EPF ගන්න ඉන්න අය පරාදයි?

1174

අර්ථසාධකය රකින හොඳම යෝජනාව මෙයයි
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

අර්ථසාධක අරමුදලට අත තියන්න එපා
වෘත්තීය සමිති නියෝජිතයෝ

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලයෙන් සේවක අර්ථසාධක අරමුදලට වන බලපෑම ගැන බොහෝ සාකච්ඡා සිදුවෙමින් තිබේ. එම අරමුදලට වන බලපෑම් ගැන විවිධ අදහස් ඉදිරිපත් වෙමින් තිබේ. මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ වෘත්තීය සමිති නියෝජිතයන් අතර හමුවක් ද පසුගිය දා (05) මහ බැංකු මූලස්ථානයේදී පැවැත්විණි. එම හමුවට අදාළ සම්පූර්ණ වීඩියෝව එදිනම මහ බැංකුව විසින් යූටියුබ් එකට මුදා හැර තිබිණි. ඒ නිසා දැන් ඕනෑම අයෙකුට එම සංවාදය නැරඹිය හැකිය. මූලික වශයෙන්ම කිව යුත්තේ මේ හමුව කිසිසේත්ම සුහද සාකච්ජාවක් ලෙස නොපැවති බවයි. එම හමුවට අදාළ වීඩියෝ පටය බැලීමෙන් ඒ බව අපට පැහැදිලි වේ. එය සුහද සාකච්ජාවක් නොවීම සඳහා දෙපැත්තෙන්ම ක්‍රියාකළ ආකාරයේ අඩුපාඩු තිබිණි. වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඇතැමුන් පැමිණ තිබුණේ ද මහ බැංකු අධිපතිගෙන් ගේම ඉල්ලන්නටම බව පෙනේ.

මහ බැංකු අධිපතිවරයා එම වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් හමුව ආරම්භයේදීම ඒ ඒ නියෝජිතයාගෙන් වෙන වෙනම ඔබ ඊපීඑෆ් සාමාජිකයෙකු දැයි විමසනු ලැබිණි. එහෙත් එම පිරිස පැමිණ තිබුණේ වෘත්තීය සමිති නියෝජිතයන් වශයෙනි. ඒ නිසා එම ප්‍රශ්නය එතරම් අදාළ එකක් නොවූ බව මහ බැංකු අධිපතිවරයා විසින් ඒ බවට ප්‍රශ්න කරන අවස්ථාවේදී ඔවුන් විසින්ම පෙන්වා දෙනු ලැබිණි. ඇත්ත වශයෙන්ම ඒ ඒ එක් එක් නියෝජිතයා පෞද්ගලිකව ඊපීඑෆ් සාමාජිකයෙකු ද කියා විමසනවාට වඩා ඔබ හෝ ඔබ නියෝජනය කරන වෘත්තීය සමිතියේ සාමාජිකයන් සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් ද සහ ඔබගේ වෘත්තීය සමිතිය සේවක අර්ථසාධක අරමුදලට සම්බන්ධ වන්නේ කෙසේද යන්න විමසුවා නම් වඩා හොඳ බව අපගේ අදහසයි. මහ බැංකු අධිපතිවරයා මේ සාකච්ජාව ලබා දී තිබුණේම සේවක අර්ථසාධක අරමුදලේ භාරකරුවා වශයෙන් මහ බැංකුව පැත්තෙන් සාකච්ජා කිරීමට වන නිසා එසේ විමසීමේ වරදක් නැත. එහෙත් එසේ නොකර එම සාකච්ජාව පටන් ගැන්මේදීම එම හමුවට පැමිණ සිටි එක් එක් නියෝජිතයා පෞද්ගලිකව ඊපීඑෆ් සාමාජිකයෙකු දැයි විමසා එය සටහන් කර ගැනීමට යෑම නිසා වෘත්තීය සමිති නියෝජිතයන් ද මහ බැංකු අධිපතිවරයාගෙන් ගේම ඉල්ලන්ට පටන් ගත්තේය. ඒ අනුව එතැන් සිටම ගැටුම්කාරී ස්වභාවයකින් මේ සාකච්ජාව ඉදිරියට යන ස්වභාවයක් පෙනිණි. මෙහිදී තරිඳු උඩුවරගෙදර නමැත්තා මහ බැංකු අධිපති අමතා මෙසේ කියනු ලබයි.

‘ඔබතුමාට ඕන නම් දහස් ගණනක් අරන් එන්නම් ආයෙ. අපි ඊපීඑෆ් හොල්ඩර්ස්ල දහස් ගණනක් අරන් එන්නම් ඕන නම්. ඕන නම් එක්ක එන්නම්. මේක වට කරන්නම් එක්කන් ඇවිල්ල. හරි ද මේක වට කරන්නම් ඕන නම් එක්කන් ඇවිල්ල..

වෘත්තීය සමිති නියෝජිතයන් වශයෙන් පැමිණ සිටි එක් එක් අයගෙන් වෙන වෙනම ඊපීඑෆ් සාමාජිකයෙකු ද නැති ද යන්න විමසීම එතරම් අදාළ ප්‍රශ්නයක් නොවන බව ඔවුන් පැවසීමේ වරදක් නැත. එහෙත් මහ බැංකු අධිපතිවරයා සමග සාකච්ජාවකට පැමිණ මෙසේ තර්ජනාත්මකව පැවසීම නම් සුදුසු දෙයක් නොවෙන බව අපගේ අදහසයි. මාධ්‍යවේදියෙකු බව කියන තරිඳු උඩුවරගෙදර යන අය මෙතනට පැමිණියේ මාධ්‍යවේදියෙකු ලෙස නොව වෘත්තීය සමිති නියෝජිතයෙකු ලෙස විය යුතුය. එහෙත් අනිත් වෘත්තීය සමිති නියෝජිතයන් කියන ලද දේ හරි හෝ වැරදි හෝ වේවා මෙලෙස තර්ජනාත්මක කතා කීවේ නැත. මෙය පිකටින් එකක් හෝ උද්ඝෝෂණයක් නොව සාකච්ජාවකි. මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඇතැමුන් ද මහ බැංකු අධිපතිවරයාට පිළිතුරු දීමට පවා නොහැකි වන ලෙස කිහිප දෙනෙක්ම එකවිට දැඩිව කතා කරමින් හැසිරීම නිසා එම හමුව ඇතැම් අවස්ථාවල දී ගාලගෝට්ටියක් බවට පත් විය. මහ බැංකු අධිපතිවරයා කියන දෙය පවා පැහැදිලිව නොඇසෙන තත්ත්වයක් ඇති විය.

කිහිප දෙනෙක්ම එකවිට දැඩිව කතා කරමින් ප්‍රශ්න අසන විට මහ බැංකු අධිපතිවරයාට පමණක් නොව වෙනත් කිසිවෙකුට හෝ ඒවාට පිළිතුරු දීමට අපහසුවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ නිසා වරකට එක් අයෙකුට පමණක් කතා කරන ලෙස දැනුම් දී ඒ සාකච්ජාව කිසියම් ආකාරයකින් මෙහෙයවීමක් කළා නම් මහ බැංකු අධිපතිවරයාට ඒවාට පිළිතුරු දීමට ඉඩ ලැබෙන අතරම වෘත්තීය සමිති නියෝජිතයන්ට ද මෙම හමුවේ වැඩි ප්‍රයෝජනයක් ලබාගත හැකිව තිබිණි. මහ බැංකුව පවත්වන මාධ්‍ය හමුවලදී වරකට ප්‍රශ්න ඇසීමට ලැබෙන්නේ එක් මාධ්‍යවේදියෙකුට පමණි. එයට පිළිතුරු දී අවසන් වූ පසුව ප්‍රශ්න ඇසීමට තවත් මාධ්‍යවේදියෙකුට අවස්ථාව ලැබේ. මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් එකවර ප්‍රශ්න අසන්නේ නැත. ඒ නිසා මහ බැංකුව මුලින්ම කිරීමට තිබුණේ වරකට එක වෘත්තීය සමිති නියෝජිතයෙකුට පමණක් ප්‍රශ්න කිරීමට හෝ තම අදහස් දැක්වීමට ඉඩ ලබා දීමයි. අනිත් අතට වෘත්තීය සමිති නියෝජිතයන් ද මීට වඩා සංයමයකින් කිහිප දෙනෙක් එක විට කතා නොකර ඔවුන්ගේ අදහස් දැක්වීම හෝ ප්‍රශ්න ඇසීම සිදු කළා නම් මේ හමුව වඩාත් ප්‍රයෝජනවත් සහ සුහද එකක් වීමට ඉඩ තිබිණි.

ඇත්ත වශයෙන්ම වඩාත් වැදගත් වන්නේ අන් කිසිවක් නොව මේ දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනාව නිසා අර්ථසාධක අරමුදලට වන සැබෑ බලපෑම හඳුනා ගැනීමයි. මේ ගැන රජයේ පැත්තෙන් සහ මහ බැංකු අධිපතිවරයා විසින් විකල්ප දෙකක් ඇති බව කියමින් යම් යම් අදහස් ඉදිරිපත් කර තිබුණත් තවමත් මේ රටේ ජනයාට, විශේෂයෙන්ම සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට අර්ථසාධක අරමුදලට වන නිවැරදි බලපෑම ගැන හරි අවබෝධයක් නැත. ඒ නිසා සේවක අර්ථසාධක අරමුදලට දේශීය ණය ප්‍රශස්තකරණය නිසා වන බලපෑම ගැන රජයේ පැත්තෙන් සහ මහ බැංකුවේ පැත්තෙන් සියලු තොරතුරු විස්තරාත්මකව ඉදිරිපත් කළ යුතුව තිබේ. එහෙත් තවමත් එවැන්නක් රජයෙන් හෝ මහ බැංකුවෙන් ප්‍රමාණවත් පරිදි සිදුව නැත. ඒ නිසා විවිධ අයට විවිධ කතා කියමින් ජනයා මුළා කිරීමට අවස්ථාව සැලසී ඇත.

කෙසේ හෝ මෙම හමුවේදී මහ බැංකු අධිපතිවරයා තමාගෙන් අසන ලද සෑම ප්‍රශ්නයකටම පිළිතුරු දුන්නේය. වෘත්තීය සමිති නියෝජිතයන් සියලු දෙනාටම අදහස් දැක්වීමට ද අවස්ථාව ලබා දුන්නේය. ඒ සඳහා ඔවුන්ට බාධාවක් තිබුණේ නැත. ඇතැම් විට සිදු වූයේ මහ බැංකු අධිපතිවරයාට නිසි පරිදි පිළිතුරු දීමට නොහැකි වන ලෙස වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඇතැම් අය කිහිප දෙනෙක් තරගයට මෙන් එකවර කතා කිරීමට පටන් ගැනීමයි. ඇත්ත වශයෙන්ම ඔවුන් කළ යුතුව තිබුණේ ලබා දී තිබූ පැයක පමණ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා තමන්ට ඇති ප්‍රශ්නය මහ බැංකු අධිපතිවරයාගෙන් විමසීම හෝ දැක්වීමට තිබෙන අදහස කෙටියෙන් දැක්වීමයි. එහෙත් ඒ වෙනුවට ඇතැම් අය කතා පවත්වන්නට පටන් ගත්තේය. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එම හමුව ආරම්භයේ දීම සඳහන් කළේ වෙනත් රාජකාරී ද තිබෙන නිසා ඒ සඳහා පැයක කාලයක් වෙන් කළ හැකි බවයි. එහෙත් මහ බැංකුව නිකුත් කර තිබූ වීඩියෝව අනුව පැයකුත් විනාඩි 38 ක කාලයක් මෙම සාකච්ජාව ඇදී ගොස් තිබේ.

මෙම හමුවට පැමිණ සිටි නීතිඥ ස්වස්තිකා අරුලිංගම් මහ බැංකු අධිපති අමතමින් ප්‍රකාශ කළේ භාරකරුවා වශයෙන් සේවක අර්ථසාධක අරමුදලට අත තැබීමට මහ බැංකුවට අයිතියක් නැති බවයි. එවිට මහ බැංකුව කරන්නේ අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ගේ විශ්වාසය කඩ කිරීමක් බවයි. එයට එකඟ නොවන බව සඳහන් කරමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා දක්වන ලද අදහසක් මෙසේය.

‘අපි මෙතන කතා කරන්නේ භාරකරු වශයෙන් කෙතරම් හොඳින් අපට සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් සුරැකීමට හැකි ද යන්නයි. මේක තමයි අපට තිබෙන හොඳම විසඳුම සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් සුරැකීමට. මම ඇයි එහෙම කියන්නේ? මේ යෝජනාව පාර්ලිමේන්තුව, විධායකය සහ අධිකරණය යන සියලු දෙනාම අනුමත කර තිබෙනවා. දැන් මෙය රටේ නීතියක් බවට පත්ව තිබෙනවා. ඔබ කියනවා නම් සේවක අර්ථසාධක අරමුදලට අත තියන්න එපා කියලා. ඒ කියන්නේ සේවක අර්ථසාධක අරමුදල සියයට 30 ක බද්දට යටත් කරන්න කියලයි. එම අරමුදලේ භාරකරු හැටියට එහි සාමාජිකයන්ට වඩා වාසිදායක විකල්පය තෝරා ගැනීමයි අපි කරන්නේ. අපි ඒ තීරණය නොගත්තොත් ඔබ තර්ක කරන පරිදි ඒ අය සියයට

30 ක බද්දට යටත් වෙනවා. එසේ නැත්නම් අනිත් සියලුම යෝජනාවලට වඩා අහිතකර බලපෑමකට අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් ලක් වෙනවා. කිසිවෙකුටත් මුදල් මණ්ඩලයෙන් ඉල්ලන්න බෑ නීති විරෝධී තීරණයක් ගන්න කියලා. ඔබලා එයට එකඟ නොවෙනවා නම් අප ඔබගේ අදහසට ගරු කරනවා. එහෙත් එය සියලු පාර්ශ්වයන් අනුමත කළ විසඳුමයි. සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ගේ සාමාජික මුදල් වගේම රටේ සියලුම ජනතාවගේ තැන්පත් ආරක්ෂා කිරීමට තිබෙන හොඳම යෝජනාව මෙයයි.’

මෙයට පිළිතුරු දෙමින් එම නීතිඥවරිය කියා සිටියේ සියයට 30 ක බදු යෝජනාව තවමත් පාර්ලිමේන්තුවෙන් අනුමත කර නැති බවයි. එය ඔබ දන්නවා නේදැයි ඇය විමසා සිටියාය. එයට පිළිතුරු ලෙස මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ පාර්ලිමේන්තුව එම බදු නීතිය සම්මත කළ පසු මහ බැංකුව විසින් එයට සහභාගි වීමට තීරණයක් ගන්නා බවයි. සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ගේ සාමාජික මුදල් ආරක්ෂා කරන සහ ඔවුන්ගේ පොලී ප්‍රතිලාභ ආරක්ෂා කරන හොඳම විසඳුම මෙය බව මහ බැංකු අධිපතිවරයා කියා සිටියි. එහෙත් එය ප්‍රකාශයක් ලෙස පමණක් කීම ප්‍රමාණවත් නොවේ. එය මහජනයාට තහවුරු කිරීමට අවශ්‍ය යම් ගණනය කිරීම් කර දත්ත ඉදිරිපත් කරන්නේ නම් වඩාත් සුදුසුය. ඒ නිසා මහ බැංකු අධිපති කියන මතය (එය අසත්‍යයක් යැයි අපි නොකියමු) ගැන ජනතාවට විශ්වාස කිරීමට තරම් කරුණු ප්‍රමාණවත් නොවන බව අපගේ අදහසයි.

කිසිවෙකුටත් කිසිදු බලපෑමක් නොමැතිව දේශීය ණය ප්‍රශස්තකරණය සිදුකළ නොහැකි බව ද අප පිළිගත යුත්තකි. ඒ නිසා මෙහි අනිවාර්ය බලපෑමක් තිබේ. ඊපීඑෆ් එකටත් බලපෑමක් තිබේ. එහෙත් අවශ්‍ය කරන්නේ එම බලපෑම් අවම කරගත හැකි ප්‍රශස්ත විසඳුමකි. ඒ අනුව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙන්ම රජයේ පාර්ශ්වයෙන් අපට කියන්නේ මේ ඉදිරිපත් කර ඇත්තේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ප්‍රශස්තම (වඩා හොඳම) යෝජනාව බවයි. මීට වඩා හොඳට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු කළ හැකි යෝජනාවක් තිබේ නම් එය ඕනෑම අයෙකුට රටට ප්‍රකාශ කරන ලෙස ද මහ බැංකු අධිපතිවරයා මීට පෙර ප්‍රකාශ කර තිබිණි. ඇතැම් අය බොහෝ විකල්ප අදහස් ප්‍රකාශ කර තිබුණත් ඒවා කෙතරම් ප්‍රායෝගික ද යන ප්‍රශ්නය තිබේ. උදාහරණයක් වශයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිඟ බදු අය කරගන්නා ලෙසට ද ඇතැම් අය යෝජනා කරනු දක්නට ලැබේ. එහි කිසිම ප්‍රශ්නයක් නැත. ඒවා අනිවාර්යයෙන්ම රජයට අයකරගත යුතුය. එහෙත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ එම හිඟ බදු ඉලක්කම වහාම අයකරගත හැකි අගයක් නොවේ. ඇතැම් ඒවාට නඩු තිබේ. තවත් ඒවාට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තිබේ. ඒවා අය කර ගැනීමට අනිවාර්යයෙන්ම ක්‍රියාමාර්ග ගත යුතු නමුත් එය මේ සඳහා විකල්පයක් වනු ඇතැයි අපට සිතිය නොහැකිය.

මේ වන විට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ගැන මහ බැංකු අධිපතිවරයා බොහෝ අදහස් ඉදිරිපත් කර තිබුණත් වඩාත්ම කතාබහට ලක්වෙන කරුණ වී ඇත්තේ විශේෂයෙන්ම සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට සහ අර්ථසාධක අරමුදලට වන බලපෑම ගැනයි. මහ බැංකුව විසින්ම ඉදිරිපත් කර ඇති යෝජනාව අනුව ණය ප්‍රශස්තකරණයට සහභාගි වීම නිසා සේවක අර්ථසාධක අරමුදලට ඇති වන බලපෑම කුමක් ද ? එය සැසඳිය යුතුව ඇත්තේ ණය ප්‍රශස්තකරණයක් සිදු කිරීමට අවශ්‍ය නොවුණා නම් තිබෙන තත්ත්වය සමගය. එසේ නැතුව සියයට 14 ක් වෙනුවට සියයට 30 ක් දක්වා බදු වැඩි වීමෙන් වන තත්ත්වය සමග නොවේ. සියයට 30 ක බදු පැනවෙන තත්ත්වයට සාපේක්ෂව නම් අනිවාර්යයෙන්ම දේශීය ණය ප්‍රශස්තකරණයට සහභාගි වීම නිසා සේවක අර්ථසාධක අරමුදලට වන හානිය අඩුය. එහෙත් මහජනයා ඊට වඩා දැන ගැනීමට උනන්දු වන්නේ ණය ප්‍රශස්තකරණයක් සිදු කිරීමට සිදු නොවුණා නම් අර්ථසාධක අරමුදලේ ඇති තත්ත්වය සහ දේශීය ණය ප්‍රශස්තකරණයට සහභාගි වීම නිසා සේවක අර්ථසාධක අරමුදලට වන බලපෑම අතර ඇති වෙනස ගැනයි. මේ ගැන වඩාත්ම නිශ්චිතව සහ නිරවුල් පැහැදිලි කිරීමක් රටේ ජනතාවට සහ අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට ලබා දීම ඉතා වැදගත් බව අපි රජයට සහ මහ බැංකුවට කියා සිටිමු.

ණය ප්‍රශස්තකරණ යෝජනාව පරිදි කලින් අර්ථසාධක අරමුදල විසින් වැඩි පොලියට ආයෝජනය කර තිබූ බැඳුම්කරවල මුදල්, අලුතින් අඩු පොලියට දිගුකාලීන බැඳුම්කරවල ආයෝජනය කිරීමේදී නම් සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට පාඩුවක් සිදු වේ. මේ නිසා ඇත්ත වශයෙන්ම සේවක අර්ථසාධක අරමුදල් හිමියන්ට වන පාඩුව ගණනය කළ යුතු වන්නේ මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නොකළා නම් තිබෙන අරමුදලේ වටිනාකම හා පොලී ප්‍රතිලාභය සහ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය කළ විට තිබෙන අරමුදලේ වටිනාකම හා ලැබෙන පොලී ප්‍රතිලාභය අතර වෙනස ගණනය කිරීමෙනි. ඒ සඳහා හරියටම සංඛ්‍යාලේඛන ඇත්තේ මහ බැංකුව සතුවය. ඒ නිසා මේ ගැන හරියටම පැහැදිලි කිරීමක් කළ හැක්කේ ද මහ බැංකුවටමය. ඒ පැහැදිලි කිරීම කරන ලෙස අපි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් ඉල්ලා සිටිමු. මෙය තාක්ෂණිකව කළ යුතු ගණනය කිරීමකි. එය ගණනය කර රටට ප්‍රකාශ කිරීමෙන් බොහෝ දෙනෙක්ගේ සැක සංකා දුරුවන අතර මේ සම්බන්ධයෙන් ඇතැම් අයට පච ප්‍රචාරය කිරීමට ද ඉඩ නොලැබෙනු ඇත. මෙය තාක්ෂණික විෂයක් නිසා දේශපාලන කතාවලට වඩා මේ ගැන දැනුමක් ඇතිව සහ නිවැරදි දත්ත සහිතව කරන පැහැදිලි කිරීම් වඩාත්ම වැදගත් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

සියයට 30 බදු යෝජනාව පාර්ලිමේන්තුවෙන් සම්මත වූ පසුව මේ සම්බන්ධයෙන් මහ බැංකුවට තිබෙන්නේ එම සම්මත වූ යෝජනාවට අනුව එනම් රටේ නීතියට අනුව කටයුතු කිරීමට පමණි. රටේ නීතියට පටහැනි තීරණ ගැනීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලයට හැකියාවක් නැත. එසේ නම් සේවක අර්ථසාධක අරමුදල සියයට 30 ක බද්දට යටත් වීමට වඩා වාසිදායක වනු ඇත්තේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට සහභාගි වීමයි. පාර්ලිමේන්තුව හරහා රටේ නීතියක් බවට පත් කර මෙය සිදු කරන නිසා එයට පටහැනි තීරණ ගැනීමට මහ බැංකුවට නොහැකි අතරම මෙය අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ගේ කැමැත්ත විමසා සිදුකරන විසඳුමක් ද නොවන බව අපට වැටහේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment