BOI සුපිරි පඩි විරෝධය දෝරේ ගලයි:

629

අධ්‍යක්ෂ මණ්ලයේ තිදෙනෙක් අස්වෙති

ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් තිදෙනකු ඊයේ (2 දා) එම ධුරවලින් ඉල්ලා අස්වී ඇත.

මෙසේ ඉල්ලා අස්වී ඇත්තේ ආචාර්ය හර්ෂ කබ්රාල්, සංජය කුලතුංග සහ හර්ෂ සුභසිංහ යන මහත්වරුන්ය. ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්‍ෂ මණ්ඩලයට සභාපතිවරයා සහ අධ්‍යක්‍ෂවරු සිව් දෙනෙක් ඇතුළත් වෙති. අධ්‍යක්‍ෂ මණ්ඩලය පත්කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි.

එම අධ්‍යක්‍ෂවරුන් තිදෙනා සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත යවා ඇත.

ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා කැබිනට් මණ්ඩලය නොමඟ යවමින් නව බඳවා ගැනීම් සිදුකිරීම, ආයතනයේ ජ්‍යෙෂ්ට නිලධාරීන් නොසලකා නව නිලධාරීන් බඳවා ගැනීම සහ නව බඳවා ගැනීම්වලට එරෙහිව සේවක විරෝධතාවක් ඇතිවී ජනාධිපතිවරයා වෙත යැවීමට පෙත්සමක් අත්සන් කිරීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් මොවුන් ඉල්ලා අස්වී ඇතැයි ආයෝජන මණ්ඩල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ආයෝජන මණ්ඩලයේ පාලනාධිකාරිය විසින් නිලධාරීන් 29 දෙනකු බඳවා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන ඉන් නිලධාරීන් 9 දෙනකු බඳවාගෙන ඇත. ඒ අතුරින් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරුන් දෙදෙනකු ලක්‍ෂ 09 ක දීමනාවකට සහ අනෙක් නිලධාරීන් ලක්‍ෂ 07, 05 වැනි දීමනාවන්ට බඳවා ගෙන ඇති බව පැවසේ. මෙම නිලධාරීන් බඳවාගෙන ඇත්තේ විවිධ කාලයන් සඳහා කොන්ත‍්‍රාත් පදනමටය.

මේ සම්බන්ධයෙන් විමසීම සඳහා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළද එය ව්‍යර්ථ විය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment