70 ක ජල ගාස්තු වැඩිවීම 15 වැනිදා සිට බිලට

212

ජල ගාස්තු සියයට 70 කින් ඉහළ දැමීමට තීරණය කර ඇත. එම ඉහළ යන ජල ගාස්තු සැප්තැම්බර් මස 15 වැනිදා සිට ජල බිල්පතට එක් කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල ආරංචි මාර්ග ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

ඒ අනුව ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ ජල ඒකකයක ආරම්භක ගාස්තුව රුපියල් 12.00 සිට රුපියල් 20.00 දක්වා ද සේවා ගාස්තුව රුපියල් 50.00හේ සිට 300.00 දක්වා ද ඉහළ යෑමට නියමිතය.

එසේම ගෘහස්ථ සමෘද්ධිලාභී ජල පාරිභෝගිකයන්ගේ සහ ගෘහස්ථ සමෘද්ධිලාභීන් නොවන වතු පාරිභෝගිකයන්ගේ ආරම්භක සේවා ගාස්තුව රුපියල් 50.00 සිට රුපියල් 100.00 දක්වා ද ඉහළ යනු ඇත.

ගෘහස්ථ නොවන වාණිජ අංශය සඳහා ආරම්භක ඒකකයක මිල රුපියල් 75.00 සිට රුපියල් 115.00 දක්වා ද සේවා ගාස්තුව රුපියල් 100.00 සිට රුපියල් 295.00 දක්වා ද ඉහළ යෑමට නියමිතය.

මෙම සියලු මිල ඉහළ යෑම් පරිභෝජනය කරන ජල ඒකක ප්‍රමාණය අනුව වෙනස් වෙයි.

පාසල් සහ ආගමික ස්ථාන සඳහා ජල ගාස්තු ඉහළ යෑම සිදු නොවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

අවසාන වරට ජල ගාස්තු ඉහළ දැමීමක් සිදුව ඇත්තේ 2012 වසරේ ඔක්තෝබර් මස 01 වැනිදාය. ඒ අනුව මෙවර සිදු වන ජල ගාස්තු ඉහළ දැමීම වසර දහයකට පසු සිදු වන්නකි.

සමස්ත ජල පාරිභෝගිකයන් ලක්ෂ 28ක් පමණ වන අතර ඉන් ලක්ෂ 26 ක් පමණ ගෘහස්ථ ජල පාරිභෝගිකයන් වේ. ඉන් පාරිභෝගිකයන් ලක්ෂ විස්සක් පමණ ඒකක 15 ට අඩු ජල පරිභෝජනයක් සිදු කරන අය බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment