70 ජන්ම දිනයට අද පොත් දෙකක් එළිදක්වන ගොඩඋඩ අරියධම්ම හාමුදුරුවෝ

123

කෙනකුගේ උපන් දිනය වැදගත් වෙන්නේ, සැමරිය යුතු වෙන්නේ ඔහුගෙන් හෝ ඇයගෙන් සමාජයට සැලකියයුතු යහපත් සේවයක් සිදුවෙලා තිබේ නම් පමණි. එසේ නැති නම් උපන් දිනය තවත් දිනයක් පමණක් වේ. සැමරියයුතු වැදගත් උපන් දිනයක් ලබන මස 02 දාට යෙදී ඇත. ඒ මාලිගාවත්තේ ශ්‍රී සුධර්මාරාමාධිපති, මැද කොළඹ ප්‍රා. ශා. ම. සභාපති ශාස්ත්‍රපති ගොඩඋඩ අරියධම්ම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ 70 වන ජන්ම දිනයයි. එය වැදගත් උපන් දිනයක් වන්නේ කුමක් නිසා දැයි සොයා බැලීම මේ ලිපියෙන් සිදු කෙරෙයි.

පරිත්‍යාගශීලී ගුණවත් භික්ෂූන් වහන්සේ කෙනකු ලෙසත්, ලේඛකයකු කවියකු හා ගීත රචකයකු ලෙසත්, කරුණාවෙන් හා කැපවීමෙන් දහස් ගණනකට ඉගැන්වූ ගුරුවරයකු ලෙසත්, බොහෝ දෙනාගේ යහපතට කැපවූ සමාජ සේවා සැපයූවකු ලෙසත් උන්වහන්සේ හඳුනාගත හැකිය.

ගොඩඋඩ අරියධම්ම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ 1981 ජනවාරි සිට උපාධිධාරී පිරිවෙන් ගුරුවරයකු වශයෙන් පත්වීම ලබා තම වැටුපෙන් කොටසක් වැය කර මාතර තුඩාවේ ශ්‍රී සුධර්මාරාමයේ දහම් පාසලේ සියලු දරුවන්ට වාර්ෂිකව කොපිපොත් මොනිටර් පොත් පෑන්, පැන්සල් ප්‍රදානය කිරීමට පටන් ගෙන ඇත. එය නො කඩවා මේ වනතෙක් කරගෙන එන අතර මාලිගාවත්තේ ශ්‍රී සුධර්මාරාමයේ ශ්‍රී ධර්මරාජ දහම් පාසලේ ද 1994 සිට සිදු කරගෙන එති. දහම් පාසල් දෙකේ ම සියලු දරුවන්ට වර්ෂයට ම ප්‍රමාණවත් ලියන පොත්, පෑන් පැන්සල්, පර්ස්, පාසල් බෑග් ආදිය ප්‍රදානය කිරීම සුවිශේෂ දෙයකි. තුඩාවේ සහෝදරයෝ ආයතනය ද එයට උදව් කරති. වාර කීපයක් මැදකොළඹ ප්‍රා. ශා. ම. සිසු නිපුණතා තරග මාලාවලට ද ත්‍යාග පිරිනමා තිබේ.

මහා මහින්ද භික්ෂු පදනමේ හා ශාසනාරක්ෂක මණ්ඩලයේ කටයුතුවලටත් නො මසුරුව වියහියදම් කිරීම උන්වහන්සේගේ සිරිත වී ඇත්තේය. පැවිදි ගිහි බොහෝ සිසුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කර ඇති පරිත්‍යාගශීලී කැපකිරීම බෙහෙවින් අගය කළ යුතුය.

70 ජන්ම දිනයට අද පොත් දෙකක් එළිදක්වන ගොඩඋඩ අරියධම්ම හාමුදුරුවෝ

ලේඛකයකු හැටියට උන්වහන්සේ දැනටමත් ග්‍රන්ථ 25ක් පමණ එළිදක්වා ඇත. ඒ අතරින් සැරියුත් හාමුදුරුවෝ, විසාකා තොමෝ, බෞද්ධ සංකේතවල දර්ශනය, බෞද්ධ සංකේත කියන දේ, අධ්‍යාපනයේදී දඬුවම, මල්ලී වෙතටයි 1 හා 11 කොටස්, අන්දරේ සහ ඔහුගේ කතා කැපී පෙනෙන ඒවා වෙයි. ජනප්‍රිය වී ඇති ළමා පොත් ද කීපයක් ඇත. පුල්ලියා, වැවේ කතාව, මිගදාය, පුණ්ණා දාසී, ගමරාලගේ කතා හා අන්දරේගේ කතා ඒ අතර වෙයි. උන්වහන්සේ ගීත සිය ගණනක් ලියා ඇති අතර පොත් හැටියට කැකුළු ගී, බැති ගී සරණිය, ශ්‍රද්ධා ගීත, මඝමානවක ගීත නාට්‍ය එළිදක්වා ඇත්තේය. ගීත සංයුක්ත තැටි 5ක් පමණ ද නිකුත් වී තිබේ.

ගොඩඋඩ අරියධම්ම නාහිමියන්ගේ 70 වන ජන්ම දිනය වෙනුවෙන් ද පොත් දෙකක් නිකුත් කිරීමට යොදාගෙන ඇති බව දැනගන්නට ලැබිණි. ඒ බුදු සමිඳුගේ පිහිට ලැබූ පුංචි ළමයි හා ගෙදර කතා නැමති කතා පොත් දෙකයි. බුදුරජාණන් වහන්සේ කුඩා දරුවන් වෙනුවෙන් ද කරුණාවෙන් කටයුතු කළ ආකාරයත් ඔවුන්ට පිහිට වුණු ආකාරයත් මෙහි විස්තර කර ඇත. විශේෂයෙන් ළමා චරිත දාහතරක් තෝරාගෙන ඒවා පැහැදිලි කර විස්තර කර ඇත්තේය.

විශේෂයෙන් කිවයුතු දෙයක් ඇත. උන්වහස්සේගේ බෞද්ධ සංකේතවල දර්ශනය හා බෞද්ධ සංකේත කියන දේ යන පොත් දෙකෙන් විහාරස්ථානවල තිබෙන කැටයම් මූර්තිවලින් මතුකරන දර්ශනය එළිදැක්වීම ඉතා වටින්නේය. බොහෝ දෙනෙක් නො දැන තිබූ කරුණු මතුකර තිබීමෙන් ඒවායේ අගය ද වැඩි වන්නේය. උදාහරණ ලෙස මුරගල, වාමන රූපය, කොරවක්ගල, ලියවැල ආදියෙන් ඉදිරිපත් කරන දර්ශනය ගැන තර්කානුකූලව මේවායේ විස්තරවේ.

උන්වහන්සේගේ පොත් අතර ඉංග්‍රීසි ඉගෙනගන්නා කෙනකුට ප්‍රයෝජනවත් වන එකක් ලෙස ෑ්ිහ උ්හ ත්‍දර ෑබටකසිය සඳහන් කළ හැකිය. ඉතා සරල අන්දමින් ඉංග්‍රීසි භාෂාවේ ඇති ව්‍යාකරණ උදාහරණ සහිතව පැහැදිලි කර ඇත්තේය. ස්වෝත්සාහයෙන් ඉගන ගන්නා කෙනකුට එය ඉතා ප්‍රයෝජනවත්ය.

දක්ෂ ප්‍රවීණ ගුරුවරයකු වශයෙන් ගොඩඋඩ අරියධම්ම නායක ස්වාමින් වහන්සේ මාතර කිතුලේවල විද්‍යායතන පිරිවෙන, ධර්මපාල විද්‍යාලය, හුණුපිටියේ ගංගාරාම ඥානේශ්වර පිරිවෙන හා පධානඝර ධර්මදූතාශ්‍රම පිරිවෙනේ උගන්වා ඇත. ඒ හැම ආයතනයක ම ශිෂ්‍යන්ගේ මහත් ප්‍රසාදන දිනාගෙන ඔවුන්ගේ අභිවෘද්ධියට කැපවීමෙන් පරිත්‍යාගශීලීව අධ්‍යාපනය ලබාදීම විශේෂත්වයෙකි. ඒ හැරුණුවිට මාතර තුඩාවේ සිරි අරියවංස දහම් පාසලේ අවුරුදු පහළොවක් ද මාලිගාවත්තේ ශ්‍රී ධර්මරාජ දහම් පාසලේ අවුරුදු විසි අටක් ද උගන්වා ඇති අතර විශේෂයෙන් දහම් පාසල් අවසාන හා බෞද්ධ ධර්මාචාර්ය පන්තිවල උගන්වා විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් විභාග සමත් කරවා ඇත.

සමාජ සේවා කටයුතු කිරීමේ හොඳ අද්දැකීමක් උන්වහන්සේ මාතර තුඩාවේ වැඩ ඉන්නා කාලයේදි ලබා ඇත. ග්‍රාම සංවර්ධන සමිති ලේකම්, ග්‍රාමෝදය මණ්ඩල සභාපති හා සර්වෝදය ශ්‍රමදාන සංගමයේ සභාපති හැටියට ක්‍රියාකාරී සේවයක් කළහ. තරුණ පිරිස් යොදවා සමීක්ෂණ කිරීමෙන් 1975 පමණ කාලයේදි තුඩාවේ හා නැඟෙනහිර හිත්තැටියේ වැසිකිළි නැති පවුල් 200 කට වැඩි සංඛ්‍යාවක් සොයා ගන්නා ලදි. ඒ අනුව මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සීනෝර් පදනම හා සර්වොදය එකතු කරවාගෙන වරකදි වැසිකිළි 186 ක් ඉන් පසු 73 ක් ද සෑදවීමට සම්පූර්ණ ආධාර ලබා දෙනු ලැබිණි. රැකියා සඳහා පුහුණු පාඨමාලා පවත්වා තරුණ පිරිස් රැකියාවල යෙදවීම, වැඩිහිටියන් සඳහා සායන සංවිධාන කරවීම, දරුවන්ගේ අධ්‍යාපනය නඟාසිටුවීමට නො මිලේ පන්ති පවත්වමින් ගුරුවරුන්ට පෞද්ගලිකව දීමනා ගෙවමින් කර ඇති සේවය ඇගයිය යුතුය.

දැනට ද ගොඩඋඩ අරියධම්ම නාහිමියෝ වැදගත් සේවයක් කරමින් සිටිති. ඒ ජපානයේ රැකියා සඳහා යෑමට තරුණ තරුණියන් පුහුණු කරවීමය. මාලිගාවත්තේ හා තුඩාවේ දහම් පාසල් දෙකේ ආදිශිෂ්‍යන් තෝරාගෙන ජපන් භාෂාව ඉගැන්වීමේ පාඨමාලා හා වෘත්තියට අදාළ පුහුණුව ලබා දෙමින් පවතී. උන්වහන්සේ කලින් ද ළමයින් කීපදෙනකුට ජපානයට යන්නට උදව් කර ඇත්තේය.

එබඳු වැදගත් සේවයක් කරන හැත්තෑ වන උපන් දිනය සමරන උන්වහන්සේට දිගාසිරි නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු.

පංචිකාවත්තේ අභයසිංහාරාමාධිපති
කොළඹ නවකෝරළයේ උපප්‍රධාන සංඝ නායක
මැදකොළඹ ප්‍රා. ශා. ම. ලේඛකාධිකාරී
දෙමලුස්සේ මේධංකර නාහිමියෝ

advertistmentadvertistment
advertistmentadvertistment