වත්සලා අවුරුදු තුනකින් ටෙලියක් භාරගෙන නෑ…

479

වත්සලා දියලගොඩ කියන්නෙ කාලයක් පුංචි තිරයට නැතිවම බැරි වුණ දඟකාර චරිතයක්. මුතු කිරිල්ලී ටෙලි නාට්‍ය හරහා ඇය අතිශයින් ජනප‍්‍රියත්වයට පත් වුණා. නමුත් වසර කිහිපයක්ම අලූත් නිර්මාණයක් හරහා ඇයව දකින්න ලැබුණේ නැහැ. මොකක්ද මේ දිගු නිහැඬියාවට හේතුව. වත්සලා රංගන ජීවිතයට සමුදීලද. ඒ ගැන දැනගන්න අපි ඇයට කතා කළා.

 මේ දවස්වල කොහොමද කාලය ගෙවෙන්න?

 ඇත්තටම කොවිඞ් තත්ත්වයත් එක්ක මේ දවස්වල කාලය ගෙවාගන්න අමාරුයි. දැන් අවුරුදු දෙකක් තිස්සේ මම කොහේවත් ගියේ නෑ. ගෙදරට වෙලාමයි හිටියෙ.

 වත්සලා රඟපෑමට සමුදීලාද?

 මම රඟපෑමට සමුදීලා නැහැ. නමුත් ඉස්සර ඉඳලම සාමාන්‍යයෙන් අවුරුද්දකට එක ටෙලි නාට්‍යයකට වගේ තමයි සහභාගී වුණේ. දැනට අවුරුදු තුනක විතර කාලයකදි ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණේ නැහැ. මොකද මට පොඩි බබෙක් ඉන්නවා. කොවිඞ් තත්ත්වයත් එක්ක සියයට සියයක් එයාගෙ ආරක්‍ෂාව ගැන හිතල තමයි මේ තීරණය ගත්තෙ.

 නිර්මාණයකට සම්බන්ධ නොවීම ගැන දුකක් නැද්ද?

 ඇත්තටම දුකයි. මේ ඉන්න පුළුවන්කමකට ඉන්නව නෙමෙයි. මොකද අපි ගොඩක් සමාජය ආශ‍්‍රය කරපු” සමාජයත් එක්ක ගැටුණ අය විදිහට මේ ගෙවන ජීවිතය හරි අමාරුයි. රංගනය කියන්නෙ ජීවිතය හා සමාන දෙයක්. කිසිම මොහොතක ඒක අතහරින්න පුළුවන්කමක් නැහැ. ඒ වුණත් දරුව කියන්නෙ ඊටත් වඩා ලොකු තැනක ඉන්න කෙනෙක්. එයා තමයි අංක එක. ඒ නිසා අමාරුවෙන් කොහොම හරි මේ කාලය ගෙවනව කියල හිත හදාගෙන ඉන්නවා.

වත්සලා අවුරුදු තුනකින් ටෙලියක් භාරගෙන නෑ...



 වත්සලා ටෙලි නාට්‍ය බලනවාද?

 ඇත්තටම දැන් වැඩිය ටෙලි නාට්‍ය බලන්නෙ නැහැ. මේ දවස්වල ලොකු වැඩකුත් නැති නිසා මම රංගනයෙන් දායක වුණ ටෙලි නාට්‍ය කිහිපයක් වගේම පැරණි ටෙලි නාට්‍ය කිහිපයක් ටීවී එකේ විකාශනය වෙද්දි මුල ඉඳන් බැලූවා. මෑත කාලයේ නම් පාරදිගේ සහ නාඩගම්කාරයෝ ආසාවන් බලනව.

 දරුවගෙ තොරතුරුත් කියමු?

 මට ඉන්නෙ දුවෙක්. නම හිතෛෂී වෙනායා ගුණසිංහ. දැන් වයස අවුරුදු හතයි.

 ටෙලි නාට්‍යවලට ආරාධනා ආවෙ නැද්ද?

 ඒක මෙහෙමයි” ගොඩක් අය දන්නෙ මම රඟපෑමෙන් අයින්වෙලා කියල. නමුත් කිහිප දෙනෙක් දන්නව මම තාමත් වැඩ කරනව කියල. ඒ වුණත් බොහෝ වෙලාවට පිට පළාත්වල තියෙන ෂූටින්වලට මට කතාකරනව අඩුයි.

 සහෝදර ශිල්පීන් කතාකළේ නැද්ද?

 ඕෂධී” ලෝචනා” නෙහාරා වගේ ගොඩක් අය කතාබහ කරනව. නමුත් වැඩකදි තමයි තවම අපිට එකතු වෙන්න බැරි වුණේ. අපේ කාලෙ හැමෝම වගේ අද වෙනකොට විවාහ වෙලා දරුවො එක්ක ජීවිතය පටන්ගෙන ඉන්න අය. ඒ අය හැමෝටමත් මේ ප‍්‍රශ්නය එක වගේ බලපාල තියෙනව.

 අලූත් නිර්මාණ ගැන මොකද හිතෙන්නෙ?

 ඇත්තටම කිව්වොත් පොඩි දුකක් දැනෙනව. අපි ඉස්සර කරපු නිර්මාණ අද බිහිවෙන ඒවාට වඩා ගොඩාක් සුන්දරයි. ටෙලි නාට්‍යය විතරක් නෙමෙයි. අපි එකතු වුණාම රූගතකිරීම්වල ගතකළ කාලය ගත්තත් හරිම සුන්දරයි. ඉස්සර ෂුටින් ගියාම ගෙදර එන්න උවමනාවක් නෑ. ඒ තරම් බැඳීමක් කණ්ඩායම තුළ තිබුණා. අද ඒ සුන්දරත්වය මුදලට යටවෙලා වගේ දෙයක් දැනෙනව. හෙට තියෙන වැඩකට අද කතාකරනව. ඒ වගේ තත්ත්වයක් තියෙන්නෙ. මම වැඩිය නිර්මාණ භාරනොගන්න ඒකත් එක හේතුවක්.

වත්සලා අවුරුදු තුනකින් ටෙලියක් භාරගෙන නෑ...



 අලූත් පරපුර ඔබේ සමකාලීනයන්ගේ තැන අරගෙනද?

 අලූතෙන් ඕන තරම් ශිල්පීන් බිහිවෙලා තියෙනව. නමුත් ඒක පවත්වාගෙන යෑම තමයි අපහසු. මම නාට්‍ය පණහක හැටක රඟපාලා නැහැ. නමුත් කරපු නිර්මාණ කිහිපය ගැන අදටත් රසිකයන් කතාවෙනව. අලූතින් ක්‍ෂේත‍්‍රයට එන අයට කියන්න තියෙන්නෙ දෙයක් කරනකොට තමන්ගෙ නම කෙනකුට මතක හිටින විදිහේ දෙයක් කරන්න. එහෙම නොවුණොත් කාලයත් එක්ක තව අලූත් අය එනකොට පැරණි අය අමතක වෙලා යන්න පුළුවන්. රංගනය කියන්නෙ ඉතා වටිනා රැුකියාවක්. ඒක වාසනාවට ලැබෙන දෙයක්. ඒ වාසනාවෙන් උපරිම ප‍්‍රයෝජන ගන්න.

 සැමියාගෙන් ලැබෙන සහයෝගය?

 ඔහුගෙන් රංගනයට නම් කිසිම සහයෝගයක් ලැබෙන්නෙ නැහැ. නමුත් ගෙදර වැඩපල වලට ඔහු බොහෝ වෙලාවට මට උදව් කරනව. රංගන ශිල්පීන්ට මේක ඒ තරම් හොඳ කාලයක් නෙමෙයිනෙ. හොහොම වුණත් මගේ සැමියා අඩුපාඩුවක් නැතිව මාවයි දරුවවයි හොඳින් බලාගන්නවා.

 ඔහු සමග නිර්මාණයක් කරන්න අදහසක් නැද්ද?

 මගේ සැමියා මේ ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීණයෙක්. නමුත් ඒ වගේ දේවල් වලට ඔහුගෙ කැමැත්තක් නැහැ. බොහෝ දෙනෙක් මගෙන් අහනව ගෙදරම වස්තුවක් තියෙද්දි ඇයි ඒකෙන් ප‍්‍රයෝජනයක් නොගන්නෙ කියල. ඇත්තටම මට ඒකෙන් ප‍්‍රයෝජන ගන්න විදිහක් නැහැ. මොකද පවුල් ජීවිතයයි කලාවයි එකට සම්බන්ධ කරන්න ඔහුගෙ කිසිම කැමැත්තක් නැහැ.

 ඔබේ රඟපෑමටත් සැමියා විරුද්ධයි?

 ඇත්තටම ඔහු සියයට සියයක්ම මම රඟපානවට කැමති නැහැ. නමුත් එපා කියන්නෙත් නැහැ. මම දන්න එකම දේ මට රඟපෑම නැතිව ජීවත් වෙන්න අමාරුයි. මට රඟපෑම ඕනා. මේ හුදෙකලා බවත් එක්ක ඒක තදින්ම දැනෙනවා. කොහොම වුණත් මගේ රංගන ජීවිතයයි පවුල් ජීවිතයයි සමබරව කරගෙන යන්න උපරිම උත්සාහ කරනවා.

 ඉදිරියේදී මොනවගේ නිර්මාණවලින් ඔබව දකින්න ලැබෙයිද?

 මේ දවස්වල මට නිර්මාණවලට ආරාධනා ලැබෙන්නෙ බොහොම අඩුවෙන්. මොකද බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නෙ මම දැන් නිර්මාණවලට සම්බන්ධ වෙන්නෙ නැහැ කියලනෙ. ඒ වගේම දැන් වත්සලාට දුර යන්න බැහැ. වත්සලාට බබෙක් ඉන්නවා. මේ වගේ මුදලකට එන එකක් නැහැ කියල හිතන අයත් ඉන්නවා. ඒ නිසා ඉදිරියේදි හොඳ වැඩක් සහ මම ආසා කරන චරිතයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම රඟපානවා. මේ දේ්ත් කියන්න ඕනා. මම මෙතෙක් කලක් කළේ දඟකාර කෙළිලොල් චරිතනෙ. ඇත්තටම මම දැන් එහෙම චරිත කරන්න ආසා නැහැ. දැන් මට ඕන වෙනස් විදිහේ චරිත. ඒ වුණත් සමහර අධ්‍යක්‍ෂවරු මට කියල තියෙනව ඔයා වැඩිමහලූ චරිත වලට කැමති වුණත් ඒ වගේ චරිතවලට තවම පෙනුම නැහැ කියල.

 සීමාවන් නිසා නේද අවස්ථාවන් අහිමි වෙන්නෙ?

 අපිට ජීවිතයේදී එක එක සීමාවන් එක එක කාලයේදී දාගන්න වෙනව. ඒ වුණත් මම කැමති චරිතයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම භාර ගන්නවා. අපි බලමු ඉදිරියේදි මොකද වෙන්නෙ කියල.



 මහේෂ් එදිරිසිංහ
 ඡායා–ධනුෂ්ක සේනාධීර

advertistmentadvertistment
advertistmentadvertistment