එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති ඩෙනිස් ෆ්‍රැන්සිස් මහතා සභාව අමතමින්

ඇමරිකා ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමය (America Sri Lanka Photographic Art Society) විසින් සංවිධානය කරන ලද “බියුටි ඔෆ් ශ්‍රී ලංකා 2024” (ශ්‍රී ලංකාවේ සුන්දරත්වය) ප්‍රදර්ශනය ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන නගර තුනක එනම්, ලොස් ඇන්ජලීස් නගරයේ පිහිටි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේදී, නිව්යෝර්ක් නගරයේ පිහිටි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ ස්ථිර නියෝජිත කාර්යාලය සහ වොෂින්ටන් ඩීසී (Washington, D.C) හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී අප්‍රේල් මස 21 සිට මැයි 4 දා දක්වා පවත්වන ලදී. එහි දී ප්‍රදර්ශනය කරන ලද ශ්‍රී ලංකාවේ වනජීවී, භූ දර්ශනය සහ සංස්කෘතික උරුමයන් පිළිබඳ විශ්මයජනක ඡායාරූප එකතුව ඇමෙරිකානු සහ ඇමෙරිකාවේ වෙසෙන රසික රසිකාවියන් විශාල පිරිසකගේ ආකර්ෂණයට ලක් විය. එම ඡායාරූප එකතුව එක්සත් ජනපදය පුරා සිටින ප්‍රේක්ෂකයින් විශ්මයට පත්කිරීමට සමත් වූ අතර, ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා ස්වාභාවික ආශ්චර්යයන් පිළිබිඹු කරන විස්මිත චාරිකාවක් ලෙස හැඳින්වීමේ වරදක් නැත. මෙම ප්‍රදර්ශනය එක්සත් ජනපදය පුරා සිටින ප්‍රේක්ෂකයන්ගේ විශේෂ අවධානයට ලක්වූවා පමණක් නොව ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා සංචාරක අභිලාෂයන් නඟා සිටුවීම සඳහා ගෝලීය වේදිකාවේ ප්‍රබල දූත මෙහෙවරක් ඉටු කිරීමට ද සමත් විය. මෙහි දී හිරන්ති ද සිල්වා, ලක්ෂිත කරුණාරත්න, විමුක්ති වීරතුංග, රවී රණසිංහ, කේ.ජී. කීර්තිරත්න, ඇන්ඩි සමරසේන, සංජය වර්ණසූරිය, ශාන්ත වීරසිංහ, සූරිය පෙරේරා ඇතුළු ඡායාරූප ශිල්පීන්ගේ දායකත්වය ප්‍රදර්ශනය වඩාත් වර්ණවත් කළේය.

Beauty of Sri Lanka - 2024 ප්‍රදර්ශනය එක්සත් ජනපද ප්‍රේක්ෂකයින් වසඟ කරයි
ඇමෙරිකා – ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමයේ සභාපති සුරිය පෙරේරා මහතා සමග ඩෙනිස් ෆ්‍රැන්සිස් සහ මොහාන් පීරිස් යන මහත්වරු

මෙම ප්‍රදර්ශනය ලොස් ඇන්ජලීස් නගරයේ පිහිටි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ (UCLA) සුප්‍රසිද්ධ Kerckhoff ශාලාවේ දී ආරම්භ කෙරිණි. ඒ ලොස් ඇන්ජලීස් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ආචාර්ය ලලිත් පී. චන්ද්‍රදාස මහතා විසිනි. අනතුරුව ප්‍රදර්ශනය අප්‍රේල් 25 සහ 26 යන දිනවල නිව්යෝර්ක් නගරයේ පිහිටි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ ස්ථිර නියෝජිත කාර්යාලයේ ද පවත්වන ලදි. එය නැරඹීම සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති ඩෙනිස් ෆ්‍රැන්සිස් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණීම මෙම උත්සවයේ ජාත්‍යන්තර වැදගත්කම වැඩි කිරීමට හේතු විය.

Beauty of Sri Lanka - 2024 ප්‍රදර්ශනය එක්සත් ජනපද ප්‍රේක්ෂකයින් වසඟ කරයි
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති ඩෙනිස් ෆ්‍රැන්සිස් මහත්වරු ඡායාරූප ප්‍රදර්ශනයට එක්වී…

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් සහ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත සුගීෂ්වර ගුණරත්න යන මහත්වරු මෙම සුවිශේෂී ප්‍රදර්ශනය නිව්යෝර්ක් හි ප්‍රථමවරට පවත්වමින් එය සංවිධානය කිරීමේ දී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය. ලොව පුරා සිටින සියයකට ආසන්න තානාපතිවරු සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් ප්‍රදර්ශනය නැරඹීම සඳහා එක්රැස් වූ අතර, ප්‍රදර්ශනයට තබා තිබූ සිත් ඇදගන්නාසුලු ඡායාරූප සහ ඒවා ඉදිරිපත් කළ ප්‍රවීණ ඡායාරූප ශිල්පීන්ගේ නිපුණත්වය පිළිබඳ ඔවුන්ගේ විස්මය සහ ප්‍රසාදය පළ කළහ. මෙම ඡායාරූප ශ්‍රී ලංකාවේ අද්විතීය සංස්කෘතික උරුමය සහ ස්වභාවික ශ්‍රී විභූතිය විදහා දැක්වීමට සමත් වූ අතර, එය ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි රසිකයන් තුළ ගැඹුරු හැඟීම් ජනිත කිරීමට සමත් වූ බව පෙනිණි.

Beauty of Sri Lanka - 2024 ප්‍රදර්ශනය එක්සත් ජනපද ප්‍රේක්ෂකයින් වසඟ කරයි
වොෂින්ටන් ඩී සී ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සමග ප්‍රදර්ශනයේ ශ්‍රී ලාංකික නියමුවන්

විදේශ තානාපතිවරු ප්‍රදර්ශනය අතිශයින් ඇගයීමට ලක් කළ අතර, එමගින් ශ්‍රී ලංකාවේ පවතින ආකර්ෂණීය සුන්දරත්වය ලොවට ප්‍රදර්ශනය කිරීමෙන් සංචාරක කර්මාන්තයේ සැලකිය යුතු ප්‍රගතියක් ඇති කළ හැකි බවට විශ්වාසය පළ කළහ. ප්‍රදර්ශනයට සමගාමීව පැවති උත්සවයකදී මොහාන් පීරිස් මහතා විසින් සංස්කෘතික වටිනාකම් හුවමාරු කර ගැනීමේ සහ අගය කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් අදහස් දක්වනු ලැබීය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති ඩෙනිස් ෆ්‍රැන්සිස් මහතා සිය දේශනයේදී ජාතීන්ගේ සංස්කෘතික උරුමයන් සුරැකීමේ සහ සැමරීමේ වැදගත්කම අවධාරණය කළේය.

Beauty of Sri Lanka - 2024 ප්‍රදර්ශනය එක්සත් ජනපද ප්‍රේක්ෂකයින් වසඟ කරයි
ශ්‍රී ලංකාවේ ආහාර රස විඳිමින්

“බියුටි ඔෆ් ශ්‍රී ලංකා – 2024” ප්‍රදර්ශනය මැයි 4 වන දින වොෂින්ටන් ඩීසී (Washington, D.C) හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී ආරම්භ කෙරුණේ ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මතය. එහිදී සංවිධානය කරන ලද “පාස්පෝට් ඩීසී” (Passport DC) උත්සවයට සමගාමීව ප්‍රදර්ශනය පවත්වන ලදි. එහි දී ඇමරිකානුවන් සහ සම්භාවනීය අමුත්තන් ඇතුළු ප්‍රේක්ෂකයින් දහස් ගණනකට ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් උරුමය සහ විස්මිත ස්වභාවික දායාද දැක බලා ගැනීමේ අවස්ථාවක් ලැබී තිබිණි. ඇමරිකා ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමය (America Sri Lanka Photographic Art Society) විසින් සංවිධානය කරන ලද මෙම ප්‍රදර්ශනය එක්සත් ජනපදය පුරා සිටින විවිධ ජාතික ප්‍රේක්ෂකයන්ගේ විශේෂ අවධානයට ලක්වුවා පමණක් නොව ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා සංචාරක අභිලාෂයන් නඟාසිටුවීම සඳහා ගෝලීය වේදිකාවේ ප්‍රබල දූත මෙහෙවරක් බවට පත් විය. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අනුග්‍රහය ද මේ සඳහා ලැබී තිබිණි.

එය නැරඹීම සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති ඩෙනිස් ෆ්‍රැන්සිස් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණීම මෙම උත්සවයේ ජාත්‍යන්තර වැදගත්කම වැඩි කිරීමට හේතු විය.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment