80 ජුලි වැඩ වර්ජනයට වසර හතළිස් එකක් සපිරේ

653

මෙම ලිපිය ඒ නිමිත්තෙනි.
 
ස්වාමි පක්ෂයට එරෙහිව තම අයිතීන් ඉල්ලා ප‍්‍රථම වරට සටන් වැදුනෝ එවකට ශ‍්‍රී ලංකාවේ තිබුණු බි‍්‍රතාන්‍යයන් සතු ”කේව් කොම්පැනියේ කම්කරුවෝය. ක‍්‍රි.ව 1893 සැප්තැම්බර් 6 පැවති එම අරගලයට කම්කරුවන් 56 දෙනෙක් සහභාගි වූ බවත්, සටන සිදුවෙමින් පවතිද්දී මුද්‍රණ කම්කරු සංගමය” නමින් ශ‍්‍රී ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වෘත්තීය සමිතිය බිහිවූ බවත් සඳහන්ය. සටන පරාජයට පත් විය. දේශපාලනයෙන් තොර තම අයිතීන් ඉල්ලා සංවිධානය වූ වෘත්තීය සමිති දේශපාලන පක්ෂ සමඟ සන්ධානගත වන්නේ 1935 ලංකා සමසමාජ පක්ෂයේ ආරම්භයත් සමඟයි. අනතුරුව වෘත්තීය සමිති සම්මේලන ගණනාවක් ආරම්භ වූ අතර වැටුප්, සේවා නියමයන් හා කොන්දේසි සම්බන්ධ ඉල්ලීම් මූලික කරගනිමින් වැඩවර්ජන ගණනාවක් සිදු වූ බවත් ඇතැම් සටන් ජයග‍්‍රහණයෙන් ද ඇතැම් සටන් පරාජයෙන් ද අවසන් විය.

strikejuly1
 
 1980 ජූලි වැඩ වර්ජනය ද එලෙස පරාජයට පත් වූ මෙරට සිදුවූ වූ දැවැන්තම වර්ජනයයි. ජූලි වර්ජනය ලෙස සංකේත්වත් වන 1980 ජූලි 18 දින දියත් කළ අරගලය රාජ්‍ය, පළාත් පාලන ආයතන, රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත ආයතන හා පෞද්ගලික අංශයේ වැඩ කරන ජනතාව ලක්ෂයකට ආසන්න පිරිසක් සහභාගි විය. මාර්තු 8 හා 9 දෙදින සුගතදාස ක‍්‍රීඩාංගණයට රැුස්වූ පන්දහසකට ආසන්න සමිති නියෝජිතයින් ඉල්ලීම් විසිතුනක් එවකට පැවති එජාප ආණ්ඩුවට ඉදිරිපත් කර ඒවා දිනා ගැනීම අපේක්ෂාවෙන් උද්ඝෝෂණ මාලාවක් දියත් කරන ලදී. මෙම ක‍්‍රියාමාර්ගයට නායකත්වය ලබාදුන්නේ වෘත්තීය සමිති සංවිධාන 25 කට අධික වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලයයි. මාර්තු මහ සමුළුවේ ගත් තීරණය පරිදි ජූලි 5 දින දීප ව්‍යාප්තව උද්ඝෝෂණ මාලාවක් ක‍්‍රියාත්මක කරන ලද අතර, එය ජාතික විරෝධතා දිනය ලෙස නම් කරනු ලැබිණ. විරෝධතා දිනයට එරෙහිව රජයේ අනුගාමිකයින් මෙහෙයවා සහයෝගීතා දිනයක් ප‍්‍රකාශයට පත් කරන ලද අතර, එදින රජයේ සැපයුම් දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී පැවති පිකට්ලයින් එකට ප‍්‍රහාරයක් එල්ල විය. එම ප‍්‍රහාරයෙන් වෘත්තීය සමිති නායකයෙකු වූ සෝමපාල සහෝදරයා ජීවිතක්ෂයට පත්විය. කම්කරුවන් සෝමපාල සහෝදරයාගේ අවමඟුලට දහස් සංඛ්‍යාතව සහභාගිවීමෙන් විරෝධය පළ කළ අතර අවම`ගුලට සහභාගී වූ දුම්රිය හා රාජ්‍ය මුද්‍රණාල කම්කරුවන් සේවයෙන් නෙරපා දමන ලදී. මෙම දඬුවම ඉවත් කරන ලෙස ඉල්ලා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් තීන්දු කරන ලදී. රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය යෝජනා කරන ලද්දේ ජූලි 17 දින සිට 22 දක්වා සතියක් සම්පූර්ණ වන වැඩ වර්ජනයකි. දහස් සංඛ්‍යාත සේවකයින් ජූලි 18 දින අරගලය ආරම්භ කරන ලද අතර, ආණ්ඩුව වැඩ වර්ජන තහනම් කරමින් අත්‍යවශ්‍ය සේවා නියෝග හා හදිසි නීතිය යොදා ගනිමින් එය මැඩ පැවැත්වීම සඳහා සියලූම ක‍්‍රියාමාර්ග ගන්නා ලදී. වර්ජනයට සහභාගි වන්නන් සේවය අතහැර ගියා සේ සලකන බවත් රැුස්වීම් තහනම් කළ අතර ආණ්ඩුව රත්මලාන හා මරදාන යන ස්ථානවල සහයෝගීතා රැුස්වීම් පවත්වා වර්ජකයින් කනත්තට දක්කන බවට තර්ජනය කළ බව මතකය.
 
 සමිති නායකයින් දඩයම් කිරීම ඇරඹි ආණ්ඩුව සමිති කාර්යාල වලට සීල් තබා සමිතිවල බැංකු ගිණුම් තහනම් කිරීමට කටයුතු කරන ලදී. තියුණු මර්දනය හමුවේ අගෝස්තු 8 වන දින සත්‍යග‍්‍රහ ව්‍යාපාරයක් කොළඹදී පැවැත්විණි. එදින වාසුදේව නානායක්කාර ඇතුළු ඉදිරිපෙළ නායකයින් ගණනාවක් අත්අඩංගුවට පත්වූහ. දැඩි පීඩනයට පත්වූ සේවකයින්, විශේෂයෙන් රාජ්‍ය අංශයේ සේවකයින් සේවා ස්ථානවලට යෑමට උත්සාහ දරන බවක් පෙනිණ. සැප්තැම්බර් 14 දින ජනාධිපති කාර්යාලය වෙත පෙත්සමක් භාර දීම සඳහා පෙළපාලියක් සංවිධානය කළ අතර රැුකියා අහිමි සේවකයින්ගේ යැපෙන්නන් විශාල පිරිසක් ඊට සහභාගි විය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් සේවයේ පිහිටුවීමේ බලය ඇමැතිවරුන්ට පවරන ලද අතර ඇමැතිවරුන් කිහිප දෙනකු පමණක් එම අමාත්‍යංශවල වර්ජකයින් සේවයට කැඳවන ලදී.
 
 වැඩ වර්ජනයෙන් විශාල පිරිසකට රැුකියා අහිමි විය. උදාවූ අනපේක්ෂිත තත්ත්වය හේතුවෙන් වර්ජකයින් කිහිප දෙනකු සියදිවි නසාගත් අතර කොළඹ පදිංචි වී රැුකියාව කරමින් සිටි වර්ජකයින් තම ගම්මාන බලා පිටත් විය. පවුල් ජීවිත කඩාකප්පල් වූ අයත් මේ අතර විය. 1982 ජනාධිපතිවරණයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව මහතා ජයග‍්‍රහණය කරනු ඇතැයි වර්ජකයින්ගේ අපේක්ෂාව විය. කොබ්බෑකඩුව මහතාගේ පරාජයත් සමග බලාපොරොත්තු සුන් වූ වර්ජකයින් අසංවිධානාත්මක තත්ත්වයකට පත්විය. ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ඇවෑමෙන් පසුව බලයට පැමිණි රණසිංහ පේ‍්‍රමදාස මහතා ජූලි වර්ජකයින්ට යම් යම් සහන ලබාදීමට එකඟතාවය පළ කළ අතර සියදිවි නසාගත් වර්ජකයින් පනස් දෙනකුට රුපියල් ලක්ෂය බැගින් වන්දි ලබාදී ඔවුන් ලබාගත් ණය මුදල් පොළියෙන් නිදහස් කළේය. 1994 බලයට පත් චන්ද්‍රිකා මැතිනියගේ ආණ්ඩුවට බලපෑම් කරමින් මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස පෞද්ගලික අංශයේ වර්ජකයින්හට රුපියල් 25000 ක සහන දීමනාවක් ගෙවීය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වර්ජකයින් අරලියගහ මන්දිරයට කැඳවා විකල්ප විසඳුම් ගණනාවක් ලබා දුන් බව මතකය.
 
 80 ජුලි වර්ජනය මාගේ අවබෝධය හැටියට අවසන් වූයේ ද, අවසන් වී ඇත්තේ ද පරාජයකිනි 80 වැඩ වර්ජකයින්ගේ එක් ඉල්ලීමක් වූයේ දිනකට රුපියල් 10ක වැඩි වැටුප් වැඩි වීමකි. වසංගතය මැද්දේ වර්තමානයේ සිදුවන වර්ජන නිසා සාමාන්‍ය ජන ජීවිතයට බාධා එල්ල වී ඇත. හතළිස් වසරකට පසු අසූවේ වැඩවර්ජනය මෙනෙහි කරන විට මාගේ අදහස වන්නේ වැඩ වර්ජනය බරපතළ පරාජයකින් කෙළවර වූ බවයි.
 
 වර්තමානයේ කොවිඞ් ව්‍යසනය හමුවේ කරනු ලබන වැඩ වර්ජන මහජනයාගේ බලවත් අප‍්‍රසාදයට පත්ව ඇති බව සඳහන් කළ යුතුමය. රෝගීන් අපහසුතාවයට පත්කරමින් සිදුවන සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වැඩ වර්ජන, පාසල් දරුවන් අපහසුතාවයට පත්කරමින් සිදුවන ගුරු වැඩවර්ජන නිසා හෙම්බත් වී ඇත්තේ සාමාන්‍ය ජනතාවයි. මහජන මුදලින් වැටුප් ලබන මොවුන් ජනතාවගේ අප‍්‍රසාදයටත් වෛරයටත් පාත‍්‍ර වී ඇති බව සාමාන්‍ය ජනයාගේ ප‍්‍රතිචාරවලින් දෘශ්‍යමාන වේ.
 
එම්. කරපුටුගල
හිටපු විධායක සභික
රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය
80’ වැඩ වර්ජක

advertistmentadvertistment
advertistmentadvertistment