71 වැනි රන් මහ සටන හෙට

199

ඡායාරූපයේ වමේ සිට: මොරටුව ශා.සෙබස්තියන් විදුහලේ කනිෂ්ඨ අංශය භාර හර්මන් එරංග පියතුමා, මොරටුව සෙබස්තියන් විදුහලේ ක‍්‍රීඩා භාර සමේෂ් ඇන්තනි පියතුමා, මොරටුව ශා.සෙබස්තියන් විදුහලේ නියෝජ්‍ය විදුහල්පති ශාම් දසනායක පියතුමා, මොරටුව ශා.සෙබස්තියන් විදුහලේ විදුහල්පති සංජීව මෙන්ඩිස් පියතුමා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම, මොරටුව වේල්ස් කුමර විදුහලේ විදුහල්පති දිමුතු දෙරන්නාගොඩ, මොරටුව වේල්ස් කුමර විදුහලේ ක‍්‍රිකට් තරග කමිටුවේ සභාපති ප‍්‍රීති කුමාර ප‍්‍රනාන්දු, මොරටුව වේල්ස් කුමර විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් මහින්ද ජයවීර, මොරටුව වේල්ස් කුමර විදුහලේ ක‍්‍රිකට් තරග සංවිධායක කමිටුවේ ලේකම් සිසිර චන්ද්‍රපාල යන මහත්වරුන්.

 වසර දෙකක නිහැඬියාවකින් පසු මොරටුව ශා. සෙබස්තියන් විදුහල හා මොරටුව වේල්ස් කුමර විදුහල අතර පැවැත්වෙන 71 වැනි ’රන් මහ සටන‘ කි‍්‍රකට් තරගාවලිය හෙට සහ අනිද්දා දෙදින (14 සහ 15 වැනිදා) මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී කි‍්‍රයාත්මක වේ. රන් මහ සටන බලගැන්වීමට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම නැවත වරක් ඉදිරිපත්ව සිටී.

 පවතින කොරෝනා තත්ත්වය මත මෙවර තරගය සියයට 50ක පේ‍්‍රක්ෂක ධාරිතාවක් යටතේ පැවැත්වීමට සංවිධායක කමිටුව තීරණය කර තිබේ. කණ්ඩායම් පුහුණුකරුවන්, සහාය කාර්ය මණ්ඩලය, විනිසුරුවන් හා තරග නිලධාරීන් ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවාවන්හි අධීක්ෂණය යටතේ කොවිඞ්-19 සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව දින 7ක ජෛව ආරක්ෂක පරිසරයක් තුළ සිය කටයුතු මෙහෙයවනු ඇත.

 පාසල් දෙක අතර දෙදින ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් අනතුරුව 36 වැනි වරටත් පැවැත්වෙන පන්දුවාර 50 එක්දින තරගය 16 වැනිදා මොරටුව සොයිසා කී‍්‍රඩාංගණයේදීම පැවැත්වේ.

 රන් මහ සටහන තරග ඉතිහාසයේ ජයග‍්‍රහණ හයකට වේල්ස් කුමර විදුහල හිමිකම් කියද්දී සෙබස්තියන් විදුහලට ජයග‍්‍රහණ 3ක් හිමිව තිබේ. 2011 වසරේදී සනිත ද මෙල්ගේ නායකත්වය යටතේ ජයග‍්‍රහණය කළ ශා. සෙබස්තියන් විදුහල වත්මන් ශූරයන් වේ. අවසන් වරට පැවැති දෙදින ක‍්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්වූ අතර එක්දින තරගයේදී වේල්ස් කුමර කණ්ඩායමට ඩක්වර්ත් හා ලූවිස් න්‍යායට අනුව ලකුණු 5ක තියුණු ජයක් හිමිවිය.

 සීමිත පන්දුවාර තරගාවලි ඉතිහාසයේ ජයග‍්‍රහණ 17ක් සමඟින් සෙබස්තියන් කණ්ඩායම පෙරමුණේ පසුවන අතර, වේල්ස් කුමර කණ්ඩායම ජයග‍්‍රහණ 15කට හිමිකම් කියයි. එක් තරගයක් ලකුණු සමවීමෙන් නිමාවට පත්වෙද්දී තරග දෙකක් අත්හැර දැමීමට සිදුව තිබේ.

 කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment