EPF ආයෝජන අපතේ යයි

178

සේවක අර්ථසාධක අරමුදල් ඇතැම් ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමෙන් රුපියල් මිලියන ගණනින් පාඩු සිදුවී ඇති බව නවතම විගණන වාර්තාවකින් පෙන්වා දී තිබේ. ග්‍රෑන්ඩ් හයිට් කොළඹ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 5,000ක් වැය කර තිබුණ ද අද දක්වා ඉන් කිසිදු ලාභයක් ලබා නොමැති බව එම වාර්තාවල සඳහන් වෙයි. ඒ අනුව, 2021 දෙසැම්බර් 31 වනදා වනවිට “ද ෆිනෑන්ස් සමාගමෙහි” බලපත්‍රය අවලංගු කිරීම හේතුවෙන් අරමුදලට රුපියල් මිලියන 205.49ක මුදලක් අහිමිවී ඇති බව විගණකාධිපති වාර්තාවේ සඳහන්ය.එමෙන්ම ලැයිස්තුගත නොවු සමාගම්වල කොටස් ආයෝජනයෙන් රුපියල් මිලියන 5,000ක් එනම් 53% ක ප්‍රතිශතයක් 2013 වසරේදී කැන්විල් හෝල්ඩින්ග්ස් හෝටල් සංකීර්ණය ඉදිකිරීම සඳහා අයෝජනය කර තිබූ අතර එම හෝටල් සංකීර්ණය ඉදිකිරීමට අදාළ ග්‍රෑන්ඩ් හයිට් කොළඹ ව්‍යාපෘතියේ ඉදිකිරීමේ කටයුතු 2020 වසරේ නැවත ආරම්භ කර තිබේ.කෙසේවෙතත් 2021 දෙසැම්බර් 27 වනවිටත් එම හෝටල් සංකීර්ණයේ ඉදිකිරීම් අවසන් නොකිරීම සහ වසර 8ක කාලයක් ගතවුණ ද එම ආයෝජනයෙන් කිසිදු ප්‍රතිලාභයක් අරමුදලට හිමිවී නොමැති බව එම විගණන වාර්තාව මගින් පෙන්වාදී ඇත.අරමුදලේ සාමාජිකයින්ට නව හැඳුනුම්පත් නිකුත් කිරීම සහ නැවත ලියාපදිංචි කිරීමේ පරිගණක කටයුතු සඳහා කාඩ්පත් 15,000ක් රුපියල් මිලියන 12.61කට 2008 වසරේ මිලදී ගෙන තිබුණ ද මෙම කාඩ්පත් ප්‍රයෝජනයට නොගෙන නිෂ්කාර්යව තිබී ඇති බව හෙළි වී තිබේ.එමෙන්ම රුපියල් මිලියන 17.67ක් වැයකර මිලදී ගන්නා ලද යන්ත්‍ර 35කින් 2ක් අපහරණය කර තිබුණු අතර ඉතිරි යන්ත්‍ර 33 සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගෙන ක්‍රියාත්මක කර නොතිබූ බවද විගණන වාර්තාව මගින් පෙන්වා දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment