80 ජුලි වර්ජනය සිහිගන්වමින් දුම්රිය වර්ජකයන් ගෙදර යවන ලිපි යවයි

326
1980 ජූලි වර්ජකයන් ඉවත් කිරීම එදා පුවත්පතක ප්‍රධාන සිරස්තලයක්

දින දෙකට පාඩුව කෝටි 10ක්

විසඳුම් ලබාදෙන තුරු වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හරින්නේ නෑ – දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති අවස්ථාවක සේවයට වාර්තා නොකළ සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (11 වැනිදා) සිට සේවය අතහැර ගියා සේ සලකා ලිපි නිකුත් කළ බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

දුම්රිය සමිති ත්‍රස්තවාදයට හිස නැමීමට රජය කිසිසේත් සූදානම් නොමැති බව ද ඇමැතිවරයා කීය.

රටේ විධායක ජනාධිපතිවරයාගේ නියෝග පවා අභියෝගයට ලක් කරමින් වර්ජනයේ නිරත වීම සම්බන්ධයෙන් දහසකට වැඩි එම දුම්රිය ස්ථානාධිපතිවරුන්ට ලිපි නිකුත් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා කටයුතු කර ඇතැයි ද අමාත්‍යවරයා කියා සිටියේය. වෘත්තීය ඉල්ලීම් බව පවසමින් මහජනතාවට අපහසුතාවට පත්කිරීමට කිසිදු වෘත්තීය සමිතියකට ඉඩක් නොමැති බවත්, යුද හමුදාව හා ආරක්ෂක අංශ යොදවා දුම්රිය සේවාව හැකි අයුරින් පවත්වාගෙන යෑමට කටයුතු යොදන බවත් අමාත්‍යවරයා කීය.

දුම්රිය වර්ජනය පැවැති පෙරේදා (10 වැනිදා) සහ ඊයේ (11 වැනිදා) දෙදින දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 10 ක ආදායමක් අහිමිවී ඇතැයි එහි උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය. දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය දිනක මගී ප්‍රවාහන ප්‍රවේශපත් ආදායම පමණක් කෝටි 4 ක් පමණ වන බවත්, එම ආදායමට භාණ්ඩ ප්‍රවාහනය ඇතුළු සෙසු ආදායමත් එකතු කළ පසු දෛනික ආදායම කෝටි 6 ක් පමණ වන බවත් හෙතෙම කීය.

දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන්ගේ වර්ජනයත් සමග ප්‍රවේශපත් නිකුත් නොකිරීම නිසා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් වර්ජනය පැවති දිනවල ධාවනය කළ දුම්රියවල ගිය මගීන්ගෙන් ද ප්‍රවේශපත් ගාස්තු නොලැබුණු බව කී හෙතෙම වර්ජනය තවදුරටත් අඛණ්ඩව පැවතුණහොත් අලාභය තවත් වැඩි වන බව ද කීය.

උසස්වීම් ලබා නොදීම, වසර ගණනකින් බඳවා ගැනීම් සිදු නොකිරීම ඇතුළු ඉල්ලීම් 14 ක් මුල් කරගෙන දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය හා දුම්රිය පාලකවරුන්ගේ සංගමය ආරම්භ කරන ලද අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර 260 ක් ඊයේ අත්හිටුවීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත්, ඊයේ (11 වැනිදා) දිනයේ උදෑසන සහ සවස් වරුවේ දුම්රිය ගමන් වාර 70 ක් පමණ ධාවනය කිරීමට හැකි වූ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉඳිපොලගේ මහතා ‘දිවයින’ට පැවසීය. මුහුදුබඩ මාර්ගයේ, ප්‍රධාන මාර්ගයේ, පුත්තලම මාර්ගයේ දුම්රියන් ඉතා සීමිත ප්‍රමාණයක් ධාවනය වූ බවත්, අවිස්සාවේල්ල දක්වා ධාවනය වන කැලණිවැලි දුම්රිය මාර්ගයේ එකදු දුම්රියක්වත් ධාවනය නොවූ බවත් හෙතෙම කියා සිටියේය.

මෙම වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ දෙවැනි දිනයටත් කාර්යාල වෙත පැමිණීමට දුම්රිය ස්ථාන වෙත පැමිණි දුම්රිය මගීන්, පාසල් සිසු දරුවන් ඇතුළු අතිවිශාල පිරිසක් දැඩි අපහසුතාවට පත් වූහ. දුම්රිය බොහොමයකම අධික තෙරපුම හේතුවෙන් දුම්රිය මගීන් කීපදෙනකුම කොටුව දුම්රිය ස්ථානය ඇතුළු දුම්රිය ස්ථාන කීපයකදී සිහිසුන් වීම හේතුවෙන් රෝහල්ගත කිරීමට පවා සිදුවිය.

දුම්රිය ස්ථාන බොහොමයකම ඊයේද ප්‍රවේශ පත්‍ර කවුළු වසාදමා දොරගුළු ඉබි යතුරු දමා තිබෙනු දක්නට ලැබිණි. ඊයේ ද කොළඹ කොටුව ඇතුළු දුම්රිය ස්ථාන රැසකටම පොලිසිය හා යුද හමුදාව ආරක්ෂාව සපයනු ලැබීය.

මේ අතර, වර්ජනය කරන පිරිස දුම්රිය ස්ථානවල ඉබි යතුරු රැගෙන ගොස් ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දී ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්. එස්. මුදලිගේ මහතා පැවසීය.

“ඕනෑම කෙනකුට වර්ජනය කිරීමේ අයිතිය තියෙනවා. හැබැයි රාජ්‍ය දේපළවලට අයත් ඉබියතුරු අරන් යන්න කාටවත් අයිතියක් නැහැ. මේ අය වැඩ වර්ජනය කළත් හැකි තරම් දුම්රිය ධාවනය කරනවා”

මර්දනයෙන් වෘත්තීය සමිති පාලනය කිරීමට කටයුතු කරන්නේ නම් සමස්ත දුම්රිය සේවාවේ වෘත්තීය සමිති ඒකරාශී කරගෙන අරගලයක් කිරීමට කිසිදු විටකදී පසුබට නොවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

දුම්රිය සේවකයන් කිසිදු අවස්ථාවකදී කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුනොකරන බවත්, සිය ඉල්ලීම්වලට බලධාරීන් වහා විසඳුම් ලබාදෙන තුරු වෘත්තීය ක්‍රියාමාර්ගය අත්නොහරින බවත් එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා “දිවයින” ට පැවැසීය. එසේම, ඊයේ සවස දුම්රිය ස්ථානාධිපතිවරුන් රැස්වී වැඩ වර්ජනයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කරමින් සිටියහ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, අකිත පෙරේරා සහ චමින්ද සිල්වා


advertistmentadvertistment