70 දශකයේ කැලැත්තෑවේ අභිරහස සිහිගන්වන වටුවත්තෑවේ ඝාතනය…

1685

රුපියල් සත වලට මිනිස්කකම පාවා දෙන සමාජයක ධනයට කෑදරකම් දක්වන මිනිසුන් තුළ නෑදෑකම්, සහෝදරකම් හෝ මිතුදම් කිසිසේත්ම අපේක්ෂා කළ නොහැක. අන්සතු ධනයට, බලයට ලොල් බඳින සිත් පිත් නැති මිනිසුන් අද මෙන්ම එදා සමාජයේ අසන්නට දක්නට ලැබුණි. මේ අතර අනුරාධපුර ප‍්‍රදේශයේ කැලැත්තෑවේ සොයිසා නමැත්තා 70 දශකයේ අමානුෂික ක‍්‍රියා අතර ප‍්‍රබල චරිතයක් විය. ඔහු පුද්ගලයන් පැහැරගෙන ගොස් කෲර අයුරින් ඝාතනය කොට රථවාහන පිටින්ම වළදැමූ බව අතීතයේ තතු දන්නෝ පවසති.

ඔහුගේ එම ක‍්‍රියාව යළි සිහි ගන්වමින් ලොමු ඩැහැ ගන්වන අමානුෂික ඝාතනයක් පිළිබඳ හෙළිදරව් වූයේ ආණමඩුව වටුවත්තෑව ප‍්‍රදේශයෙනි.

එදා සොයිසා යාපනය ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඝාතනය කොට ඔහුගේ කේම්බි‍්‍රජ් වර්ගයේ මෝටර් රථයද සමග වළදැම්මේ කැලැත්තෑවේය.

අද තම සමීපතම මිතුරා ඝාතනය කර වළදමා ඇත්තේ ආණමඩුව වටුවත්තෑවේය.

මෙසේ ඝාතනය කර ඇත්තේ 58 හැවිරිදි අන්නමලේ පලනි මා ඕලිව් නමැති අයයි. ඔහු දෙදරු පියෙකි. කොළඹ වැල්ලවත්ත ඔහු පදිංචිව සිටි ප‍්‍රදේශයේයි. අන්නමලේ පලනි ද්‍රවිඩ ජාතිකයෙකි.

අන්නමලේ ඔහුගේ සහකාරිය වශයෙන් සහායට ගන්නේ සිංහල ජාතික කාන්තාවකි. ඇය ගාල්ලේය. දැන හැඳිනගෙන එකම වහලක් යට ඔවුන් පැමිණෙන්නේ දෙමාපිය ආශිර්වාද මධ්‍යයේ මීට අවුරුදු 27 කට පමණ පෙරය. වැල්ලවත්ත මහල් නිවසක ජීවත් වූ අන්නමලේ මීට වසර පහළොවකට පමණ පෙර ඉතාලිය බලා පිටත්ව යන්නේ බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳගෙනය. දීර්ඝ කාලයක් ඉතාලියේ රැකියාවක නිරතවූ ඔහු පසුව සුළු සේවක පිරිසකගෙන් සමන්විත ඇඟලූම් ආයතනයක හිමිකරුවෙක් බවට පත්වන්නේය. අනතුරුව සිය දරුවන් දෙදෙනා හා බිරිඳ ද ඉතාලියට ගැනීමට කටයුතු කරයි. ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යන අතරතුර වරින් වර ඔහු ලංකාවට පැමිණීමටද කටයුතු කරයි.

2016 වර්ෂයේ ඉතාලියේ සිටින අතරතුර ඔහු අන්තර්ජාලය හරහා යතුරුපැදියක් මිලදී ගැනීම සඳහා සම්බන්ධ වෙන්නේ ආණමඩුව කොරලයාගම, මොන්නෑකුලම ප‍්‍රදේශයේ පදිංචි ප‍්‍රදීප් කුලතුංග නමැති වයස අවුරුදු 37 ක පුද්ගලයෙක් සමගය. ඔහු වසර කීපයක් කොළඹ ප‍්‍රදේශයේ රියැදුරෙකු ලෙස ආයතන කීපයක සේවය කර ඉන් පසු ගමට පැමිණ බැකෝ යන්ත‍්‍රයක් මිලදීගෙන ගොවිතැන් කටයුතු පවත්වාගෙන යන්නෙකි. අන්තර්ජාලය ඔස්සේ යතුරුපැදි විකිණීම ද ඔහුට අමතර ආදායමක් ගෙන එන්නකි. පසුව නිරන්තරයෙන් දුරකථනය මගින් සම්බන්ධ වන අන්නමලේ පලනි හොන්ඩා වර්ගයේ යතුරු පැදියක් මිලදී ගැනීමට ඔහු සමග කතා බහ කරගත් අතර 2017 වර්ෂයේ ලංකාවට පැමිණෙන බවත් එම යතුරුපැදිය තමන්ට වෙන්කර තැබීමට කටයුතු කරන මෙන් පැවසීය. එහෙත් ලංකාවට පැමිණි අවස්ථාවේ යතුරුපැදිය සම්බන්ධව ඔහුගෙන් විමසූ විට එය වැඩි මිලකට විකුණා ගැනීමටට හැකිවූ බව පවසා වෙනත් යතුරු පැදියක් සොයා දුන්නේය. ඔවුන්ගේ මෙම හමුවීම වසර ගණනාවක් ඇසුරු කර මිතුරන් බවට පත් වීමට වැඩි කාලයක් ගත නොවීය. බොහෝ හමුවීම් මත් වතුරෙන් අවසන් විය.

මෙලෙස හමුවූ එක් අවස්ථාවක ආණමඩුව ප‍්‍රදේශයෙන් තමන්ට අක්කර හත අටක ඉඩමක් මිලදී ගැනීමට අවශ්‍ය බව අන්නමලේ පලනි පැවසීය. ඔහුගේ අවශ්‍යතාව සපුරා දීමට වැඩි කාලයක් ගත නොවීය. ලක්ෂ 80 අසූවකට අක්කර 8 ක ඉඩමක් සපයාදීමට ප‍්‍රදීප් කටයුතු කළේය. ඉතා සුන්දර පරිසරයකට හිමිකම් කියන ආණමඩුව වටුවත්තෑව ගම්මානය මේ ඉඩමේ ඉසව්වයි. තරමක් ලඳු කැලෑ සහිත මෙම ඉඩම සුද්ද පවිත‍්‍ර කර පොල් වගාව සිදු කිරීමට හැකි බව ද එකිනෙකා කතිකා කර ගත්තේය.

මෙම ඉඩම මිලදී ගැනීමෙන් පසු ඉඩමේ සංවර්ධන කටයුතු ප‍්‍රදීප්ට සිදු කරන මෙන් පවසා අන්නමලේ ඉතාලිය බලා පිටත් වූයේ පවත්වාගෙන යන ව්‍යාපාරයේ වැඩ කටයුතු රැසක් සිදු කිරීමට තිබූ නිසාවෙන්ය.

පසුව ඉඩමේ වැට සකස් කිරීමට, ගෙයක් සෑදීමට හා පොල් පැළ සිටුවීටම රුපියල් ලක්ෂ 30 ක පමණ මුදලක් අවස්ථා කිපයකදී එවීමට කටයුතු කළේය.

ප‍්‍රදීප් ඔහුගේ බැකෝ යන්ත‍්‍රයද ඉඩමට රැගෙනවිත් එහි සංවර්ධන කටයුතු සිදුකිරීමට පියවර ගත්තේය.

අනතුරුව අන්නමලේ 2021 6 වෙනි මස 10 වෙනි දින ලංකාවට පැමිණෙන්නේ අවශ්‍යතා කීපයක් සඳහාය. එසේ පැමිණීමෙන් පසු සිය ඉඩමේ සාදා ඇති නිවසේ ගත කරන ඔහු දිනක් පොල් වගාවට විශාල ලෙස හානි පැමිණ තිබීමත් ඉඩමේ පවතින අඩුපාඩු කීපයක් සම්බන්ධව ප‍්‍රදීප්ගෙන් විමසීමට කටයුතු කරයි. පොල් වගාවට ඉත්තෑවන්ගෙන් විශාල ලෙස හානි සිදුවූ බවත් පැවති සෙසු අඩුපාඩු වලට ද ඔහු හේතු දැක්වූවේය. දෙදෙනා අතර සිත් තැවුලක් ඇති වීමට මෙම කරුණු කාරණා බලපෑවේය. සිත් තැවුලෙන් නිවසට ගිය ප‍්‍රදීප් සුපුරුදු ලෙස නැවත රාත‍්‍රී කාලයේ එහි පැමිණියේය. මත් වතුර තොල ගාමින් සිදු වන මෙම හමුවේ දී දහවල් කාලයේ ඇතිවූ ප‍්‍රශ්න පත්තරය දිග හැරෙන්නට විය.

මෙහිදී අන්නමලේ ඉඩම විකිණීමට කටයුතු කරන බව පැවසීය. එම අවස්ථාවේ දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වූ අතර ප‍්‍රදීප් එකවරම නැගිට අන්නමලේ අතින් තල්ලූ කළේය. එම අවස්ථාවේ ඔහු ඒ අසල ගල් බංකුවේ සහ ගල් පුටුවේ වැදී වැටුනේය. පසුව ප‍්‍රදීප් දැඩි පරිශ‍්‍රමයක් දරා සිහි මඳ ගතියෙන් සිටි අන්නමලේව ඇඳට දමා නිවසට ගියේය. පසුදා උදෑසන එම ස්ථානයට පැමිණි විට අන්නමලේ මියගොස් ඇති බව දැනගැනීමෙන් පසු විශාල වළක් කපා සිරුර වළ දැමීමට කටයුතු කළේය.

දිනකට කීප වරක් දුරකථනයෙන් අන්නමලේට ඉතාලියේ සිටින බිරිඳ කතා කරන අතර දින කීපයක් තිස්සේ දුරකථනය අක‍්‍රීය වී තිබීම හේතුවෙන් ඇය තුළ සැකයක් මතුවිය. ඉන්පසු 2021 ජූලි මාසයේ 09 වෙනි දින ඇය සිය දියණියත් සමග ලංකාවට පැමිණ සැමියාගේ අතුරුදන් වීම සම්බන්ධව වැල්ලවත්ත පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු කළාය. පසුව වැල්ලවත්ත පොලිසිය මගින් ආණමඩුව පොලිසියට සිද්ධිය පිළිබඳ දැන්වීමෙන් පසු එහි විමර්ශන කටයුතු සිදු කිරීමට කටයුතු කළේය. වර්තමානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන එවකට සුළු පැමිණිලි අංශයේ කටයුතු කළ පොලිස් පරීක්ෂක එච්. එස්. ජයරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් දුරකථන විශ්ලේෂණ වාර්තා, බැංකු ගිණුම් සහ තවත් හෝඩුවාවන් ඔස්සේ සිදුකළ දීර්ඝ විමර්ශනවලදී තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට හැකි විය. ඒ අනුව අතුරුදන් වූ අන්නෙමලේ සමඟ සමීප ඇසුරක් පැවැත්වූ ප‍්‍රදීප් කුලතුංග යන අය ආණමඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරයි.

70 දශකයේ කැලැත්තෑවේ අභිරහස සිහිගන්වන වටුවත්තෑවේ ඝාතනය…

එසේ අත්අඩංගුවට ගත් සැකකරු මෙම ව්‍යාපාරිකයා සතු ඒ. ටී. එම්. කාඞ්පත භාවිත කරමින් ව්‍යාපාරිකයා අතුරුදන් වූ දින සිට දින 14 ක් තුළ දිනකට ලක්ෂය බැගින් ලක්ෂ 14 ක් බැංකුවෙන් ලබා ගෙන තිබූ බව පොලිස් පරීක්ෂණවලදී සනාථ විය. තවද ප‍්‍රශ්න කිරීම් හමුවේ ඔහු කියා සිටියේ ඉතාලියේ සිට පැමිණ අතුරුදන් වූ අය දින කීපයක් ඉඩමේ ඇති නිවසේ රැඳී සිටි බවත් ඔහු සම්බන්ධතාවක් පැවැත්වූ හලාවත මුන්නේශ්වරම ප‍්‍රදේශයේ කාන්තාවක් සමග ගිය බවයි. මේ අනුව පොලිසිය නොමඟ හරිමින් සිදු කළ ප‍්‍රකාශ වලින් ඝාතනය සම්බන්ධව වැදගත් තොරතුරක් සනාථ කර ගැනීමට නොහැකි විය.

ඒ අනුව අදාළ සැකකරුට ආණමඩුව අධිකරණයේදී ඇප නියම වී ව්‍යාපාරිකයාගේ මරණය අභිරහසක්ව පැවතුණි.

ඉන් අනතුරුව මේ සම්බන්ධව ආණමඩුව පොලිසිය හලාවත පොලිස් අධිකාරි කාර්යාලයට වාර්තා කිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කිරීමට කටයුතු කෙරිණි.

ඒ අතරතුර ව්‍යාපාරිකයාගේ බිරිඳ මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොඨාසයට පැමිණිලි කිරීමත් සමග යළි සිද්ධිය සම්බන්ධව විමර්ශන කටයුතු ආරම්භ කෙරිණි.

ඒ අනුව අධිකරණ ඇප මත නිදහස්ව සිටි මෙම ව්‍යාපාරිකයාගේ සමීප හිතවතා වන ප‍්‍රදීප් කුලතුංග නමැත්තා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායම අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමට කටයුතු කෙරිණි.

ඉන් අනතුරුව සැකකරු සිද්ධීන් එකිනෙක වමාරන්නට විය. මෙහිදී ව්‍යාපාරිකයා සතුව තිබූ පවුම් 10 ක රන් මාලයක්, පවුම් හතරහමාරක බ්‍රෙස්ලට් එකක් සහ මුදු දෙකක් ඔහු විසින් නිකවැරටිය ප‍්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයකට උකස් කර ඇති බව හා තවත් ස්ථාන කීපයකට විකුණා ඇති බව අනාවරණය කරගැනීමට හැකි විය.

සැකකරු පාපොච්චාරණය කළේ 2021 මැයි මාසයේ ඉඩමට පැමිණි අවස්ථාවේදි ඇතිවූ බහින් බස් වීමකින් පසු තල්ලූ කිරීමක් සිදු බවත් ඉන්පසු ව්‍යාපාරිකයා මරණයට පත්ව වීමෙන් පසු ඉඩමේ කෙලවරක පොල් වගාව සඳහා යොදා ගත් වළකට දමා දැමූ බවයි.

ඒ අනුව අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය අදාළ ඉඩම තුළ කැණීම් සිදුකිරීමට අවසර ලබා ගෙන තිබුණි.

එසේ ලබා ගත් අධිකරණ නියෝගයෙන් පුත්තලම මූලික රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි කුලේන්ද්‍ර පේ‍්‍රමදාස මහතාගේ අධීක්ෂණය යටතේ මෙම ස්ථානයේ කැණිම් කිරීම් 4 දින උදෑසන ආරම්භ වී කෙරිණි.

එසේ කැණීම් කිරීම්වලදි අත් අඩංගුවේ පසුවන සැකකරු පැවසූ තොරතුරු මත කැණීම් කළද සොයා ගත නොහැකි ව තිබූ අතර පසුව එම ස්ථානයට නුදුරින් වූ ස්ථානයක අඩි 8 කට වඩා ගැඹුරක පැදුරක ඔතා තිබූ සිරුර සොයා ගැනීමට අදාළ කණ්ඩායම් සමත්ව විය.

මෙම සිරුර සොයා ගැනීමට පැය 10 කට අධික කාලයක් ගත විය.

එම ස්ථානයට පැමිණි ආණමඩුව මහෙස්ත‍්‍රාත්වරිය වළදමා තිබූ අදාළ සිරුර පරීක්ෂා කිරීමෙන් පසුව පුත්තලම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත යොමු කිරීමට නියෝග කෙරිණි.

අදාළ සිරුර වළ දැමූ ස්ථානය හඳුනා ගැනීමට ඝාතනය සම්බන්ධ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ව්‍යාපාරිකයාගේ ඉඩමට රැගෙන ඒමට කටයුතු කළේය.

ඔහු මියගොස් ඇති බව දැනගැනීමෙන් පසුව එම ඉඩමේ වැව ආසන්නයේ පොල් වළක වළ දැමූ බව සැකකරු සඳහන් කළත් කැණීම් කටයුතු සිදු කිරීමේ දී අඩි 8 කට ආසන්න ප‍්‍රමාණයක වළක වළ දමා තිබූ ආකාරය දැක ගැනීමට හැකි විය. මේ අනුව විමර්ශන කටයුතු සිදු කළ නිල නිලධාරීන් සැක කරන්නේ මොහු සතුව ඇති බැකෝ යන්ත‍්‍රයෙන් විශාල වළක් කපා සිරුර වළ දමා ඇති බවයි. සැකකරු නිශ්චිතම වළ දැමූ ස්ථානය සඳහන් නොකිරීම හේතුවෙන් පැය දහයකට අධික කාලයක් තිස්සේ වළ දැමූ ස්ථානය සොයා කැණීම් කටයුතු කළත් ස්ථානය නිශ්චිතවම සොයා ගැනීමට නොහැකි විය. මේ හේතුවෙන් කැණීම් කටයුතු සිදු නොකර ආපසු යෑමට කටයුතු කිරීමේදී පුත්තලම මූලික රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි කුලේන්ද්‍ර පේ‍්‍රමදාස මහතාගේ අධීක්ෂණය යටතේ තවදුරටත් විමසිලිමත් වෙමින් අධිකරණ වෛද්‍ය විද්‍යාවේ තාක්ෂණයට අනුව එක් ස්ථානයක ඇති පස්වල මිශ‍්‍රණයේ වෙනස හඳුනාගෙන එම ස්ථානය කැණීම් සිදු කිරීමට කටයුතු කළේය. ඒ අනුව උදෑසන හත හමාරේ පමණ සිට පැය දහයකට ආසන්න කාලයක් සිදු කළ උත්සාහය සවස පහ හමාර වනවිට සාර්ථකත්වයට ළඟාවීමට හැකිවිය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂක පියල්, සමීර, පොලිස් සැරයන් (10033) මහෙෂ්, (40947) ගමගේ, (66229) ජයසූරිය පොලිස් කොස්තාපල් (51904) ලියනගේ, (97600) බංඩාර, (97003) ප‍්‍රියදර්ශණ (97047) දේශප‍්‍රිය, (32551) කුලසිංහ (97598) කුලසිංහ, (97122) රන්දික, (37380) පේ‍්‍රමචන්ද්‍ර, පොලිස් කොස්තාපල් රියැදුරු (76757) රණසිංහ යන නිලධාරින්, ආණමඩුව සහකාර පොලිස් අධිකාරි එච්. එච්. සී. පී. හේරත් මහතා, ආණමඩුව පොලිස් ස්ථානාධිපති ජගත් කුමාර හා අපරාධ අංශ ස්ථානාධිපති එච්. එස්. ජයරත්න යන නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment