77 දී කුණු කළ බිත්තර 2022 දී ගහපු හැටි

1102

අන් කවර කලකවත් නොතිබුණු ප‍්‍රසිද්ධියක් මේ දිනවල කුණු බිත්තරවලට ලැබී ඇත. සාමාන්‍යයෙන් දේශපාලන කටයුත්තකදී හෝ සමාජ කටයුත්තකදී කුණු බිත්තරවලින් පහරදීම සහ කුණු තක්කාලිවලින් පහරදී විරෝධය ප‍්‍රකාශ කිරීම යුරෝපයේ පැවති සිරිතකි. කුණු බිත්තරවල කුණු ගඳ එන්නේ එහි තිබෙන හයිඩ‍්‍රජන් සල්ෆයිඞ් නිසාය. කුණු තක්කාලිවලින් හමන්නේ සල්ෆියුරික් අම්ලයේ දුගඳ ය.

 කුණු බිත්තරේ තිබෙන හයිඩ‍්‍රජන් සල්ෆයිඞ් වායුව කුණු වෙමින් පවත්නා ඕනෑම කාබනික ද්‍රව්‍යයක තිබේ. බිත්තරවල ඒවා වැඩිපුර තිබේ. සමහර රටවල තිබෙන පස්වල හයිඩ‍්‍රජන් සල්ෆයිඞ් බහුල නිසා එයින් යම් ප‍්‍රමාණයක කුණු බිත්තර ගඳක් හමයි. එසේම ඇතැම් රටවල තිබෙන වතුරවල හයිඩ‍්‍රජන් සල්ෆයිඞ් බහුල නිසා එයින් ද කුණු ගඳක් හමයි. හයිඩ‍්‍රජන් සල්ෆයිඞ් යනු නිසි ප‍්‍රමාණය ඉක්මවූ කල්හි මරණය පවා ළඟා කරදෙන ද්‍රව්‍යයකි. මේ ගඳ ඉතා පහසුවෙන් හඳුනා ගැනීමට මනුෂ්‍ය නාසිකාවට පුළුවන. එනම් හයිඩ‍්‍රජන් සල්ෆයිඞ් 400 ගුණයකින් තනුක කළත් එහි ගඳ මිනිස් නාසයට හොඳින් දැනේ. කුණු බිත්තරවල සංයුතිය පිළිබඳ කෙටි පාඩම මෙතැනින් අවසන්ය. මෙතැන් සිට අප කතා කරන්නට යන්නේ කුමක් ගැනද? පෑලියගොඩ මැනින් මාර්කට් එකේ නව බස් සේවාව හඳුන්වා දීමට එහි ගිය රාජ්‍ය ඇමැති නාලක ගොඩහේවා බස් මගීන් විසින් පලවා හරිනු ලැබීම ගැනද? නැත. ඒ ගැන දැනට සාකච්ඡුා නොකෙරේ. අප නැවතත් කතා කරන්නට යන්නේ ඊයේ පෙරේදාත් මේ තීරුව මගින් යම් ප‍්‍රමාණයකට සාකච්ඡුා කෙරුණු කුණු බිත්තර සිද්ධිය ගැනය.

 දැනට පෙනී යන කාරණාවලට අනුව පසුගියදා ගම්පහ දී ජ වි පෙ නායක අනුර දිසානායක ගමන් කළ වාහනයට කුණු බිත්තර ගැසුවේ පොහොට්ටු ආණ්ඩුවේ ඉත්තන් විසිනි. ආණ්ඩුවේ ඉත්තන් යමක් කළැයි කියූ පමණින් එහි වගකීම ආණ්ඩුවට නොයන බව අපේ සරල මතය වේ. එහෙත් රුපියල් 5000 කුලියට ජ වි පෙ නායක අනුර කුමාරට කුණු බිත්තර ගැසුවේ ආණ්ඩුවේ අත වැසියන් නම් එම අපවාදයෙන් කොටසක් ආණ්ඩුවට යෑම නොවැළැක්විය හැකිය. ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කරන ලද්දේ ඉතා කෲර ලෙසය. ඒ සඳහා පාවිච්චි කළේ එවකට ආරක්ෂක හමුදා සතුව පමණක් තිබූ විශේෂ ආයුධයකි. වෙනත් රටවල බැටළුවන් මැරීමට යොදාගන්නා මේ ආයුධය හඬක් නොනගාම ලසන්ත වික‍්‍රමතුංගගේ හිස සිදුරු කරගෙන ඇතුළට කිඳා බැස්සේය. ලසන්ත මැරුවේ කවරකු විසින්ද යන්න අද වන විට මේ රටෙන් භාගයක්ම දනිති. සමහරවිට ඒ මිනී මැරුම ගැන එවකට තිබූ රාජපක්ෂ ආණ්ඩුව කිසිවක්ම දැන නොසිටියා වන්නට පුළුවන. එහෙත් අවසාන පලයේදී ඒ මිනී මැරුම මගින් රාජපක්ෂ ආණ්ඩුවට සිදු වූ ඩැමේජ් එක ස්වල්ප නොවේ. ආණ්ඩුවේ අඩු පාඩු නිසා දැනටත් ශීඝ‍්‍රයෙන් ජනතා විමුක්ති පෙරමුණ වෙත නැඹුරු වෙමින් සිටින මේ රටේ මිනිස්සු කුණු බිත්තර සිද්ධියත් සමගම තවදුරටත් ජවිපෙ ගැන අනුකම්පාවක් ඇති කරගෙන සිටිති. ජනතා විමුක්ති පෙරමුණේ දේශකයන්ගේ පරිණත දේශන නිසා ආණ්ඩුවේ දේශකයන්ගේ කතාවල කොලිටිය නිශේධනය වී ගොස් ඇත. විශේෂයෙන් ජනක තිස්සකුට්ටිආරච්චි වැනි අය ආණ්ඩුවේ ඡුන්ද පදනමින් සෑහෙන කොටසක් විනාශ කර තිබේ. ඒ ඡුන්ද සියල්ලම සජිත්ගේ පැත්තට ඇදෙනවාට වඩා අනුර කුමාරගේ පැත්තට ඇදී යෑම වැළැක්විය නොහැක.

 අනුර කුමාරට කුණු බිත්තර ගැසීමෙන් පැය 24 ට පසු කොළඹ නගර සභාවේ නාගරික මන්ත‍්‍රී ප‍්‍රදීප් ජයවර්ධනට ද කුණු බිත්තර ගසන ලදී. එය සිදුකළේ නගර සභාවේ නාගරික මන්ත‍්‍රීවරියක විසිනි. ප‍්‍රදීප් ජයවර්ධන යනු ජේ.ආර්. ජයවර්ධනගේ මුණුපුරා ය. ඔහු ඉතා වැදගත් විදිහට දේශපාලනය කරන කෙනෙකි. මේ රටේ දේශපාලනයට කුණු බිත්තර සංස්කෘතිය සහ ප‍්‍රචණ්ඩ සංස්කෘතිය හඳුන්වා දුන්නේ ප‍්‍රදීප් ගේ සීයා වූ ජේ. ආර්. ජයවර්ධන ය. ජේ. ආර්. ජයවර්ධන කාලයේදී යූ එන් පී දේශපාලන දාමරිකයන්ට විශාල නිදහසක් තිබුණි. 80 ජූලි වර්ජනයේදී මේ දාමරිකයෝ වෘත්තීය සමිති නායකයකු වූ අලෙවි මවුලානාගේ බඩ පැලූහ. ඉන් ස්වල්ප කලකට පසු එම දාමරිකයෝ ම මහාචාර්ය සරච්චන්ද්‍රට පහර දී බිම හෙළා කාණුවක එබූහ. එදිනම ආණ්ඩු විරෝධී භික්ෂුන් පිරිසකට ද මේ දාමරිකයෝ පහර දුන්හ. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විසින් කුඩා දේශපාලන දාමරික කණ්ඩායම් සෑදීමත් එම කණ්ඩායම් නඩත්තු කිරීමත් පටන් ගත්තේ ජේ. ආර්. ජයවර්ධනගේ පළමුවන රාජ්‍ය පාලන සමයේදී ය.

 එකල පැවති සෑම රාජ්‍ය විරෝධී රැුස්වීමකටම ජාතික සේවක සංගමයේ දාමරිකයන් තිහ හතළිහක් කඩු, කිනිසි සහ බයිසිකල් චේන් රැුගෙන සහභාගී වූහ. අනතුරුව ඒ සෑම රැුස්වීමක් අවසන් වූයේ එකෙක් දෙන්නෙක් මිය ගොස් තවත් තිස් හතළිස් දෙනකුගේ ඔළු පැලී අත පය කැඞීමෙනි. එක්තරා අවස්ථාවකදී ජේ. ආර්. ගේ කුලී දාමරිකයන් පිරිසක් විනිශ්චයකාරයකුගේ නිවස ඉදිරිපිටට ගොස් ගල් ගසා හූ කියන ලදහ. එයට හේතුව එම විනිශ්චයකාරවරයා ජේ. ආර්. ගේ ආණ්ඩුව කළ කුණුහරුප වැඩකට විරුද්ධව තීන්දුවක් දීමය. මේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවට නායකත්වය දුන් කළු ලකී නමැති මහතා අදටත් ජීවතුන් අතර සිටී. එතුමා 71 ජ වි පෙ කැරැුල්ලට සම්බන්ධව සිට සිර දඬුවම් ලැබ නිදහස් වී ආපසු ජේ. ආර්. ජයවර්ධන සමග එක්වූවෙකි. එතැන් සිට බලයට පත්වූ හැම දේශපාලනඥයෙක්ම ස්වකීය ආරක්ෂාව පතා කොන්ත‍්‍රාත් මිනී මරුවන් පිරිසක් සංවිධානය කොට ඔවුහු නඩත්තු කළහ. මීට දින කිහිපයකට පෙර ජවිපෙ නායක අනුර කුමාරට ගැසූ කුණු බිත්තර තොගය කුණු කරන්නට පටන් ගත්තේ 1977 දී බව සියලූ දෙනා මතක තබාගත යුතුය. සෙස්ස පස්සට.

advertistmentadvertistment
advertistmentadvertistment