’72 පනත තවම වෙනස්කර ගන්න බැරිවෙලා…. අනුරුද්ධ ජයසිංහ

473

ප‍්‍රවීණ සිනමාකරුවන් චිත‍්‍රපටයෙන් ටෙලි නාට්‍යයට මාරු වීමේ ප‍්‍රවණතාවයේ තවත් එක් සාක්ෂියක් වනුයේ ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහ යි. ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයේ අවුරුදු ගණනක නිහැඬියාවකින් පසු මෙගා නාට්‍ය ප‍්‍රවාහයට පිවිසෙන ඔහු ඒ පිළිබඳව හා සිනමාවේ වත්මන් අර්බුදය ගැන ඔහුගේ මතය පළ කළේ මෙපරිදියි.

සිනමා ක්ෂේත‍්‍රයේ නමක් දිනා සිටි ඔබේ අලූත් නිර්මාණය ටෙලි නාට්‍යයක්. ඇයි ඒ?

ඇත්තටම චිත‍්‍රපටයක් කරන්න තිබෙන අපහසුතාවය නිසා. රටේ තිබෙන වාතාවරණය, කොවිඞ් වසංගතය නිසා සිනමා ශාලා වසා දමලා. සිනමාශාලා ප‍්‍රමාණයත් එන්ඩ එන්ඩම අඩුවේගන යනවා. එසේම ආයෝජකයොත් වෙනත් දේවල්වලට යොමු වෙනවා. මේ අර්බුදයට රජයේ මැදිහත්වීමක් සිද්ධ වෙන්නේම නැහැනෙ. අපි ගොඩක් උත්සාහ කළා සිනමාශාලාවලට සහන අරං දෙන්න. නමුත් කරගන්න බැරි වුණා. ඉතිං සිනමාශාලා හිමියනුත් කල්පනා කරනවා මේක තේරුමක් නැති වැඩක් කියලා. මේක කර්මාන්තයක් ලෙසට රජය පිළි අරගෙන නැති නිසා මේකට කිසිදු සහනයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා සිනමාශාලා හිමියන් සිනමා ශාලා ගොඩනැගිලි වෙනත් ව්‍යාපාර සඳහා බදු දෙන හෝ විකුණා දැමීමේ මාවතකට යොමුවෙලා තිබෙනවා, ආදායමක් සඳහා. තව ඉදිරියේදී ඈත පළාත්වල සිනමා ශාලා 25 ක් 30 ක් වාගෙ අපට අහිමි වෙයි. පේ‍්‍රක්ෂකයිනුත් හෝම් තියටර් ආදී නවීන මෙවලම් හරහා නෙට්ෆ්ලික්ස් ඇමසන් ආදී චැනල් හරහා චිත‍්‍රපට නැරඹීමේ ප‍්‍රවණතාවයකට හුරු වෙලා. මේ තත්ත්වයන් යටතේ හොඳ චිත‍්‍රපට සඳහා ආයෝජකයෙක් සොයාගැනීම අමාරු කාර්යයක්. ඉතින් මම රූපවාහිනී නාලිකාවකට සම්බන්ධ නිසා ඉන් සැපයෙන පහසුකම් එක්ක ටෙලි නාට්‍යයක් නිර්මාණය කරනවා.

’72 පනත තවම වෙනස්කර ගන්න බැරිවෙලා.... අනුරුද්ධ ජයසිංහ
නයනතාරා

සිනමාවේ තිබෙන මේ අර්බුදයට ඔබ සිතන විසඳුම මොකක්ද?

මේකට විසඳුමක් දෙන්න පුළුවන් ඒ සම්බන්ධ රාජ්‍ය ආයතනවලටනෙ. නැතුව ජනතාව විදිහට අපිට බලයක් නෑනෙ ප‍්‍රවේශපත‍්‍ර මිල නියම කරන්න, බදු අඩු කරන්න ආදී දේ කරන්න. ඒක කරන්න පුළුවන් ආණ්ඩුවට පමණයි. සිනමාව කර්මාන්තයක් ලෙස රජය පිළිනොගන්නා තාක් කල් මේ සහන ලබාගන්න බැහැ.

මෙය කර්මාන්තයක් ලෙස පිළිගන්න රජය මෑතකදී එකඟ වුණා නේද?

ඕක හැම ආණ්ඩුවකින්ම කරන බොරුවනේ. මම ම ගිහිං තියෙනවා සාකච්ඡා 50කට 60 කට වඩා ජනාධිපතිවරු අදාළ අමාත්‍යාංශවල ඇමැතිවරු හා ලේකම්වරු සමග. ඒ අයත් අපේ යෝජනා පිළිගන්නවා. අපිත් තේ බීලා එනවා. නමුත් කවදාවත් ඉෂ්ට වෙන්නේ නැහැ. 1972 සම්මත වූ පනත 2021 වෙනකම්ම වෙනස් කරගන්න, අපිට අවශ්‍ය සංශෝධන කරගන්න අපට බැරිවෙලා තියෙනවා. නිලවීර වාර්තාව යටතේනෙ බෙදාහැරීම පෞද්ගලික අංශයට බාරදුන්නෙ. ඒ අනුව මෙය නියාමනය කරන්න ඕනෙ සංස්ථාව. ඔය නිලවීර වාර්තාව කවුරුත් කියවලා නැහැ. ඒකෙ තියෙනවා බෙදාහැරීම පෞද්ගලික අංශයට බාර දුන්නට සංස්ථාවට ඇති වගකීම්. බෙදාහැරීම් මණ්ඩලය විසින් චිත‍්‍රපටයට ප‍්‍රචාරණයක් ලබා දිය යුතුයි, පෝස්ටර් ප‍්‍රචාරක වැඩසටහන් ආදියෙන්. ඒකට තමයි බෙදාහැරීම් මණ්ඩලය 10%ක් ගන්නේ. චිත‍්‍රපටය පාඩු වුණත් ආදායමෙන් 10%ක් බෙදාහරින්නා ගන්නවනේ. ඒ වගේ දේවල් සංස්ථාව මැදිහත්වීමෙන් වෙනස් කරගන්න පුළුවන්. චිත‍්‍රපට පෙළගස්වන්නේ බෙදාහරින්නන්ට අවශ්‍ය ලෙසයි. අලූත් සිනමාකරුවන්ට මේකෙන් වෙන්නෙ මහා අසාධාරණයක්. රැඟුම්පාලක මණ්ඩලයේ අනුමත පිළිවෙළට ද පෙන්වන්නෙ? කොමර්ෂල් වැලිව් එක මතද? දේශපාලන බලය මතද? අලූත් සිනමාකරුවන්ට එහෙම බලයක් නැති නිසා ඔවුන් හරි අඩුවෙන් තමයි මේකට එන්නෙ. හරිම මාෆියා එකක් තියෙන්නෙ මේක තුළ.

’72 පනත තවම වෙනස්කර ගන්න බැරිවෙලා.... අනුරුද්ධ ජයසිංහ
අශාන්

නිෂ්පාදකයා සේරම දේවල් කරලත් ඔහුට වෙලාවට සල්ලි ලැබෙන්නෙ නැහැ. ඇයි මේක චිත‍්‍රපට සංස්ථාවට නියාමනය කරන්න බැරි? එදිනෙදා ආදායමෙන් සිනමාශාලා හිමියන්ගේ කොටස, බෙදාහරින්නාගේ කොටස හා නිෂ්පාදකයාගේ කොටස අදාළ ගිණුමට එදිනෙදා බැර කරන්න පුළුවන්නේ. හරි සරල කාරණාවක්නේ. මේකවත් කරන්නේ නැහැනේ. මම කරපු අන්තිම චිත‍්‍රපටය සංස්ථාවට දුන්නේ රජයේ වගකීමක් ලැබෙන නිසා. මාස 7 ක් 8 ක් නිෂ්පාදකවරයා ගිහින් සංස්ථාවේ ඉඳගෙන ඉන්නවා තමන්ගේ සල්ලි ගන්න. ඔබ හිතන්න රුපියල් ලක්ෂ 600 ක් 700 ක් මාස හත අටක් බැංකුවේ තිබ්බාම පොලිය කීයක් එනවද කියලා. ඒවා ඔක්කොම ප‍්‍රදර්ශකයන්ට. බලන්න 2005 සිට 2009 දක්වා වූ මහින්ද චින්තනයේ තිබෙනවා දේශීය ශ‍්‍රව්‍ය දෘෂ්‍ය කලාව අස්වැද්දීම කියලා කොටසක්. ඒකෙ තිබෙනවා දේශීය සිනමාව දියුණු කිරීමේ ක‍්‍රම ඔක්කොම. ඔවුන්ට උදව් කළ ලංකාවෙ ප‍්‍රධාන පෙළේ කලාකරුවන්ට ඇයි ගිහිං අහන්ඩ බැරි මේවා කරන්නෙ නැත්තෙ ඇයි කියලා? යූඇන්පී ශී‍්‍ර ලංකා සන්ධාන ආණ්ඩු ඔක්කොම එහෙමයි කලාකරුවන්ට සැලකුවේ.

මෙගා නාට්‍ය රැල්ල තුළ ඔබේ අනන්‍යතාවය රැකගන්න පුළුවන් යැයි ඔබ සිතනවාද?

ඇත්තටම බැහැ. මේක මේ සිස්ටම් එක තුළ සරල රසවින්දනය පිණිස කරන වැඩක්. නිර්මාණාත්මක දෙයක් කරන්න නිදහසක් ඒ තුළ නැහැ. හරියට ෆැක්ටරියකින් එළියට දාන සැමන් ටින් වගේ. නියමිත කාලයක් තුළ රූගත කළ යුතුයි. ඒක තමයි මෙහි ක‍්‍රමය. මට ඕනෙ වුණේ මේක කරලා බලන්න. ඉස්සර අපි වැඩ කළේ වෙහෙස මහන්සි වෙලා, ආර්ටිස්ට්ලා සමග සංවාද කරලා එහෙමනෙ. නමුත් දැන් පරම්පරාවට එහෙම සංවේදී දැක්මක් නැහැ. කළින් පරිනත අධ්‍යක්ෂවරුන් සමග හෝ ශිල්පීන් සමග වැඩකරපු අයත් නොවෙයි. මේ ඊයෙ පෙරේදා ගෙවල් වලින් එළියට ආපු රස්සාවල් නැති අය එකතු වෙලා කැමරාවක් අටවාගෙන කරන ඒවානෙ මෙගා කියන්නේ. මේක සාමාන්‍ය රසවින්දනය උදෙසා මිස ලොකු දේවල් කරන්න බැහැ. ඒක දැනගෙන තමයි මම ආවේ. මගේ වැඬේ තුළ පේ‍්‍රක්ෂකයාට යම් සාධාරණයක් ඉටු කරන්න මම උත්සාහ කරනවා.

අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කරන ”පියාඹන මූනිස්සම්” නවතම ටෙලි වෘත්තාන්තය නිෂ්පාදනය කරන්නේ රාජපුත‍්‍ර ප‍්‍රඩක්ෂන්ස් වෙනුවෙන් සජීව් රාජපුත‍්‍ර විසිනි. අශාන් ඩයස්, නයනතාරා වික‍්‍රමාරච්චි, ධනුක දිල්ශාන්, දර්ශන් ධර්මරාජ්, සජීව් රාජපුත‍්‍ර, බිම්සරා පේ‍්‍රමරත්න, පියොරිනා ප‍්‍රනාන්දු ප‍්‍රධාන චරිත නිරූපණය කරන අතර අනුජ ප‍්‍රියභානු විදානගේ, දිනිඳු ඒකනායක, ටිෂාන් වික‍්‍රමසිංහ, උදේශ් මාලිංග තිරරචනයෙන්ද චින්තක සෝමකීර්ති කැමරා අධ්‍යක්ෂණයෙන්ද තිලංක නිරංජන බණ්ඩාර සංස්කරණයෙන්ද වරුණි අල්පොන්සු හා ප‍්‍රියන්ත තිලක් රත්නායක වේෂ නිරූපණයෙන්ද දමින්ද මඩවල නිෂ්පාදන කළමනාකරණයෙන්ද අමිල පහතගෙදර හා සසික හේරත් සහාය අධ්‍යක්ෂණයෙන්ද ප‍්‍රසන්න කුමාරගේ කලා අධ්‍යක්ෂණයෙන්ද දායක වන ”පියාඹන මූනිස්සම්” රේඛීය නිෂ්පාදනය නදීර සේනානායක ගෙනි.

නිමල් ෆ‍්‍රැන්සිස්

advertistmentadvertistment
advertistmentadvertistment