74 වසරක සාපලත් පාලනයෙන් රට මුදාගන්න එක්වන්න – අනුර කුමාර දිසානායක

129

ජාතික ජන බලවේගයේ නුගේගොඩ ජන රැළිය

හොරු රකින පාලනයක් වෙනුවට හොරු අල්ලා දඬුවම් දෙන පාලනයක් වෙනුවෙන් නව ජනවරමක් අත්‍යවශ්‍ය බවත් එබැවින් වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් දෙන නව ජනවරමකට අවස්ථාව ලබා දිය යුතු බවත් ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා 20 වැනිදා සඳහන් කළේය

ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා 21 වැනිදා එම අදහස් පළකලේ ”පාර්ලිමේන්තුව විසුරුවනු! නව ජනවරමකට ඉඩදෙනු! අරගලයේ ජන බලය ” මැයෙන් එම බලවේගය සංවිධානය කළ ජන රැළිය නුගේගොඩදී පැවැති අවඅවස්ථාවේදී.

එම බලවේගයේ සාමාජිකයන් දෙල්කඳ සිට නුගේගොඩට උද්ඝෝෂණ පෙළපාළියෙන් පැමිණ නුගේගොඩ නගරයේදී ජන රැළිය පැවැත්වීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.

මහජන අරගලවලින් රාජපක්ෂ කඳවුරේ හිස ඉවත් කරන්න සමත් වුණා. කඳ පාර්ලිමේන්තුවේ ඉතිරි වී තිබෙනවා. ඒ කඳ විසින් රනිල් රාජපක්ෂ හිසක් නිර්මාණය කළා. දැන් රටේ නිශ්චිත වශයෙන් කඳවුරු දෙකක් බෙදී තිබෙනවා. එකක් රනිල් රාජපක්ෂ කඳවුර. ඒ කඳවුර රනිල්, රාජපක්ෂලා, අපරාධකාරයින්, වංචනිකයින් ඇතුළු කණ්ඩායමකින් සමන්විතයි. ඒ වගේම හොරගල් අහුලන කණ්ඩායමකුත් ඉන්නවා. ස්වාධීනවූවා කියන පිරිස හොරගල් අහුලනවා. සජිත්ගේ කණ්ඩායමේ බොහෝ අයත් හොරගල් අහුලමින් ඉන්නවා. මේ කඳවුර පවතින්නේ පාර්ලිමේන්තුවේ 134 කින්. මහජනයාගේ කැමැත්ත මත නොවෙයි. අනික් පැත්තෙන් මේ ව්‍යවස්ථාව ඇතුලේ බලයක් නිර්මාණය කර ගන්න මේ කඳවුරට හැකිවී තිබෙනවා. අනික් කඳවුරට විවිධ වරදාන, වරප්‍රසාද ලබාදීමෙන් රඳාපැවැත්ම තහවුරු කරගෙන තිබෙනවා. ලබන සතියේ තවත් ඇමැතිවරු රොත්තක් දිවුරුම් දීමට නියමිතයි. ආණ්ඩු පක්ෂයේ මේ කණ්ඩායම් මෙහෙයවන අයට විවිධ වරදාන වරප්‍රසාද ලබාදී අලුතින් නියෝජ්‍ය සංවිධායකලාත් පත්කර සිටිනවා. මහජන ධනය කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරමින් ඔවුන්ගේ පැවැත්ම තහවුරු කරගෙන තිබෙනවා.

74 වසරක සාපලත් පාලනයෙන් රට මුදාගන්න එක්වන්න - අනුර කුමාර දිසානායක

රනිල්ගේ උපදේශකලා හැටියට හිටපු ඇමතිවරුන් පත්කරගෙන. ඊට අමතරව විවිධ අධ්‍යක්ෂ ජනරාල්වරු පත්කරගෙන. විවිධ වරදාන, වරප්‍රසාද ලබාදී තමන්ගේ හිතවතුන් සනසනවාට අමතරව ඒවාට විරුද්ධ වෙන අයට මර්දනය දියත් කර තමන්ගේ පැවැත්ම තහවරු කරගන්න රනිල් වික්‍රමසිංහ කල්පනා කරනවා. ඒ ඉතිහාසය අවසන්වී දශක ගණනාවක් ගෙවී ඇති බව අපි මතක් කරනවා.

අරගලය සාමකාමී අය සහ ත්‍රස්තවාදීන් සිටි බව පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ කිව්වා. ඔහු කියන ඒ ත්‍රස්තවාදීන් කවුද කියලා අපි බලාගෙන සිටියා. පූල් එකේ සබන් ගාලා නාපු කෙනා එක ත්‍රස්තවාදියෙක්. ජනාධිපතිගේ වැසිකිළිය පාවිච්චි කළ කෙනා තව ත්‍රස්තවාදියෙක්. ජනාධිපතිගේ කොඩියේ නිදාගත් කෙනා තව ත්‍රස්තවාදියෙක්. ෆ්‍රිජ් එකේ තිබුණු ගස්ලබු කෑල්ල කෑව කෙනා තව ත්‍රස්තවාදියෙක්. ජනාධිපති මන්දිරයේ තිබුණු සල්ලි ගණන් කළ කෙනත් ත්‍රස්තවාදියෙක්. ජනාධිපති මන්දිරයට පළමුවෙන්ම ඇතුළුවූ කෙනත් ත්‍රස්තවාදියෙක්. මෙහෙම බැලුවාම රනිල් 134 රූට් එකේමයි යවන්න ඕනෑ. අරගලයට මැදිහත් වුණු අය මර්දනය කරලා තමන්ගේ පාලනය ගෙනියන්න හැකිවෙයි කියලා රනිල් වික්‍රමසිංහ හිතනවා. 18වැනිදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයෙන් පෙළපාළියක් ගියා. ටවුන් හෝල්වලින් පටන්ගෙන කොටුවේ රැස්වීමක් තියන්න ගියේ. යුනියන් ප්ලේස්වල මඟ රැකලා සිටි පොලිසිය පහර පිට පහර දුන්නා. අරලියගහ මන්දිරයට, ජනාධිපති මන්දිරයට යන්න ගිය පා ගමනක් නොවෙයි. රනිල් මංපහරන්නෙක් වගේ මඟ රැකලා ඉඳලා පහර දුන්නා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, උද්ඝෝෂණය කරන්න තිබෙන අයිතිය බිඳවැට්ටීම සඳහා රනිල් වික්‍රමසිංහ දරන සෑම ප්‍රයන්තනයක්ම පරාජය කරන්න අපි සූදානම් බව අවධාරණය කරනවා. අපි දෙල්කඳ සිට නුගේගොඩට උද්ඝෝෂණ පෙළපාළියෙන් ආවා. මඟ රැකලා ඉඳලා අපිට පහර දෙන්න ආවා නම්, අපි නුගේගොඩින් නතර නොවෙන බව රනිල් වික්‍රමසිංහට කියනවා. ජනතාවගේ අයිතිවාසිකම් මර්දනය කරන්න බලයක් රනිල් වික්‍රමසිංහට නැහැ. මේ රටේ ජනතාව රනිල්ට පාර්ලිමේන්තුවේ වාඩිවෙන්න වත් අනුමැතිය දී නැහැ. 1977 සිට රනිල් වික්‍රමසිංහ ඇමති,

අගමැති, විපක්ෂ නායක, හැටියට අවුරුදු 43ක් හිටියත්, පසුගිය මහ ඡන්දයේදී පසුපෙළ මන්ත්‍රී කෙනෙක් වෙන්න වත් මහජනතාව ඉඩ දුන්නේ නැහැ. ඒත් රනිල් දැන් 134කගේ නායකයා. ඔහු මර්දනය දියත් කර, රාජපක්ෂ කඳවුර සතුටු කරන්න ක්‍රියා කරනවා. මැයි 09 පහරදීමට විරුද්ධව රනිල් වික්‍රමසිංහගේ උපදේශක රුවන් විජේවර්ධන නිවේදනයකුත් දැම්මා. අන්තරයේ කැඳවුම්කරු වසන්තව අත්අඩංගුවට ගෙන පැය 72ක් ප්‍රශ්න කරලා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ඉන්නවා. නමුත් මම කියන්නේ රනිල් අපිව බිය වද්දන්න මහළු වැඩි බවයි.දැන් මේ රටේ ජනතාව පාලකයන් කිසිකෙනෙක් අනුමත කරන්නේ නැහැ. අප 74 වසරක සාපලත් පාලනය නිමාකර, ජනතා ජයග්‍රහණ ලබාගන්න පාලනයක් අපි පිහිටුවනවා. ඒ වෙනුවෙන් අපි සෑමදෙනෙක්ම පෙළ ගැසෙමු කියා ආරාධනා කරනවා.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා

ගෝඨාභය ගිහින් රනිල් ආවාට පස්සේ අරගලයට යම් විරාමයක් ආවා. ඒ විරාමය තුළ පොලිසිය පොලු ඔසවන්න පටන්ගෙන තිබෙනවා. මර්දනය දියත් කරන්න පටන්ගෙන තිබෙනවා. ඒ අයට අපිට කියන්න තිබෙන්නේ ඔබලා අපායේ ඉන්ටර්වල් එකක ඉන්න බවයි. වැඩි වෙලාවක් මේ ඉන්ටර්වල් එක තියෙන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ නායකත්වයෙන් මේ ඉන්ටර්වල් එක ඉතා ඉක්මනින් අවසන් කර, ජනතාවාදී පාලනයක් පිහිටුවනවා.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment