9/11 ප‍්‍රහාරයේ 20 වැනි සැමරුමට පසු වදනක්… සරණාගතයන් බිහිකරන ඇමෙරිකානු යුද පිළිවෙත

435

ලොව බලවත්ම රට වන එක්සත් ජනපදය පසුගිය 11 වැනි සෙනසුරාදා 9/11 ප‍්‍රහාරයේ 20 වන සංවත්සරය සිහිපත් කළේය. ශ‍්‍රී ලංකාව මෙම සැමරුමට සහයෝගය දෙමින් එක්සත් ජනපදය සමඟ පවතින සහයෝගිතාව පෙන්නුම් කළේය. සැලකිය යුතු කරුණක් නම්, පශ්චාත් 9/11 යුද්ධවලින් මතු වූ සත්‍යය වන, ප‍්‍රහාරයන්ට ප‍්‍රතිචාර වශයෙන් එක්සත් ජනපදය හා නේටෝව දියත් කළ යුද්ධවලින් මියගිය අය, සරණාගතයන් සහ යුද්ධවලින් ප‍්‍රතිලාභ ලැබූ අය, 9/11 ට අදාළ සංඛ්‍යාලේඛන හා සසඳන විට අතිශය බියජනකය බවය.

එක්සත් ජනපදයේ උගත් සෞදි ව්‍යාපාරික ඔසාමා බින් ලාඩන් සහ ඔහුගේ අල්කයිඩා සංවිධානය විසින් සිදුකළ බවට චෝදනා කළ 9/11 ප‍්‍රහාරයෙන් සිදු වූ විනාශයට වඩා, පැහැදිලිවම එක්සත් ජනපද-නේටෝ එකමුතුව පශ්චාත් 9/11 ප‍්‍රතිප‍්‍රහාරයන් ඇදහිය නොහැකි තරම් විනාශකාරී බව පෙනේ. හොඳින් සම්බන්ධීකරණය කරන ලද ප‍්‍රහාර හතරකදී, කණ්ඩායම් හතරකින් සමන්විත ගුවන් යානා පැහැරගත් 19 දෙනෙක්, පැහැරගත් ගුවන් යානාවලින් නිව්යෝර්ක් හි පිහිටි නිවුන් කුලූනු සහිත ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය සහ පෙන්ටගනයට ප‍්‍රහාර එල්ල කළහ. නිව්ස්වීක් සඟරාවට අනුව, 2021 අපේ‍්‍රල් වනවිට, මෙයට අමතරව එක්සත් ජනපදය හා නේටෝ සංවිධානය විසින් එල්ල කරන ලද ප‍්‍රතිප‍්‍රහාරවලදී එක්සත් ජනපදයේ සහ මිත‍්‍ර හමුදාවන්වල සහ ඇමරිකානු කොන්ත‍්‍රාත්කරුවන් ඇතුළුව තවත් 7,442 ක් ජීවිතක්ෂයට වූහ. 9/11 දින අහිමි වූ ජීවිත මෙන් දෙගුණයකටත් වැඩියෙන් ජීවිත පශ්චාත් 9/11 ආක‍්‍රමණයන් නිසා එක්සත් ජනපදයට අහිමි විය! ”මම දන්නේ නැහැ ඇයි කියලා!” (I don’t know why!); එය ලංකාවේ ප‍්‍රසිද්ධ ගායක දිවංගත සුනිල් පෙරේරාගේ ප‍්‍රතිචාරය වන්නට ඉඩ තිබිණි !

පහර කෑ අයගේ පැත්තෙන් සිදු වූ විනාශය ගැන කුමක් කිව හැකිද? එක්සත් ජනපදය මෙහෙයවූ යුද්ධයෙන් මියගිය සිවිල් වැසියන් ඇතුළුව ඇෆ්ගන් ජාතිකයන් සංඛ්‍යාව පිළිබඳ පැහැදිලි වාර්තාවක් හෝ තක්සේරුවක් ඇෆ්ගනිස්තාන මූලාශ‍්‍රවලින් ලබාගත නොහැකි නමුත් බටහිර ඇස්තමේන්තු අනුව එය මිලියන 1/4 ත් 1/2 ත් අතර සංඛ්‍යාවක් බවට වාර්තා වේ. මින්ට් ප්‍රෙස් ප‍්‍රවෘත්ති සේවය සඳහා නිකොලස් ඬේවිස් විසින් ලියන ලද ලිපියක සඳහන් වන්නේ, ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය නොමැතිව ඉරාකයේ බුෂ්-බ්ලෙයාර් ආක‍්‍රමණය නිසා ඇස්තමේන්තුගත වාර්තාවලට අනුව මිලියන 2.4 ක ඉරාක ජාතිකයන් මියගිය බවයි!

එක්සත් ජනපදයේ හිටපු නියුරම්බර්ග් නීතිඥ බෙන්ජමින් ෆෙරන්ස් උපුටා දක්වමින් ඬේවිස් මෙසේ ලිවීය, ”කෙසේ වෙතත්, අපරාධයක් කෙතරම් භයානක වුවත්, සිදු වූ අපරාධයට වගකිව යුතු නොවන රටවල් සහ මිනිසුන්ට එරෙහි යුද්ධ සාධාරණීකරණය කළ නොහැක”.

සිවිල් ජන ජීවිතය සමඟ නැවත සම්බන්ධ වීමේ දුෂ්කරතා හේතුවෙන් 9/11 න් පසු යුද පැවරුම් අවසන් කර ආපසු පැමිණි එක්සත් ජනපද සේවා නිලධාරීන් සහ යුද ප‍්‍රවීණයන් අතර සියදිවි නසාගැනීම් 30,177 ක් වාර්තා වී ඇති බව එක්සත් ජනපද, වොට්සන් ජාත්‍යන්තර හා මහජන කටයුතු පිළිබඳ ආයතනය විසින් හෙළිදරව් කර තිබේ. සියදිවි නසාගැනීම් 30,177 ක් සහ සටන්වලින් සිදු වූ මරණ 7,442 ක් ඇත්තෙන්ම පුදුම සහගත සංඛ්‍යා ලේඛනය !

වසර 43 ක යුද්ධ හා විදේශීය ආක‍්‍රමණයන්ට මුහුණ දීමෙන් පසු අද තලේබාන් සංවිධානය තුළ සාමාජිකයන් ද සිවිල් ජන ජීවිතය සමඟ නැවත සම්බන්ධ වීම සඳහා උත්සාහ කරමින් සිටී !

සරණාගතයන් සහ අවතැන් වූ අය ගැන කුමක් කිව හැකිද? ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කිරීමෙන් මිලියන 2.61 ක් සරණාගතයන්, මිලියන 1.84 ක් අභ්‍යන්තර අවතැන් වූවන් සමග සමස්තය මිලියන 4.78 ක් ඇති බව වොට්සන් ආයතනයේ අධ්‍යයනවලින් හෙළි වී තිබේ ! ඉරාකයේ මුළු සරණාගතයන් සහ අවතැන් වූ සංඛ්‍යාව මිලියන 3.25 ක් වූ අතර සිරියාවේ සරණාගතයන් සහ අවතැන් වූ සංඛ්‍යාව මිලියන 12.59 ක් විය. ඔවුන් සියලූ දෙනාම 9/11 ට පසුව එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද ආක‍්‍රමණයන්ගෙන් පැන නැඟුන ප‍්‍රතිඵලය!

9/11 ප‍්‍රහාර සමඟ ඔවුන්ට කිසිදු සම්බන්ධයක් නොතිබුණ ද, බටහිර බලවතුන් විසින් ආක‍්‍රමණය කළ සහ එහි ප‍්‍රතිඵලයක් ලෙස මිලියන 3 කට අධික සංඛ්‍යාවක් මිය ගිය, මිලියන ගණනක් සරණාගතයන් බවට පත් වූ සහ මිලියන ගණනක් ජනතාව අභ්‍යන්තරව අවතැන් වූ රටවල්, අද බොහෝ අභියෝගයන්ට මුහුණ දෙමින් සිටී. වඩාත්ම හදිසි ප‍්‍රමුඛතාව වනුයේ, දිවි ගලවාගත් මිලියන ගණනකගේ ජීවිත නැවත ගොඩනඟන්නේ කෙසේ ද යන්න සහ ඇෆ්ගනිස්තානයේදී අතිරේකව එහි ආර්ථිකය බිඳවැටීම වළක්වා ගන්නේ කෙසේ ද යන්නයි !

සරණාගතයන්ගෙන් මිලියන 1.3 ක් පාකිස්තානයේ ද, මිලියන 2 ක් ඉරානයේ ද, මිලියන 3.5 ක් තුර්කියේ ද, ඉතිරිය යුරෝපයේ ද වෙති. බුෂ්-බ්ලෙයාර් ආක‍්‍රමණයන්ගෙන් කෲරත්වයට පත්වූ අහිංසක ජනතාව ඔවුන්ය. මෙම අහිංසක මිනිසුන්ට හානි නොකර, ඊශ‍්‍රායෙල් ගුවන් හමුදාව සහ මොසාඞ් සංවිධානයට උප කොන්ත‍්‍රාත්තුවක් ලබාදුන්නේ නම් ඔවුන්ට පහසුවෙන් බින් ලාඩන්ව අල්ලා ගත හැකිව තිබුණි. 1976 ජූලි 4 වැනිදා උගන්ඩාවේ එන්ටෙබේ ගුවන් තොටුපළේදී ඊශ‍්‍රායල ප‍්‍රාණ ඇපකරුවන් 106 දෙනකුගෙන් 102 දෙනකු බේරාගැනීමේ මෙහෙයුම ඊශ‍්‍රායල ජාතිකයන් සාර්ථකව කළ ආකාරය බුෂ් සහ බ්ලෙයාර් හොඳින් දැන සිටියහ.

බින් ලාඩන් ඇත්ත වශයෙන්ම 9/11 හි මහ මොළකරු නම්, එය ”ලෝකය වෙනස් කළේ” නම් ඔහු පකිස්තානයේදී අල්ලාගෙන ඔහුගේ ක‍්‍රියාකාරකම් සහ මෙහෙයුම් ජාලය පිළිබඳ වටිනා බුද්ධි තොරතුරු

ලබාගැනීමට කිසිදු බාධාවක් නොතිබුණි. නිරායුධව සිටි බින් ලාඩන් ප‍්‍රතිහාර එල්ල කිරීමට කිසිවක් නොකළත් එක්සත් ජනපද භටයන් අත්අඩංගුවට නොගෙනම ඔහුව මරා දැමීමට යොමු වුණේ ඇයිද යන්න ඉතා ඉක්මනින් පැහැදිලි වනු ඇත!

ගුවන් යානා පැහැරගත් 19 දෙනාගෙන් කිසිවෙකු ඇෆ්ගනිස්තානයෙන් නොවන බව සැලකිය යුතු කරුණකි! වැදගත් කරුණ නම්, එම සිදුවීමෙන් ඉක්බිතිව 9/11 ප‍්‍රහාරය තලේබාන් සංවිධානය හෙළා දකින අතර මෙය බටහිර බලවතුන් විසින් නොසලකා හරින ලදි! ඔසාමා බින් ලාඩන් මධ්‍යස්ථ රටක නඩු විභාගයකට ගැනීමට ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයට ( ඕඅයිසී) පහසුකම් සැලසීම සඳහා තලේබාන් සංවිධානය ඉදිරිපත් කළ යෝජනාව ද එක්සත් ජනපදය විසින් ප‍්‍රතික්ෂේප කරන ලදී.

එවිට අරමුණ වූයේ යුද්ධය සහ හැකිතාක් දුරට යුද්ධ ඉදිරියට ගෙන යෑමය. මේ සඳහා එක්සත් ජනපදය යුද්ධ අවසන් කිරීමට සිදුවන සතුරා අල්ලා ගැනීමට සූදානම් නොවීය. මන්ද මෙය ආයුධ කර්මාන්තයට අහිතකර විය හැකි බැවිනි. ෆීලික්ස් සැල්මෝන් 2021 සැප්තැම්බර් 11 දින ඇක්සියෝස්හි දී නිකුත් කළ වාර්තාවක සඳහන් වන්නේ 9/11 න් පසු ආරක්ෂක කොන්ත‍්‍රාත්කරුවන් ඩොලර් ටි‍්‍රලියන 7.35 ක් උපයා ගත් බවයි. එම මුදල වසර 350 ක් සඳහා වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 21 බැගින් වූ ශ‍්‍රී ලංකාවේ වාර්ෂික විදේශ ආදායමට සමානය!

කෙසේ වෙතත්, 9/11 පශ්චාත් ආක‍්‍රමණයන් සඳහා පෙන්ටගනයට ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියන 14 ක් වැය වූ අතර එයින් අඩකට ආසන්න ප‍්‍රමාණයක් එක්සත් ජනපදයේ ආයුධ නිෂ්පාදකයන් වෙත ගිය බව රොයිටර් පුවත් සේවාව සැප්තැම්බර් 14 දා වාර්තා කළේය. ලොක්හීඞ් මාටින්, රේතියෝන් ටෙක්නොලොජීස්, බෝයිං, නෝර්ත්‍රොප් ග‍්‍රමන් සහ ජෙනරල් ඩයිනමික්ස් 9/11 වල ප‍්‍රතිලාභ ලැබූ ඉහළම එක්සත් ජනපද ආයුධ නිෂ්පාදකයන් පස් දෙනා ය.

ඇමරිකාව, එක්සත් රාජධානිය, ප‍්‍රංශය, ජර්මනිය, ඊශ‍්‍රායලය, රුසියාව, චීනය, ඔස්ටේ‍්‍රලියාව, ජපානය, ඉන්දියාව, දකුණු කොරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, නෝර්වේ, ස්වීඩනය, කැනඩාව, තුර්කිය, සිංගප්පූරුව, බ‍්‍රසීලය, ස්පාඤ්ඤය, ඉතාලිය සහ යුක්රේනය යන රටවල් ආයුධ සහ පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනය කරන රටවල් වේ. බොහෝ විට අසත්‍ය චෝදනා මත සෙසු මිනිසුන්ගේ රටවල සහ ප‍්‍රදේශවල සිදු වූ යුද්ධවල ප‍්‍රතිලාභ ලබන්නෝ ඔවුන් ය.

බොහෝ පදනම්, පෙරමුණු සහ සංසද සඳහා අරමුදල් සපයනු ලබන්නේ ආයුධ කර්මාන්තයෙන් යැයි කියනු ලැබේ. බටහිර මාධ්‍යවල සැලකිය යුතු කොටස් ද යුද බෙර ගසමින් ඉදිරියෙන්ම සිටී. වාසිදායක අවශ්‍යතා ඇති පුද්ගලයන් විසින් බොහෝ විට රෝපණය කරන ලද අසත්‍ය කතන්දර පරීක්ෂා කිරීමට කාලයක් නොමැතිව, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා අලෙවි කරන ලද සංවාද ජනතාව විශ්වාස කරති. යුද්ධ හා ගැටුම් හේතුවෙන් විපතට පත්වූවන්ට එරෙහිව කාලයත් සමඟ වෛරය සහ අගතිය ගොඩනැගීමට ඔවුහු උත්සාහ කරති.

ඔවුන් සතුව යුද ප‍්‍රවීණයන්, විද්වතුන් සහ වෙනත් ඊනියා ප‍්‍රවීණයන් සිටින අතර සාමකාමී රටවල මිනිසුන් අතර අසත්‍ය අවබෝධයන් ප‍්‍රචාරය කිරීම සහ වෛරය සහ ගැටුම් නිර්මාණය කිරීමට යොදා ගෙන තිබේ. ආක‍්‍රමණිකයන්ට එරෙහි වන පුද්ගලයන් අන්තවාදීන් හා ත‍්‍රස්තවාදීන් ලෙස නිරූපණය කෙරේ. අවසානයේදී තම ආර්ථිකයන් සහ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා සාමය, සමගිය හා එකමුතුකම අවශ්‍ය රටවල්, කිසිදු වටිනාකමක් නැති ගැටුම්වල පැටලී සිටිති. මෙම ගැටුම් සැලසුම් කර ඇත්තේ බලයේ සිටින අය සහ අධිකාරීන් නොමඟ යවන නියෝජිතයන් විසිනි. අවදානමට ලක්විය හැකි රටවල් ඉලක්ක කරගත් මෙම බලවත් බලවේගයන්ගේ නියෝජිතයන්ගෙන් ඔවුන් බොහෝ විට අනුග‍්‍රහය ලබයි.

නමුත් වෙනස් මත දරන අයද සිටිති. 2001 දී ඊනියා ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයට, එරෙහිව ඡන්දය ප‍්‍රකාශ කළ එක්සත් ජනපද කොංග‍්‍රසයේ එකම සාමාජික බාබරා ලී විය. 9/11 න් දින තුනකට පසු සැප්තැම්බර් 14 දා, ලී ඇෆ්ගනිස්තානයේ වසර 20 ක යුද්ධය ආරම්භ කළ 2001 ජෝර්ජ් බුෂ්ගේ ”මිලිටරි බලය භාවිතා කිරීමේ අවසරය” (Authorisation for Use of Military Force) යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්නේය. 9/11 පිළිබඳ විශ්වාස කටයුතු පරීක්ෂණයක් ආරම්භ වීමටත් පෙර යුද්ධය සිදු කෙරිණි ! වසර 20 කට පසු, 2021 අගෝස්තු 15 දින එක්සත් ජනපද-නේටෝ හමුදාව ආර්ථික වශයෙන් බිඳ වැටෙමින් තිබූ ඇෆ්ගනිස්තානය අත්හැර දැමූහ!

2021 සැප්තැම්බර් 9 වන දින ලී මෙසේ පැවසීය ”2001 සිට සෑම පැයකටම, බදු ගෙවන්නන් මුළු යුද්ධයේ පිරිවැය සඳහා ඩොලර් මිලියන 32 ක් ගෙවමින් සිටි අතර මෙම යුද්ධ නිසා ඇමරිකානුවන්ට ආරක්ෂාව හෝ මැද පෙරදිගට ප‍්‍රජාතන්ත‍්‍රවාදය හෝ ස්ථාවර භාවයක් ගෙන ආවේ නැත”. යනුවෙනි.

9/11 ප‍්‍රහාරයේ 20 වැනි සැමරුමට පසු වදනක්... සරණාගතයන් බිහිකරන ඇමෙරිකානු යුද පිළිවෙත

ජනාධිපති නීතිඥ එම්. එම්. සුහයිර්
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment