රෙහාන්ගේ ඔළුව අවුල් කරන කවුද මේ රුක්‍ෂානා

1935

පියුමි ශ‍්‍රීනායකව අපිට මේ දිනවල මුණ ගැහෙන්නේ පාර දිගේ ටෙලි නාට්‍යයේ රුක්‍ෂානා ලෙසිනි. රුක්‍ෂානා ඇත්තටම රෙහාන් අළුවිහාරේට මොනවා කරාවිද? ඒක නම් ඇත්තටම පියුමිත් දන්නේ නැතිලූ. පියුමි ශ‍්‍රීනායකට රුක්‍ෂානා වෙන්න ලැබුණේ කොහොමද කියලා නම් අපිට කිව්වා. මේ තියෙන්නේ ඒ කතාවයි.

 * පියුමි කියන්නද? රුක්‍ෂානා කියන්නද?

 පියුමි කියන්න හැබැයි ගොඩක් දෙනෙක් මේ දවස්වල මට කතා කරන්නේ රුක්‍ෂානා කියලා. ඒ වුණාට අපි පියුමි කියමු. ඒක මගේ නමනේ.

 * රුක්‍ෂානාට ලැබෙන ප‍්‍රතිචාර?

 ගොඩක් දෙනෙක් බණිනවා. රෙහාන්ගේ ආදර කතාවට මැද්දට පැනලා ඒවා අවුල් කරනවා කියලා තමයි කට්ටිය බණින්නේ.

 * පියුමිට රුක්‍ෂානාව හමුවුණේ කොහොමද?

 මට පාර දිගේ ටෙලි නාට්‍යයට කතා කළේ චාමර අයියා. අහස් මාළිගා ටෙලිනාට්‍යයේ සහාය අධ්‍යක්‍ෂ තරංග නිරිඇල්ල තමයි මාව චාමර අයියාට මුලින්ම හඳුන්වලා දුන්නේ. ඔහු මට කිව්වා පාරදිගේ කියලා අලූත් ටෙලි නාට්‍යයක් පටන් ගන්නවා කියල. ඊට පස්සේ ඔහු චාමර අයියාට මම ගැන කතා කරලා තිබුණා. ඊට පස්සේ මම චාමරඅයියාට කතා කරන කොට ඔහු කිව්වේ චරිත සියල්ල තෝරලා ඉවරයි. ඉස්සරහට චරිතයක් එනවා ඒකට ඔයාව ඔළුවේ තියාගෙන ඉන්නවා කියලා.

රෙහාන්ගේ ඔළුව අවුල් කරන කවුද මේ රුක්‍ෂානා



 * පාරදිගේ නාට්‍යයට සම්බන්ධ වෙනකොට හිතුවද මේ තරම් ප‍්‍රතිචාර ලැබේවි කියලා?

 නැහැ නැහැ මම මුලදී හිතුවේ නැහැ. මෙච්චර හොඳ චරිතයක් කියලා. නාට්‍ය මැදින් එකතුවුණ චරිතයක් හින්ද මම හිතුවේ නැහැ මෙතරම් හොඳ චරිතයක් කියලා. ඊට පස්සේ නාට්‍යයේ රූගත කිරීම්වලට ගියාට පස්සේ මම කිව්වා චරිතයේ ෆොටෝ සෝෂල් මීඩියා දාන්න එපා කියලා. චරිතය මුල ඉඳලා යනවා. රුක්‍ෂානා කවුද කියලා රූපය පෙන්වන්නේ නැහැ. නම විතරයිනේ කියන්නේ. මාව එකපාරට පෙන්වන්න ඕනෑ හින්දයි ෆොටෝ එකක්වත් දාන්න එපා කිව්වේ.

 අන්තිමේ කොහොමහරි සංගීත් සතරසිංහ මම හිටපු ගෲප් ෆොටෝ එකක් ෆේස්බුක් අප්ලෝඞ් කරලා තිබුණා. ඊට පස්සේ යූටියුබ් එකේ පාරදිගේ රුක්‍ෂානාට පියුමි ශ‍්‍රීනායක ඉන්නේ කියල වයිරල් වුණා.

 * පාරදිගේ නාට්‍ය මේ දිනවල හරි ජනප‍්‍රියයි. මොකද ඒ ගැන හිතන්නේ?

 මට ඇත්තටම සතුටුයි. යූ ටියුබ් රේටින්වල අපේ නාට්‍ය තුන්වැනියට තියෙන්නේ. ප‍්‍රවීණයන් රැුසක් එක්ක වැඩකරන්න ලැබීමත් සතුටුයි.

 * මේ දිනවල ෂූටින් යන්නේ රුක්‍ෂානාගේ චරිතයට විතරද

 ඔව්. මම කලින් කරපු නාට්‍ය සියල්ල ඉවර වුණා. දැනට රුක්‍ෂානාගේ චරිතය විතරයි. අලූත් නිර්මාණයක පිටපතක් ලැබුණා ඒක මේ දවස්වල කියවන ගමන් ඉන්නේ.

 * කාලෙකින් ටෙලි නාට්‍යයක් ලැබීම ගැන මොකද හිතෙන්නේ?

 කාලෙකිනුත් නෙමෙයි. අහස් මාළිගා ටෙලිනාට්‍ය ඉවරවෙලා මාස තුන හතරක් වගේ කාලයක් තමයි ගෙදර හිටියේ. ශිවගුරුනාදන් කියන අධ්‍යක්‍ෂවරයා යටතේ වැඩකරන්න ලැබීම සතුටක් වගේම භාග්‍යයක්.

 * රංගන ශිල්පිනියක් වීම?

 පාරේ යනකොට මිනිස්සුන්ගෙන් ලැබෙන ප‍්‍රතිචාර ගැන ඇත්තටම සතුටුයි. ඒක හරි නිහතමානී විදියට පිළිගන්නවා. මුළු ලංකාවම ආදරය කරන චරිතයක් වීම නිසා සතුටක් එක්ක පොඩි ආඩම්බරයක් තියෙනවා.

 * දැන් නිරූපණයෙන් ඈත්වෙලාද?

 ඔව්. දැන් ඒවා අමතකත් වෙලා. මම දැන් නිරූපණය පැත්තට යන්නේ නැහැ.

 මම හිතන විදිහට දැන් නිරූපණය කියලා දෙයක් ලංකාවේ නැහැනේ. ඒ ක්‍ෂේත‍්‍රය මම දැන් අතහැරලයි ඉන්නේ. රංගන ක්‍ෂේත‍්‍රය හරහා තමයි ඉදිරියට යන්න හිතාගෙන ඉන්නේ.

රෙහාන්ගේ ඔළුව අවුල් කරන කවුද මේ රුක්‍ෂානා



 * පියුමි ශ‍්‍රීනායක කියන්නේ වෘත්තීය නිළියක්ද?

 වෘත්තීය නිළියක් කියල කියන්න අමාරුයි. මම මේ දිනවල ඇඳුම් ව්‍යාපාරයක් ආරම්භ කළා. මේ කාලෙත් එක්ක වෘත්තීය රංගන ශිල්පිනියක් විදිහට වැඩකරන්න අමාරුයි.

 * සැමියත් සමඟ ගෙවන ජීවිතය

 අපි සතුටින් හොඳින් ඉන්නවා.

 * රංගන වැඩකටයුතුවලට සැමියාගෙන් ලැබෙන්නේ මොනවගේ සහයෝගයක්ද?

 මම කාගෙන්වත් එහෙම බලාපොරොත්තු තියාගන්නේ නැහැ. සැමියාගෙන් සහයෝගයක්වත් අම්මා තාත්තාගෙන් සහයෝගයක්වත් ලබාගන්නේ නැහැ. මම උනන්දු වුණොත් මට දේවල් ලැබෙනවා කියන මතයේ තමයි මම ඉන්නේ. කා ගැනවත් මම බලාගෙන ඉන්නේ නැහැ. මගේ දේ මම හරියට කරනවා.

 * මේ ආපු ගමන ගැන මොකද හිතන්නේ?

 සතුටුයි මම දැකලා තියෙනවා. මේ ක්‍ෂේත‍්‍රයට එන්න ගොඩක් කට්ටිය උත්සාහ කරනවා. මාර විදිහට ආසාවෙන් ඉන්නවා. උත්සාහය උනන්දුව එක්ක වාසනාවත් තියෙන්න ඕනෑ කියලයි මම නම් හිතන්නේ. මම මේ තරම් දුරක් ආපු එක ගැන හරි සතුටුයි.

 * සිනමාවට ආරාධනා නැතිද?

 සිනමාවට ආරාධනා ලැබෙන්න කලින් කරපු ඒවත් තවම ප‍්‍රදර්ශනය කරගන්න බැරිවෙලයි ඉන්නේ. කොරෝනා වසංගතය නිසා. චිත‍්‍රපට නිෂ්පාදනය කරපු අය ඒවා ප‍්‍රදර්ශනය කරන්න අකමැතියි පාඩුලබයි කියලා.

 * ඔබ රඟපෑ චිත‍්‍රපටය මොකක්ද?

 සනත් ගුණතිලක මහත්මයා සමඟ රඟපෑ ගැහැනු චිත‍්‍රපටය තිරගත වෙන්න තියෙනවා.

 * ඉස්සරහට මොනවද කරන්න හිතාගෙන ඉන්නේ?

 මම ජීවිතයේ ලොකුවට බලාපොරොත්තු තියාගන්න කෙනෙක් නෙමෙයි. ඒ වෙලාවට ලැබෙන දේ ඒ වෙලාවට කරනවා. නොලැබෙන දේවල් ගැන හිතන්නේ නැහැ. ලැබෙන දේ සතුටින් භාරගෙන කරගෙන යනවා. හෙට දවස ගැන ලොකු සැලසුම් නැහැ. එවෙලට එනදේ එවෙලෙම කරනවා එච්චරයි.

 දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment