපුවේ ආබාධ ඇති අය ප‍්‍රවේශම් විය යුතුය. කරගෙන ආ කටයුතුවල වෙනස්වීමක් ඇති විය හැකි අතර එයට අසනීප තත්ත්වයක් හේතු විය හැකිය. දේව භක්තිය වැඩි වන අන්දමට කරුණු යෙදේ. නමුත් පිනට දහමට අකැමැති බවක් දක්වනු ඇත. ධන ලාභ හිමි වුව ද ඒවා තාවකාලික වේ. ප‍්‍රයෝජනයක් නැති දේවලට වියදම් කරන්නට සිදුවීමෙන් බැංකුවල තැන්පත් ප‍්‍රමාණය අඩු වීමට ඉඩ තිබේ.

කටක ලග්නය

ඒ තරම් යහපත් කාලයක් සේ පෙන්වාදිය නොහැක. බුද්ධිමත්ව හා කල්පනාවෙන් කටයුතු කළ යුතුය. චිත්ත පීඩාවන්ට ගොදුරු විය හැකි අතර කරන කියන දේ වැරදී යෑමට බොහෝ දුරට ඉඩ ඇත. රැකීරක්ෂා වෙළහෙළඳාම් හා ගොවිතැන් කටයුතුවලින් බලාපොරොත්තු වන තරම් ප‍්‍රතිඵල නොලැබී යන අතර නඩු හා අලාභ හානිවලට වැඩි ඉඩක් පවතී. අමනුෂ්‍ය දෝෂ, තනිකම් දෝෂ ඇති විය හැකි කාලයකි. හදි හුනියම් වැදීමට පවා ඉඩ ඇත. අසනීප ගති වරින්වර ඇති වීමෙන් සෞඛ්‍ය තත්ත්වය දුර්වල විය හැක. තදින්ම කේන්ති යෑමට ඉඩ ඇති බැවින් එම තත්ත්වය පාලනය කර ගන්න.

සිංහ ලග්නය

රැකීරක්ෂා, ව්‍යාපාර හා ගොවිතැන් කටයුතුවලට බාධා පැමිණෙන කාලයකි. බලාපොරොත්තු බිඳ වැටෙන අතර ජයග‍්‍රහණයට වඩා පරාජයන්ට මුහුණ දීමට සිදු වේ. උත්සාහයේ තරමට ප‍්‍රතිඵල බලාපොරොත්තු විය නොහැක. මිල මුදල් තත්ත්වය අයහපත් වන අතර කලත‍්‍රයාගේ අසනීප හා ලෙඩ දුක් වෙනුවෙන් වැඩි මුදලක් හා කාලයක් වැය කිරීමට සිදුවනු ඇත. දුර බැහැර ගමන් බිමන් යෙදේ. වියදම් අධික වන අතර ආදායමට වඩා වියදම වැඩි වීමට ඉඩ තිබේ. ගෘහ ජීවිතයේ ගැටලූ සහගත තත්ත්වයන් ඇති විය හැක. සෑම දෙයටම මුදල් හිඟකම බලපානු ඇත.

කන්‍යා ලග්නය

බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත කාලයකි. පැවැති ලෙඩ රෝගවලින් සුවය ලැබේ. සතුරු කරදර පහව යන අතර සතුරන්ගෙන් ජය හිමි වේ. ජයග‍්‍රහණය පතා කරන කටයුතුවලින් ජය අත් වේ. දේපළ දියුණු වේ. රැකීරක්ෂා වෙළඳ ව්‍යාපාර හා ගොවිතැන් කටයුතු සාර්ථක වන අතර ආදායම් තත්ත්වය ඉහළ අගයක් ගනු ඇත. බැංකු ගිණුම් තරවේ. හිතමිතුරන්ගෙන් උදව් උපකාර හිමිවන අතර විශේෂයෙන් විදේශගත හිතවතුන්ගෙන් උපකාර හිමි වන කාලයකි. රසවත් ආහාර පාන වර්ග භූක්ති විඳීමට ලැබේ. සමාජයෙහි නම ප‍්‍රසිද්ධියට කරුණු යෙදෙන අතර කීර්තිය ද පැතිරෙනු ඇත.

තුලා ලග්නය

මෙය හිතන තරම් යහපත් කාලයක් නොවේ. බලාපොරොත්තු කඩවන්නට බොහෝ දුරට ඉඩ තිබේ. ඉක්මන්කමත්, අධික කේ්න්ති යෑමත් හේතුවෙන් පොඩි පොඩි කරදර, ලොකු විපත්ති බවට පත්වීමට ඉඩ ඇත. ගෘහ ජීවිතයේ සතුට හා සාමය බිඳවැටෙන අතර බොහෝ විට දරුවන්ගේ අසනීප තත්ත්වයන් ඊට හේතු වේ. උදරාබාධ වරින්වර ඇති වන කාලයකි. අදහස් කර සිටින දේවල් වෙනස් වේ. රැකීරක්ෂා, ව්‍යාපාර හා ගොවිතැන් කටයුතුවලට වරින්වර බාධා පැමිණෙයි. විශේෂයෙන් චිත්ත පීඩාවන් ඇති වන අතර අධික වියදම් ද යෙදෙන කාලයකි.

වෘශ්චික ලග්නය

තරමක අයහපත් කාලයක උදාවකි. බලාපොරොත්තු ඉටු නොවන අතර අතගසන වැඩ කටයුතුවලන් සාර්ථක ප‍්‍රතිඵල නෙළා ගත නොහැක. කටින් පිටවන වචනවල පාලනයක් නොමැති වීමෙන් දුක් වේදනාවන්ට හා කරදරවලට මුහුණ පෑමට සිදු වේ. හිතුවක්කාර ගති ඉස්මතු වීමෙන්, උද්ධච්චකම ප‍්‍රදර්ශනය වනු ඇත. වාසනාවට වඩා අවාසනාව ලූහුබැඳ එන අපල කාලයකි. එය කවුරුන් විසින් හෝ නිර්මාණය කරන ලද්දක් නොවන අතර එය තමා විසින්ම සාදා ගත්තක් බව අමුතුවෙන් කිව යුතු නැත. රැකීරක්ෂා, ව්‍යාපාර හා ගොවිතැන් කටයුතුවලට ද වරින්වර බාධා පැමිණෙනු ඇත.

ධනු ලග්නය

දිගු නියඟයකට පසු වට වර්ෂාවක් මෙන් සෞභාග්‍යමත් කාලයක උදාවකි. බලාපොරොත්තු ඉටුවන අතර වාසනාව ඔබ සොයා එනු ඇත. ධන ලාභ හිමි වේ. රැකීරක්ෂා, වෙළඳ ව්‍යාපාර, ගොවිතැන් හා අධ්‍යාපන කටයුතු සාර්ථක වනු ඇත. අතගසන මෙන්ම හිතන පතන යහපත් දේ එලෙසින්ම ඉටුවීමේ ප‍්‍රවණතාවක් පවතී. සතුරන් මෙල්ල වන අතර නඩු හබවලින් නිදහස් වේ. වැඩිහිටියන්ගෙන් දේපළ හා උරුමයන් හිමි වේ. නුවණ මෙහෙයවා කරන කටයුතුවලින් මෙන්ම උත්සාහයෙන් කරන කි‍්‍රයාවලින් සාර්ථක ප‍්‍රතිඵල ලැබෙනු ඇත.

මකර ලග්නය

ඔබට මෙම සෙනසුරු මාරුව එතරම් යහපත් ඵල උදා කරතැයි කිව නොහැක. බලාපොරොත්තු කඩවන අතර ආදායම් තත්ත්වය පහළ බසී. හිතවතුන් හා අත්උදව්කරුවන් ඔබෙන් ඈත් වෙයි. ශරීරය දුර්වල වේ. සෞඛ්‍ය තත්ත්වය අයහපත් වන අතර රෝහල්ගතවීමක් වුව ද සිදුවීමට ඉඩ තිබේ. ධනය ලැබෙන මුත් ඒවා රඳාපවතින්නේ නැත. පහත් අයගේ රැවටිලිවලට හෝ වංචාවන්ට හසු වීමට ඉඩ ඇති කාලයකි. ස්තී‍්‍ර පක්ෂයේ ඇසුර නිසා කරදරයකට මුහුණපෑමට සිදු වේ. පවුලේ අවුල් වියවුල් හා අසමගිකම් මතුවන අතර නින්දා අපහාස විඳීමට ද සිදුවිය හැක.

කුම්භ ලග්නය

සෙනසුරු ඔබේ ලග්නයේ ගමන් කරන කාලය අපලදායකය. විවිධාකාරයේ කරදර, හදිසි අනතුරු, දරුණු ලෙඩ දුක්වලට මුහුණ පෑමට සිදුවන අතර රෝහල්ගතවීමකට වුව ද ඉඩ තිබේ. පවුලේ අයකුට හෝ ළඟම ඥාතියකුට මාරක තත්ත්වයක් ඇති වීමේ ප‍්‍රවණතාවක් පවතී. තම නරක්වන අතර තිබූ ප‍්‍රසිද්ධිය නැති වේ. හිතවතුන් ඔබව ඇසුරින් ඈත් කරනු ඇත. කරගෙන යන කටයුතුවලට බාධා පැමිණෙන අතර රැකීරක්ෂා, ව්‍යාපාර හා ගොවිතැන් කටයුතු අඩපණ වේ. උත්සාහයේ තරමට ප‍්‍රතිඵල නොලැබේ. ධන හානි ඇති වේ. තැන්පත් ධනය ක‍්‍රමයෙන් විනාශ වී යෑමට ඉඩ ඇති කාලයකි.

මීන ලග්නය

සෙනසුරු ඔබේ කේන්දරයේ 12 වැන්නට පිවිසීම යහපත් නැත. අවුරුදු හතහමාරක සෙනසුරු ලග්න ඒරාෂ්ටකයේ පළමු අදියර ආරම්භ වන අතර මෙය අපලදායක තත්ත්වයකි. දැඩි මානසික පීඩා, සිත්තැවුල්, වෙන්වීම් හා දුරස්ථවීම් මෙම කාලයේදී සිදු වේ. අදහස් කරන හා කිරීමට බලාපොරොත්තු වන කටයුතුවලට බාධා පැමිණෙන අතර හැම අතින්ම කරදර සහිත කාලයකි. රැකීරක්ෂා, ව්‍යාපාර හා ගොවිතැන් කටයුතුවලින් පාඩු, අලාභ සිදු වේ. ධන හානිවලට ඉඩ ඇති අතර ජයග‍්‍රහණ පතා කරන කටයුතුවලින් හිමිවනුයේ ජයග‍්‍රහණයට වඩා පරාජයයි. කිසිම දෙයක් පිළිබඳව ස්ථිර විශ්වාසයක් තැබිය නොහැකි කාලයකි.

සෙනසුරු මාරුව ඔබට කොහොමද?

 පාරම්පරික ජ්‍යොතිෂවේදී
 දිවුලපිටියේ ඩග්ලස් ගුණවර්ධන
 0776283097

advertistmentadvertistment
advertistmentadvertistment