AICPA සහ CIMA ආයතනවල ප්‍රමුඛතම සේවායෝජකයකු ලෙස මහජන බැංකුව සම්මානයට පාත්‍රවෙයි

94

ශ්‍රී ලංකාවේ කළමනාකරණ ගණකාධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් පිරිනැමූ දායකත්වය අගයමින්, AICPA (ජාත්‍යන්තර සහතිකලත් වෘත්තීය ගණකාධිකාරීවරුන්ගේ සංගමය) සහ CIMA (කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනය) යන ආයතන සිය හොඳම සේවායෝජකයින් විසි දෙනා අතරට මහජන බැංකුව නම් කර ඇත.

පසුගියදා කොළඹදී පැවති AICPA and CIMA Top Employer 2023 සම්මාන උළෙලේදී මෙම සඳහා වන සම්මානය මහජන බැංකුව වෙත පිරිනැමිණි.

කළමනාකරණ ගණකාධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රගමනයට සුවිශේෂී සේවාවක් සිදු කරනු ලබන සේවායෝජකයින් ඇගයීම වෙනුවෙන් .AICPA and CIMA Top Employer 2023 සම්මාන උළෙල පැවැත්වෙන අතර, මෙහි ජයග්‍රාහකයින් තෝරා ගැනීමේ දී එම ක්ෂේත්‍රයේ වර්ධනය වෙනුවෙන් සේවායෝජකයාගේ දායකත්වය මෙන්ම, අදාළ සේවායෝජකයා විසින් සිය කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට වෘත්තීයමය වශයෙන් ඉහළට යෑම වෙනුවෙන් සලසන අවස්ථා කෙරෙහිද අවධානය යොමු කරයි.

මහජන බැංකුව සිය කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකයින්ට වෘත්තීයමය විශිෂ්ටත්වය ළඟා කර ගැනීමට අවශ්‍ය පුහුණුව හා සම්පත් ලබා දීම වෙනුවෙන් නිරන්තරයෙන් කැප වෙයි. එමෙන් ම ගනුදෙනුකරුවන් වෙත ගුණාත්මක හා විශිෂ්ට සේවාවක් ලබා දීම සඳහා වෙහෙස නො බලා කටයුතු කරන දක්ෂ වෘත්තිකයින් කණ්ඩායමක්ද මහජන බැංකුව සතුය.

මේ පිළිබඳව අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා AICPA සහ CIMA යන ආයතන විසින් ප්‍රමුඛතම සේවායෝජකයකු ලෙස අපව ඇගයීමට ලක් කිරීම ගැන අපි ඉතා සතුටට පත් වෙනවා. මෙම සම්මානය අපගේ කාර්ය මණ්ඩලයේ සේවා ගුණාත්මකභාවය සහ ඔවුන්ගේ කැපවීම ගැන හොඳම සාක්ෂියක්. එමෙන්ම කළමනාකරණ ගණකාධිකරණ ක්ෂේත්‍රයේ උන්නතියට දායක වන ප්‍රධානතම ආයතන අතර මහජන බැංකුව සිටීම පිළිබඳව අප නිහතමානීව ආඩම්බර වෙනවා.”

advertistmentadvertistment
advertistmentadvertistment