EPF – ETF ඇතුළු අරමුදල් 11 ක් අධිභාරයෙන් නිදහස්

152

2022 අයවැයෙන් තමා ඉදිරිපත් කළ සියයට 25 ක අධිභාර බද්දෙන් සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල ඇතුළු අරමුදල් 11 ක් නිදහස් කළ බව මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

ඒ ගැන තමා පෙරේදා (14 දා) කැබිනට් මණ්ඩලයට පැහැදිලි කළ බවද මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් මුදල් ඇමැතිවරයා කියා සිටියේය.

මේ බද්දට යටත් වන ආයතන 69 කින් රු. බිලියන 105 ක ආදායමක් ලැබෙන බවද මුදල් ඇමැතිවරයා කීවේය.

මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා මෙසේ ද කීවේය.

2022 අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් මා විසින් ඉදිරිපත් කළ අයවැය කතාවේදී එක් වරක් පමණක් අයකරන බදු යෝජනාවක් ඉදිරිපත් කළා. ඒකෙදි පැහැදිලිව කිව්වෙ තක්සේරු වර්ෂය 2020/21 සඳහා රු. බිලියන 2 කට වඩා බදු අය කළ හැකි ආදායමක් උපයන ලද තැනැත්තන් හෝ සමාගම් මත එක් වරක් පමණක් අය කරන සියයට 25 ක අධිභාර බද්දක් අය කිරීමට යෝජනා කරන බවයි.

මෙම බද්ද මගින් රු. බිලියන 100 ක් පමණ උපයා ගැනීමට අපේක්‍ෂා කරනවා. පැහැදිලිව අපි ඒ වෙලාවේ බලාපොරොත්තු වුණේ බිලියන 100 යි. එකෙදි සමාගම් සහ පුද්ගලයන් අපි අඳුර ගත්ත 69 ක්. ඒ 69 න් ගණන් හැදුවම දැනට බිලියන 105 ක් හම්බු වෙනවා. මොනම අවස්ථාවකවත් අපි බලාපොරොත්තු වුණේ නෑ සේවක අර්ථසාධක අරමුදලෙන් හෝ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල ඇතුළු අරමුදල් 11 න් එකක්වත් මේකට ඇතුළු කරන්න. එහෙම කළොත් තව රු. බිලියන 85 ක පමණ ආදායමක් ලැබෙනවා. අපි ඒක ඇස්තමේන්තු කළේම නෑ. නමුත් ගිය ආණ්ඩුවේ 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ මේ අරමුදල් 11 ත් ආදායම් බදු ගෙවිය යුතු ආයතන හැටියට හඳුන්වපු නිසා මේකට මේ අධිභාර බද්ද අයත් වන බවට වන මතයක් මහජනතාව අතර පැතිරිලා තිබුණා. ඒක අපි කැබිනට් මණ්ඩලයේදී පැහැදිලි කරල මේ අරමුදල් 11 ම මේ බද්දෙන් නිදහස් කළ බව සඳහන් කරන්න ඕන.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment