රොබින් දිවිරඟ මඬලින් සමුගනී

577

සිංහල සිනමාවේ අපරාජිත රංගනයක නිරතවූ ප‍්‍රතිභාසම්පන්න රංගනවේදියකු, සටන් නළුවකු, අධ්‍යක්‍ෂවරයකු ද වූ රොබින් ප‍්‍රනාන්දු මහතා පෙරේදා (8 දා) දැයෙන් සමුගත්තේය.

1937 ජුනි 15 වැනිදා කොළඹ කොටහේනේදී උපන් රොබින් කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ ඉගෙනුම ලැබීය. පසුකලක ප‍්‍රකට සාහිත්‍යකරුවකු හා අධිනීතිඥවරයකු ද වූ එච්. ඒ. සෙනෙවිරත්න වැනි අය සමග එකම පන්තියේ ඔහු උගත්තේය. විජය කුමාරතුංග හා රොබින් ප‍්‍රනාන්දු, රෝයි හඳපාන්ගොඩ, සුදේශ් ගුණරත්න වැනි කලාකරුවෝ ඔහුගේ සමකාලීන සිසුන් අතර වූහ. පේ‍්‍රමනාත් මොරායස් හා ලෙනින් මොරායස් (චිත‍්‍රපට අධ්‍යක්‍ෂ) ඔහුට ඉහළ පන්තිවල අධ්‍යාපනය ලබමින් සිට තිබේ.

වයස අවුරුදු 15 දී විද්‍යාලයේ හොඳම ජිම්නාස්ටික් ශූරයා ලෙස ‘වාර්තා හිමිකර ගත් රොබින් තම වෘත්තීය ජීවිතය ඇරඹුවේ කොළඹ මාක්පුඞ්ස් සමාගමට බැඳීමෙනි. එම්. ඞී. ගුණසේන සමාගමේ වැඩ අධිකාරිවරයකු ලෙස සේවය කළ සිරිල් ප‍්‍රනාන්දු හා ලලී ප‍්‍රනාන්දු යුවළ රොබින්ගේ දෙමව්පියන් වූ අතර වැඩිමහල් සහෝදරයන් දෙදෙනකු හා බාල සොහොයුරන් තිදෙනකු ඔහුගේ පවුලේ සාමාජිකයෝ වූහ.

1964 ඔක්තෝබර් 14 දා වයලා ජයවීර මහත්මිය සමග විවාහ වූ රොබින් හේමන්ති එරන්තිකා දියණියගේ හා චන්න ධමින්ද්‍ර පුතණුවන්ගේ පියාණන් විය.

සිනමාවේ අධිපති චිත‍්‍රපට නිෂ්පාදක කේ. ගුණරත්නම් හා කතා රචක ආරියරත්න කහවිට දෙපළගේ අනුග‍්‍රහයෙන් ටයිටස් තොටවන්තයන්ව හඳුන්වාදීම මත තොටවන්තයන්ගේ චණ්ඩියා, චිත‍්‍රපටයේ සිනමා සක්විති ගාමිණි පොන්සේකා සමග කොළඹ කොටහේන පිහිනුම් තටාකයක උඩ සිට කරන සටන් ජවනිකාවක රඟපෑමට ලැබීම ඔහුගේ මුල්ම රංගනය විය. එහෙත් ඊට පෙර අර්නස්ට් පෝරුතොට පියතුමන් විසින් මි.මී. 16 කෙටි චිත‍්‍රපටයකටද රොබින් යොදා ගත්තේය.

දැවෙන පිපාසය චිත‍්‍රපටයෙන් ප‍්‍රධාන චරිතයකට ප‍්‍රවිශ්ඨ වන රොබින් ධීවරයෝ, රුහුණු කුමාරි, සිහසුන, හාරලක්‍ෂය, ඔහොම හොඳද, බයිසකල් හොරා, අපේක්‍ෂා, සිරිපාල හා රං මැණිකා, හස්තිවියරුව, මුහුදු ලිහිණි, රක්තා, කවුද හරි, මල්වරුෂා, ලොකු තාත්තා, සංඛාපාලී, මාලිනි පොන්සේකා අධ්‍යක්‍ෂණය කළ සසර චේතනා, යසපාලිත නානායක්කාරයන්ගේ අංජානා, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්‍ෂණය කළ ‘ගෝඞ් කිං’ ජාත්‍යන්තර චිත‍්‍රපටය ඇතුළු චිත‍්‍රපට 100 කට අධික ප‍්‍රමාණයක රඟපෑවේය. සිංහල සිනමාවේ මුල් යුගයේ තිබූ ඒකාකාරී සටන්ක‍්‍රම වෙනස් කරමින් කරාටේ වැනි සටන් ක‍්‍රමද හදාරමින් ඒවා සිනමාවට ඔහු යොමු කළේ දේශීය තාත්වික සටන් සම්ප‍්‍රදායක ඇරඹුමක පුරෝගාමියා වෙමිනි. කි‍්‍රකට්, පාපන්දු, ජිම්නාස්ටික්, කඩු සටන්වලවද රොබින් දක්‍ෂතා ප‍්‍රකට කළේය.

සරසවි, රණතිසර සම්මානය, සිල්වර් ස්කී‍්‍රන් සංගමයේ සම්මානයද ඔහුට පුද කෙරිණි.

‘අපේක්‍ෂා’ චිත‍්‍රපටයේ ගීතා කුමාරසිංහ සමගින් ඔහු රඟපෑ සොඳුරු ලොවට මල් වැහලා… ගීත ජවනිකාවද අපට මතකය.

‘සුර දූතියෝ’ චිත‍්‍රපටය අධ්‍යක්‍ෂණය කරමින් අධ්‍යක්‍ෂනයටද පිවිසි රොබින් ඉන් ඉක්බිතිව නින්ජා ශී‍්‍ර ලංකා චිත‍්‍රපටයද අධ්‍යක්‍ෂණය කළේය. රොබින් ප‍්‍රනාන්දු මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (9 දා) සවස බොරැුල්ල කනත්තේදී සිදුවිය.

හෙන්රි පි‍්‍රයශාන්ත මෙන්දිස්

රොබින් දිවිරඟ මඬලින් සමුගනී


 

advertistmentadvertistment
advertistmentadvertistment