78 ඉඳන් අච්චු ගහපු සල්ලිවලට මොකද වුණේ?

366

දේශපාලනඥයා දූෂිතයෙක් කළ රාජ්‍ය සේවයේ දූෂිතයෝ…..
ලංවිම පාඩු ලබන්නේ විදුලි බිල අඩු නිසාද…..
රාජ්‍ය සේවයේ දූෂිතයෝ රට වැනසූ හැටි…..
ආර්ථික අර්බුදයට වගකිවයුත්තේ දේශපාලනඥයන් පමණද?…..
රජයේ රෝහල්වල ස්කෑන් යන්ත්‍ර කඩන ජාවාරමක්…..

විදුලිබල මණ්ඩලය පාඩු ලබන බව කී ඇමැති කංචන විජේසේකර මහතා ඉකුත් දා පර්ලිමේන්තුවේදී හඬ නඟා සඳහන් කරන්නට වූයේ ස්ථිර වශයෙන්ම විදුලි බිල ඉහළ දැමිය යුතු බවය.

එහෙත් මෙය සිදු කළ යුතු දෙයක්ද? සැබැවින්ම අද විදුලිබල මණ්ඩලය පාඩු ලබන්නේ සියලු පාර්ශ්වයන්ගෙන් බැටකන රටේ ජනතාව විදුලිය වෙනුවෙන් ගෙවන මිල ප්‍රමාණවත් නොවන නිසාද? එසේ නැතහොත් ජනාධිපතිවරයකු ගෙදර යවන තරමේ අරගලයක් රට තුළ නිර්මාණය වන තෙක්ම සහ අදටත් මේ රටේ රාජ්‍ය ආයතන පද්ධතිය තුළ සිදු වන හිත්පිත් නැති ගසා කෑම් නිසා විදුලිබල මණ්ඩලයට මේ ඉරණම අත්වී තිබේද?

අපි කංචන විජේසේකර ඇමැතිවරයාගෙන් එක් ඉල්ලීමක් සිදු කරන්නෙමු. අපේ ඒ ඉල්ලීම වන්නේ විදුලි බිල වැඩි කිරීමට පෙර ඉහත ඇති ප්‍රශ්නයට පිළිතුරක් දෙන්නයි යන්නය. පැහැදිලිවම කිවහොත් විදුලිබල මණ්ඩලයේ සිටින සියලු සේවකයන්ගේ වැටුප නොව මාසික ආදායම සොයා බලා විගණනයකට ලක් කිරීමෙන් අනතුරුව ලැබෙන තොරතුරු අනුව විදුලි බිල වැඩි කළ යුතු යැයි කංචන විජේසේකර මහතා කියන්නේ නම් එය පිළිගන්නට අප සූදානම්ය.

ලැබෙන ආදායමට වඩා වියදම ඉහළ ගිය කල්හි පෙට්ටි කඩයක් වුව බංකොලොත් වීම සාමාන්‍ය සරල තත්ත්වයකි. පාඩු ලබන්නේ යැයි පවසා විදුලි බිල වැඩි කිරීමට පෙර කංචන විජේසේකර මහතා කළ යුතු වන්නේ මේ මොහොත වන විට විදුලිබල මණ්ඩලයේ ආදායම සහ වියදම පිළිබඳ විමර්ශනයක් සිදු කිරීමය. එහිදී බොහෝ දේ අවබෝධකර ගැනීමට ඇමැතිවරයාට හැකිවනු ඇත.

ඇමැතිවරයා විදුලි බිල ගැන මෙසේ කතා කරද්දී අපේ සිහියට පැමිණියේ පසුගිය අරගලය ය. රට තුළ අරගලයක් ඇරඹුණ බව අද කවුරුත් දනිති. මේ අරගලය සමඟ රටේ තරුණයෝ පාරට බැස්සාහ. පසුව එය වෙනත් අරමුණු ඔස්සේ ඉබාගාතේ ගිය වග ඇත්තය. එය වෙනම කතාවකි. එහෙත් මේ අරගලය නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ගෙදර යන්නට සිදුවිය. එසේම මහින්ද රාජපක්‍ෂ මහතාටද සිදුවූයේ අගමැතිකම අතහරින්නටය. එසේ සියල්ල සිදුවුවද අදටත් මේ රට නිවැරදි මාවතේ ගමන් කරමින්ද?

කිසිසේත්ම නැත. දශක හතරක පමණ කාලයක සිට මේ රටේ රීරිමාංශය හූරන් කෑ දූෂිත රාජ්‍ය නිලධාරී මාෆියාව තවමත් ක්‍රියාත්මකය. එනිසා රට මේ මොහොතේත් තිබෙන්නේ පුරුදු නාරා වළේමය. කංචන විජේසේකර පමණක් නොව කාථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාද ඇතුළුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 එක්වී 1978 සිට මේ රටේ අච්චු ගැසූ සල්ලිවලට සිදු වුණේ කුමක්දැයි සොයා බැලුවේ නම් යථාර්ථය වැටහෙනු ඇත.

අද බොහෝ දෙනා ගසාකමින් රට විනාශ කළේ යැයි චෝදනා කරන්නේ දේශපාලනඥයන්ටය. එය සාධාරණ නොවන්නක් බව අපි කියන්නෙමු. දේශපාලනඥයාට එකී චෝදනාවෙන් ගැලවී යෑමට නොහැකි බව සත්‍යයකි. එහෙත් මේ රට හිඟමනට ඇද දැමුවෝ දේශපාලනඥයෝ පමණක්ම වෙතිද? නැත. දේශපාලනඥයා කොටසක් අනුභව කරන විට ඔහු සමඟ එක්ව දේශපාලනඥයාවද නොමඟට ඇද දමමින් සමස්තය ගිල දැමුවෝ දූෂිත රාජ්‍ය නිලධාරීහුය. එකී ගිල දැමීමේ නිමාවක් තවමත් සිදුව නැත.

දේශපාලනඥයා කුමක් සිදු කළද රාජ්‍ය නිලධාරීන් දූෂිතයන් නොවී නිවැරදිව කටයුතු කළේ නම් සේ රටට අද මෙවැනි ශෝචනීය ඉරණමක් අත්වන්නේද නැත. මේ අන්දමට රටම වනසමින් රාජ්‍ය නිලධාරීහු මේ මොහොතේත් මොන ආකාරයට ක්‍රියාත්මක වෙමින් සිටිතිද? ඇමැති කංචන විජේසේකර මහමතා විදුලි බිල ඉහළ දැමිය යුතු බව සඳහන් කළේද එකී ක්‍රියාත්මක වීම නිසාය. මෙරට වත්මන් ජනාධිපතිවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාය. ඔහු උගතෙකි. වියතෙකි. දේශපාලනය ඇතුළු බොහෝ කරුණු කාරණා පිළිබඳවද හේ විෂය ප්‍රාමාණික දැනුමැත්තෙකි.

එහෙත් මේ මොහොතේත් දූෂිත නිලධාරී මාෆියාවක් විසින් කොළඹ වරාය සූරාගෙන කන හැටි රනිල් වික්‍රමසිංහ මහතා නොදනී. විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව ඇතුළු අති බහුතරයක් රාජ්‍ය ආයතන තුළ සිදුවන දූෂණයන් පිළිබඳ අවබෝධයක් ජනාධිපතිවරයාට නැත. එය සාමාන්‍යය. වගකීම් කන්දරාවක් දරාගෙන සිටින ජනාධිපතිවරයාට පෞද්ගලිකව ඒවා සොයා බලා කටයුතු කිරීමේ හැකියාවක්ද නැත.

දශක හතරකටත් අධික කාලයක සිට රටම හිඟමනට ඇද වැටෙන තැන දක්වාම දූෂිත රාජ්‍ය නිලධාරීන් ප්‍රයෝජනයට ගනු ලැබුවේ මෙරට දේහපාලනඥයන් තුළ පැවති එකී නොදැනුවත්කමේ හිඩැසය. වසර හතළිහක් පුරා කාලයෙන් කාලයට රටේ ආණ්ඩු මාරු විය. එසේ ආණ්ඩු මාරුවන වාරයක් පාසා අමාත්‍යාංශ මෙන්ම අමාත්‍යාංශවලට අදාළ විෂයයන් සහ ඇමැතිවරුන්ද මාරු විය. එසේ අලුතින් පත්වන ඇමැතිවරයා අමාත්‍යාංශය භාර ගන්නා විට ඒ යටතේ ඇති රාජ්‍ය ආයතන තුළ සිදු වන්නේ කුමක්දැයි යන්න පිළිබඳ අවබෝධයක් ඔහුට නොතිබිණි.

එසේම අපේ දේශපාලනඥයන් අතරින් ඇතැමුන් ප්‍රාමාණික උතගුන් නොවන බවද කලක සිටිම කියැවෙමින් තිබෙන්නකි. එනිසා රාජ්‍ය ආයතනයක් පිළීබඳ අධ්‍යයනයක යෙදී අවබෝධයක් ලබාගැනීමටද ඔවුන් අසමත්ය.

එම තත්ත්වය තුළ අලුතින් පත්නව එන ඇමැතිවරයාට රාජ්‍ය ආයතන පිළිබඳ කරුණු කියන්නට පෙරට පැමිණියෝ දූෂිතයෝය. ඒ සියල්ලෝ දූෂණයට උපන්ගයෙි හපනෝය. ඔවුහු අවසානයේ ඇමැතිවරයාටද වැඩේ සිදුකරගෙන යන අන්දම කියා දුන්හ. අවසානයට සිදු වූයේ ඇමැතිටද කොටසක් දෙන අතරේ දූෂිත නිලධාරීන් ඇතිපදම් ගිල දැමීම විය. රටට සිදුවූ විනාශය හමුවේ දේශපාලනඥයාට පමණක් ඍජුවම ඇඟිල්ල දිගු කිරීම සාධාරණ නොවන බව අපි සඳහන් කරනු ලැබුවේ එහෙයිනි.

මේ අන්දමට අද රට වනසමින් සිටින දූෂිත රාජ්‍ය නිලධාරී මාෆියාව ධනය උපයන්නට ක්‍රියාත්මක කර ඇති ක්‍රම රාශියක් පවතී. ඉදිරියේදී ඒවා එකින් එක ගෙන රටටම පෙන්වා දෙන්නට අප සූදානම්ය.

ඒ අන්දමේ එක්තරා ක්‍රියවලියක් මේ දිනවල කොළඹ ජාතික රෝහල ඇතුළු රජයේ රෝහල් පද්ධතිය තුළ සිදු වෙමින් ඇත. රෝගීන් පරීක්‍ෂා කිරීමට යොදා ගන්නා ස්කෑන් යන්ත්‍ර කැඩී අක්‍රීය වීමේ තත්ත්වයක් එකී රජයේ රෝහල් තුළ මේ වන විට සිදුවෙයි. ඒ අතරේ රෝහල අවට ඇති පෞද්ගලික රෝහල් කරනුයේ කිසියම් වට්ටමක් සහිතව තම රෝහලෙන් ආදාළ පරීක්‍ෂාවන් සිදු කරගත හැකි බවට ප්‍රචාරණයක් දියත් කිරීමය. එහිදී රෝගීන්ට සිදුවන්නේ රජයේ රෝහලෙන් පරීක්‍ෂාව කරගත නොහැකි නිසා පෞද්ගලික රෝහලක් වෙත යොමු වීමටය.

රෝගීන් එසේ මුදල් ගෙවා පරීක්‍ෂණ සිදුකර ගනිද්දී එකී මුදලින් කොටසක් යන්නේ රජයේ රෝහලේ ස්කෑන් යන්ත්‍රය අක්‍රීය කළ අයටය. එය මේ වන විට සංවිධානාත්මක අයුරින් සිදුවන්නකි. රුපියල් කෝටි ගණනින් වටිනා රජයේ රෝහල්වල ඇති ස්කෑන් යන්ත්‍ර ඔවුහු විශාශ කරමින් සිටින්නේ සිත්පිත් නැත්තවුන් සේ වෙති.

මේ අන්දමට රාජ්‍ය සේවයේ සිටින දුෂිතයන් ටෙන්ඩර් මගඩිවල සිට අන් සෑම ආකාරයකින්ම එසේ උපයා ගත්තේ වැටුප නොව මාසික ආදායමය. අවසානයේ සිදුවූයේ යතුරුපැදියෙන් සේවයට පැමිණි රාජ්‍ය නිලධාරියා සුවිසල් මැඳුරු තනමින් මොන්ටෙරෝවට මාරු වෙද්දී උපයා ගත් කෝටි ගණනින් වූ මුදල් ඩොලර් බවට පරිවර්ථනය වී විදේශීය බැංකුවල තැන්පත් වීමය.

එක් අතකින් එසේ සිදුවෙද්දී එයට සමගාමීව තවත් අකාරයකට සිදුවන දෙයක්ද ඇත. අද දවසේ රාජ්‍ය ආයතන රාශියක් රටට බරක් වී තිබෙන්නේ දීර්ඝකාලයක සිට ක්‍රියාත්මක එම තත්ත්වය හමුවේය. රටේ සෞඛ්‍යයට හෝ අන් සෑම ආයතනයකටම වේවා රජය මුදල් වෙන් කරනු ලබන්නේ වාර්ෂික අය වැයෙනි. එහෙත් එසේ වෙන් කරනු ලබන මුදල අදාළ ආයතනවල වැටුප් ගෙවීමටද ප්‍රමාණවත් නොවන පරිදි සේවය කරන්නෝ විශාල ලෙස වැටුප් වශයෙන් ලබා ගනිමින් සිටිති. එහිදී ආණ්ඩුවට සිදු වන්නේ ණයට මුදල් ගෙන එකී හිඟයන් පියවීමටය.

රාජ්‍ය සේවය කඩා වැටීමට එම තත්ත්වයද එක් ප්‍රධාන හේතුවක් වන අතර අද දවසේ විදුලිබල මණ්ඩලයට අත්වී තිබෙන්නේද ඒ ඉරණමය. මෙවැනි තත්ත්වයන් ඇති කරනු ලබන්නේ අදාළ තීන්දු තීරණ ගැනීමට සිටින රාජ්‍ය නිලධාරීන්ය. රටේ ආදායම බිලියන 16 ක පමණ තිබියදී ඒ ආදායමෙන් ගෙවා ගත නොහැකි වන තරමට පසුගිය කාලයේ රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ දැමීමක් සිදු කෙරුණේද එවැනි අමනෝඥ නිලධාරීන් නිසාය. එයද අද දවසේ රට ආර්ථික අගාධයකට ඇද වැටීමට හේතු වූ බව පසුව අනාවරණය විය.

මේ වන විට රට තුළ සිදු වෙමින් තිබෙන රාජ්‍ය නිලධාරී දූෂණ අක්‍රමිකතා ප්‍රමාණය කොතෙක් වේද යත් එක් දිනක් පමණක් එම තත්ත්වය මඟහරවාගෙන පාලනය කරගතහොත් රටට ඉතිරිවන මුදල රුපියල් බිලියන හයක තරම් අති විශාල වූවකි. ඒ සඳසහන් කෙරුණේ අප කළ සොයා බැලීමකදී අනාවරණය වූ ප්‍රමාණයය.

එහෙත් මේ විනාශය නතර කරන්නට කෙනකු නැත. දේශපාලනඥයෝද නිහඬය. රාජ්‍ය සේවය තුළ මේ අන්දමට සිදුවෙමින් තිබෙන වංචා හා දූෂිත ක්‍රියා නතර කළ නොහැකිව තිබෙන්නක්ද? එය සිදුකළ හැකිය. අවශ්‍යව ඇත්තේ විගණනය පමණි.

රට කඩා වැටීමට දූෂිත රාජ්‍ය නිලධාරීන් සහ සේවකයන් බරපතළ ලෙස වගකිවයුතු වන්නේ නම් විගණනයට ලක් කළ යුතු යැයි ආණ්ඩුවට බලකරන්නට රටවැසියන් ලෙස ජනතාවට පැහැදිලි අයිතියක් ඇත. පසුගිය කාලයේ ලක්‍ෂ පහළොවකට ආසන්නයේ පැවති සමස්ත රාජ්‍ය සේවකයන් පිරිස විගණනයකට ලක් කිරීමට නොහැකි යැයි කිසිවකු හෝ පවසන්නේ නම් එය මුළාවකි. ඒ තුළ ඇත්තේ නොහැකියාව නොව වුවමනාවක් නැති කමය.

මේ මොහොතේ රට ගොඩ ගන්නට නම් සමස්ත රාජ්‍ය සේවකයන් විගණනයට ලක් කිරීම අනිවාර්යෙන් සිදුවිය යුත්තකි. එහිදී රටේ ණය ගෙවන්නට පමණක් නොව සියලු දේ කරන්නට හැකි තරම් මුදල් කන්දරාවක තොරතුරු අනාවරණය වීම සිදුවනු ඇත. මේ රට තුළ 1978 සිට අච්චු ගැසූ මුදල්වලට සිදුවූයේ කුමක්දැයි එහිදී හෙළිවන්නේය. ඒවා ඩොලර් බවට පරිවර්තනය වී විදේශීය බැංකුවල තැන්පත් වූ අන්දමද අනාවරණය වනු ඇත.

එසේ විගණනයට ලක් කිරීමේන් පසු එතැන් සිට රාජ්‍ය සේවයේ සියලුම දෙනා වාර්ෂිකව දිවුරුම් ප්‍රකාශයක්ද සහිත වත්කම් ප්‍රකාශනයක් ලබාදීම මෙරට තුළ නීතියක් බවට පත් කිරීම ආණ්ඩුවට පහසුවෙන් කළ හැකිය. එය කරන්නැයි ආණ්ඩුවට බලකර කියන්නට ජනතාවට හැකියාව ඇත. ඒ සඳහා වීදි බසිමින් ජෝගි නැටිය යුතු නැත. අධීකරණ ක්‍රියාමාර්ගයක් වැනි බුද්මත් ක්‍රමවේදයක් තුළින් රට එතැනට ඇදගෙරැන යෑමට ජනතාවට හැකියාව ඇත.

එලෙස කටයුතු කරන අතරේ රාජ්‍ය සේවයේ සිටිමින් සුඛෝපභෝගී ජීවිත ගතකරනු ලබන නිලධාරීන් සහ සෙසු අයට එරෙහි පැමිණිලි ඉදිරිපත් කරමින් ඔවුන් එම මුදල් උපයා ගත්තේ කෙසේ දැයි අනාවරණය කර ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය හරහා විමර්ශන සිදු කරවීමේ හැකියාවද සංවිධානගත වුවහොත් ජනතාවට ඇත.

එහිදී බොහෝ දූෂිතයෝ අනාවරණය වීම නියත වශයෙන්ම සිදු වෙති. එසේම සද්ගුණවතුන් සේ සමාජයේ ජීවත් වන බොහෝ හොරුන්ගේ පිරුවට එහිදී ගැලවී යනු ඇත. එහෙත් එසේ ඔවුන් අනාවරණය වීම පමණක් මේ රටට අද අත්වී තිබෙන විනාශය හමුවේ සෑහීමට පත්විය හැකි කරුණක්ද. නැත.

එහෙයින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වගකීම විය යුත්තේ එකී දූෂිතයන්ට එරෙහිව අවවාද කිරීම්, ස්ථාන මාරු කිරීම් ආදී පතෝල වැඩ නොකොට නිසි නෛතික ක්‍රියාමාර්ග ගැනීමය. ඒ සඳහා පැහැදිලි වගකීමක් ආණ්ඩුවට ඇත. රජය එය ඉටුකළ යුතුමය.

මේ රට යළි ගොඩගන්නට නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය අද ගමන ආරම්භ කළ යුතුව තිබෙන්නේ මෙතැනිනි. රටටත් සමස්ත ජනතාවටත් අසීමිතව විඳවන්නට සිදුව තිබෙන වත්මන් ආර්ථික බිඳ වැටීමට බරපතළ ලෙසින් වගකිව යුතු දූෂිත රාජ්‍ය නිලධාරීන්ට එසේ දඬුවම් ලබා දීම අනිවාර්යයෙන්ම රටත් ජනතාවත් වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ රජය විසින් සිදුකළ යුතුව ඇත.

එය පැහැර හැරිය නොහැක්කකි. මෙහිදී තමන්ට විගණනයට ලක්විය නොහැකි යැයි කීමට කිසිදු රාජ්‍ය සේවකයකුට අයිතියක් නැත. එය රටේ නීතියක් බවට පත්වූ කල්හි සියලු දෙනා එයට යටත්විය යුතුය. මේ රට තුළ එය සිදු කෙරුණහොත් මතු අනාගතයේ අපේ දරුවන්ට සහනයක් ගෙන දෙන අන්දමේ වගකීම් සහිත දූෂණයෙන් තොර පිරිසිදු රාජ්‍ය සේවයක් රටට දායද කිරීම හේතුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය පාලනය ඉතිහාසගත වීම නොවැළැක්විය හැකිය.

රාජ්‍ය සේවය එසේ පිරිසිදු කරන අතරේ විවිධ රාජ්‍ය ආයතනවලට සභාපතිවරු, අධ්‍යක්‍ෂවරු පත්කිරීමේ සිට විදේශ සේවයේ තානාපති ධුරයන් දක්වා දේශපාලන වශයෙන් වූ නූගතුන් පත් නොකොට කළ යුතු වන්නේ රටේ උගතුන් එකී ධුරවලට පත් කිරීමය.

සැබෑ සිස්ටම් චේන්ජ් එකක් තුළින් මේ රට යළි ගොඩනඟන්නට නම් සිදුවිය යුතුව ඇත්තේ සහ ක්‍රියාත්මක වියයුතු වන්නේ මේ අන්දමටය. මෙරට රාජ්‍ය සේවය තුළ මේ වෙනස සිදු කෙරෙන තුරු ඒ වෙනුවෙන් හඬ නඟන්නට අප සූදානම්ය. එසේම රටට ආදරය කරන අවංක රාජ්‍ය සේවකයන්ට ඒ සඳහා දායක වෙමින් අප සමඟ අත්වැල් බැඳ ගැනීමට මෙතැන් සිට අවස්ථාව ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment