Drone කැමරාවෙන් මදුරුවන් බැලීම

792

අද අපි මේ කතුවැකිය විකට රසය දනවන කතාවකින් පටන් ගනිමු. බස්නාහිර පළාත් සභාව මගින් රුපියල් ලක්ෂ 54 ක මුදලක් වැයකර Drone කැමරාවක් මිලට ගෙන තිබේ. මෙය මිලට ගෙන ඇත්තේ කුමකටද? පළාත් සභාව යම් දිනක චිත්‍රපට නිපදවීමේ කර්මාන්තයට අවතීර්ණ වුණොත් ඒ සඳහා යොදා ගැනීමටද? නැත්නම් ඡායාරූප ශිල්පීන්ට කුලියට දීමටද? එහෙමත් නැත්නම් ආරක්ෂක කටයුතු සඳහා යොදා ගැනීමටද? නැත. පළාත් සභාව විසින් මේ පියාඹන කැමරාව මිලට ගෙන ඇත්තේ උස් ගොඩනැගිලිවල සිටින මදුරුවන් නිරීක්ෂණය කිරීමට ය. මේ කැමරාව මිලට ගත් දිනයේ සිට දෙවරකට වඩා පාවිච්චි කර නැත.

ඊළඟ කතාව මෙසේය. කොළඹ ප්‍රදේශයේ ටින් මාළු කම්හලක් ඉදිකිරීම සඳහා පළාත් සභාව විසින් මෙෂින් ගණනාවක් මිලට ගනු ලැබ තිබේ. මෙයට වැය වූ සම්පූර්ණ මුදල රුපියල් කෝටි පහකි. අද වනතුරුත් මේ කම්හල ඉදිකොට නැත. ඒ සඳහා මිලට ගත් යන්ත්‍ර තොගයද දිරාපත් වෙමින් පවතී. තව හයමාසයක් ගතවූ විට එම යන්ත්‍ර පරණ යකඩකාරයාවත් මිලට ගන්නේ නැත.

ඉහත සඳහන් ප්‍රවෘත්ති හෙළිවී ඇත්තේ විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ විගණනයකිනි. ඇතැම් පළාත් සභා වැඩමුළු පැවැත්වීම සඳහා රුපියල් ලක්ෂ 40, රුපියල් ලක්ෂ 50 වැනි මුදල් හෝටල්වලට ගෙවා තිබේ. පළාත් සභාව යනු මොන තරම් මුදල් කන ඒකකයක්ද යන්න මෙයින් වටහා ගැනීමට පුළුවන. පළාත් සභා සෑහෙන ගණනක නිල කාලය මේ වන විට අවසන් වී තිබේ. ඒ නිසා පළාත් සභාවල මන්ත්‍රීවරු ගෙවල්වල තපින අතර නිලධාරීහු ගසා කති. පළාත් සභා සංකල්පය මේ රටට කිසිදු ආකාරයකින් වැඩක් තිබෙන සංකල්පයක් නොවේ. රජීව් ගාන්ධි විසින් කොටි සංවිධානය සතුටු කිරීම සඳහා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට බලහත්කාරකම් කර ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පළාත් සභා බිහි විය. රජීව් ගාන්ධි කල්පනා කළේ උතුරු නැගෙනහිර පළාත් සභාව මගින් ප්‍රභාකරන් සතුටු කළ හැකි බවකි. එහෙත් වෙනම රාජ්‍යයක් තරයේම ඉල්ලා සිටි ප්‍රභාකරන් පළාත් සභාව ප්‍රතික්ෂේප කරමින් උතුරු නැගෙනහිර පළාත් සභාවේ මැති ඇමැතිවරුන්ට වෙඩි තබන්නට පටන් ගත්තේය. මේ නිසා එවකට තිබුණු යුද්ධයට අමතරව තවත් භයානක යුද්ධයක් ඇති විය. පළාත් සභා මන්ත්‍රීවරු ප්‍රභාකරන්ගෙන් බේරීම සඳහා මැර හමුදා පවත්වාගෙන යන්නට පටන් ගත්හ. මේ මැරයෝ ඔවුන් අත තිබූ තුවක්කු පාවිච්චි කර කප්පම් එකතු කළහ. ඒ අනුව උතුරු නැගනෙහිර ප්‍රදේශවල වෙනම කප්පම් ආර්ථිකයක් ද බිහි විය.

අප විසින් පෙර සඳහන් කරන ලද පරිදි පළාත් සභාවක් මගින් අලුතෙන්ම මුදල් විනාශ කරනු ලැබේ. මෙයට පෙර මේ රටේ ප්‍රදේශ පාලනය කරන ලද්දේ පළාත් පාලන ආයතන විසිනි. පළාත් සභා පටන් ගන්නා ලද්දේ මේ පළාත් පාලන ආයතන එසේම තිබියදීය. ලංකාවේ පළාත් නවයට පළාත් සභා නවයක් පිහිටුවන ලද අතර ඒ හැම එකකම ආණ්ඩුකාරයෙක්, මහ ඇමැති කෙනෙක් ඇමැති මණ්ඩලයක් සහ මන්ත්‍රීවරු සිටියහ. ඒ සියලු දෙනාටම පඩි ගෙවිය යුතු විය. එසේම ආරක්ෂාව ද සැපයිය යුතු විය. ලංකාවේ ලොකුම පළාත් සභාව වූයේ බස්නාහිර පළාත් සභාවය. ඒ සඳහා අති විශාල මුදලක් වැය කිරීමට සිදුවිය. ලංකාවේ පළාත් සභා නඩත්තු කරන මුදලින් ජනතාවට කිසියම් ආර්ථික සහනයක් දිය හැකිය. ඒ උදෙසා පළාත් සභා ක්‍රමය අහෝසි කරන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලමු.

advertistmentadvertistment
advertistmentadvertistment