EPF-ETF කොල්ලයක්… වසන්ත හෙළි කරයි

185

ආණ්ඩුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩපිළිවෙළ හරහා සේවක අර්ථසාධක සහ භාරකාර අරමුදල් හී රුපියල් කෝටි හැට දහසකට අධික මුදලක් කොල්ලකෑමට සැරසෙන බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික, අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පසුගියදා බරපතළ චෝදනාවක් එල්ල කළේය.

ඒ පිළිබඳ මෙන්ම තවත් කරුණු කාරණා කිහිපයක් පිළිබඳ විමසීම සඳහා දිවයින ඉරිදා සංග්‍රහය වසන්ත සමරසිංහ මහතාව මුණ ගැසුනෙමු. පහතින් පෙළ ගැසෙන්නේ වසන්ත සමරසිංහ මහතා සමඟ සිදුකළ එම සාකච්ඡාවයි.

ප්‍රශ්නය – ආණ්ඩුවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ යෝජනාවලිය හරහා ජනතා මුදල් කොල්ලකෑමට නියමිත බව ඔබ පසුගියදා ප්‍රකාශ කළා.

පිළිතුර – ඔව්. ණය ප්‍රතිව්‍යුහගතකරණය ට මුවා වී රටේ වැඩකරන ජනතාවගේ මුදල්, බැංකුවල ඇති ජනතාවගේ තැන්පතු, රක්ෂණ අරමුදල්වල ඇති අරමුදල්, බැඳුම්කර කොල්ලකන වැඩපිළිවෙළකට රනිල් – රාජපක්ෂ ආණ්ඩුව අවතීර්ණ වෙලා සිටිනවා.

ආණ්ඩුව පුද්ගලයන්ගෙන් ආයතනවලින් අරමුදල්වලින් බැංකු වලින් ලබාගත් ණය ප්‍රමාණය රුපියල් කෝටි දොළොස් ලක්ෂ හතළිස් හතර දහස් දෙසීයක්. ඒ කියන්නේ රුපියල් බිලියන දොළොස් දහස් හාරසීය හතළිස් දෙකක්. එම මුදලෙන් දේශීය වෙළඳපොළෙන් ගත් ණයවලින් සියයට 20 ත් 25 ත් අතර ප්‍රමාණයක් කපා හරින්න වික්‍රමසිංහ ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව රුපියල් කෝටි දෙලක්ෂ පනස්දහසක් කපා හැරීමේ සැලසුමක් ක්‍රියාත්මකයි.

ආණ්ඩුව මේ ණය ලබාගෙන තිබෙන්නේ මිනිසුන්ගේ අරමුදල් වලින්. ඒවා ගත්තේ ආණ්ඩුව. එසේ නොමැතිව ජනතාවට ලබා දුන් මුදල් නෙවෙයි. රුපියල අවප්‍රමාණය වී ඇති මොහොතක මෙලෙස ණය කපා හැරීම නිසා දෙ අංශයකින් අරමුදලේ දායකකරුවන්ට පාඩු සිදු වෙනවා.

ප්‍රශ්නය – සේවක අර්ථසාධක අරමුදලේ කොපමණ මුදලක් ඒ අනුව කපා හරිනවා ද

පිළිතුර – සේවක අර්ථසාධක අරමුදල රුපියල් කෝටි හැට දහසකට වැඩි මුදලක් ඒ අනුව කපා හැරෙනවා. මෙම ණය කපා හැරීම බැංකු පද්ධතිය රක්ෂණ සමාගම් බිඳ වැටීම නතර කරන්න බැහැ. ඇත්තටම ලක්ෂ 30 ක ජනතාවගේ මුදල් නැති කරන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ඇති අයිතිය කුමක්ද? මහ බැංකු අධිපතිවරයාගේ තියරිය මේකද කියලා අපි ප්‍රශ්න කරනවා. මේ සිදු කරන්න යන්නේ විශාල මංකොල්ලයක්. 2015 දීත් රනිල් වික්‍රමසිංහ මහ බැංකු බැඳුම්කර වංචාව හරහා රුපියල් මිලියන 25,000 ක් රටට අහිමි කළා. අද වෙනකම් හොරකම් කරපු අය නැහැ. නමුත් අර්ථසාධක අරමුදලට සිදුව ඇති පාඩුව එහෙමමයි. රනිල් වික්‍රමසිංහ දැන් ඊළඟ වටයට තමයි මේ ලෑස්ති වෙමින් සිටින්නේ.

සේවක අර්ථසාධක සහ භාරකාර අරමුදල් වලින් කෝටි හැට දහසකට වැඩි ප්‍රමාණයක් කපා හැර රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ අරමුදලට දායක වූ විශ්‍රාමිකයන්ගේ අරමුදල් කපා හරින්න ආණ්ඩුවට අයිතියක් නැහැ. මේ මහා කොල්ලයට විරුද්ධ වීමට සූදානම් වෙන්න යැයි අපි ජනතාවට කියා සිටිනවා.

ප්‍රශ්නය – මේ සම්බන්ධයෙන් අන්තර් සමාගම් සේවක සංගමය ගනු ලබන ක්‍රියාමාර්ග කුමක්ද ?

පිළිතුර – අප සියලු වෘත්තිය සමිති එක්කර මීට විරුද්ධව ගත හැකි ගත හැකි සියලු පියවර ගන්නවා. ඒ වගේම ණය කපා හැරීමේ සැලැස්ම වහා හෙළි කරන ලෙස අප රජයට අවධාරණය කර කියා සිටිනවා. ණය කපනවා නම් එය නැවත අයකර ගන්නා ආකාරය ආණ්ඩුව රටට කිව යුතුයි. රටේ ආර්ථිකය විනාශ කළ ආණ්ඩු ඒ බර ජනතාව මත පටවන්න උත්සාහ නොකළ යුතුයි. අපි ආණ්ඩුවට කියනවා ජනතාවගෙන් පළිගන්න හදන්න එපා කියලා.

ඇත්තටම ආණ්ඩුවේ මෙම ක්‍රියාකලාපයට එරෙහිව රටේ සියලු ජනතාව එක් කරගත් දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අප අනිවාර්යෙන් අවතීර්ණ වනවා. ආණ්ඩුව ගහගන්න එනවනම් අප ලෑස්තියි ගහගන්න. රාජ්‍ය, අර්ධ රාජ්‍ය, වතු ඇතුළු සියලු සේවකයන්ගේ ඒකාබද්ධ අරමුදල ආරක්ෂා කරන බවට අප සපථ කර කියා සිටිනවා.

ප්‍රශ්නය – ඔබට මැයි තුන්වෙනිදා මතකද?

පිළිතුර – ඔබ කියන්නේ රට වනසපු හොරු වළල්ල තොග පිටින් එළියට හෙළිදරව්ව කළ දිනය.

ප්‍රශ්නය – ඔව්. එදින තමයි. ප්‍රචාරණ වාසි ලබාගන්න එම කටයුතු කළා මිස හොරු ඇල්ලීමේ චේතනාවෙන් එය සිදු නොකළ බව ඔබ ඇතුළු පක්ෂයට චෝදනාවක් තිබෙනවා.

පිළිතුර – මහ දවාලේ කළ හොරකම් මංකොල්ලකෑම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන එක, පැමිණිලි කරන එක පමණයි ඇත්තටම අපට කරන්න පුළුවන්. ඒ දේ අපි කළා. නීතිය ක්‍රියාත්මක කිරීම රට පාලනය කරන අය කළ යුතු දෙයක්.

ප්‍රශ්නය – ඊට වඩා කරන්න දෙයක් ඇත්තෙම නැද්ද ?

පිළිතුර – ඊට වඩා දෙයක් කරන්න අපට නීතියෙන් ඉඩක් නැහැ. ඊට වඩා කරන්න පුළුවන් දේකට තියෙන්නේ හොරු අල්ලල ගස් බඳින එක තමයි. අපි රටේ පවතින නීතියට සාක්ෂි සහිතව හොරු සම්බන්ධයෙන් ලිපි ලේඛන ලබා දී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම නීතිය ක්‍රියාත්මක කරන අයට භාරයි. හැබැයි මේ කිසිම ආණ්ඩුවකට හොරු ඇල්ලීමේ අවංක චේතනාවක් නැහැ. ඒ නිසා තමයි අපි හොරු අල්ලන්න පුළුවන් පිරිසකට රට භාර දෙන්න කියලා කියන්නේ.

එදා අපි ඔය හෙළිදරව්ව කරන දවසේ සජීවීව විකාශය වුණා. එදා මේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, යෝෂිත රාජපක්ෂ, අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු කිහිපදෙනෙක්ම සඳහන් කළේ මේ සම්බන්ධයෙන් නඩු දානවා කියලයි. නමුත් මේ වෙනකන් ඊට එරෙහිව දාපු නඩුවක් නැහැ. ඇත්තටම ඔවුන්ට අපට එරෙහිව නඩු දාන්න බෑ. මොකද අපි එළි කළේ ඇත්ත. හොරු ඇල්ලීම සහ එළි කිරීම සම්බන්ධයෙන් අපට කළ හැකි සියලු දේ අපි කරල තිබෙන්නේ. ඇත්තටම නීතිය ක්‍රියාත්මක ආණ්ඩුවක් පැමිණි පසු ඔය කොයි මහත්තයටත් බලාගන්න පුළුවන් ජේවීපී වැඩ කරන්නේ කොහොමද කියල. මේ රටේ මෙතෙක් බිහිව තිබෙන්නේ හොරු රකින ආණ්ඩු මිස හොරු අල්ලන ආණ්ඩු නෙවෙයි.

ප්‍රශ්නය – ජනතා අරගලයේ ජයග්‍රහනයන්හි සමස්ත ඵලය දිනාගන්න ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ ගනිමින් සිටිනවා නේද ?

පිළිතුර – එහි ජවිපෙට දිනාගන්න පෞද්ගලික ඵලයක් නැහැ. අපේ අරමුණ රටේ සෑම ජනතාවකගේම සතුටයි. හැබැයි අද සතුටින් ඉන්නේ කවුද. රටේ සම්පත් මංකොල්ල කන රට වනසන ඉතා සුළු පිරිසක් ජනතා මුදල් මංකොල්ල කමින් සතුටින් සිටියදී අති බහුතර ජනතාවක් දුක් විඳිනවා. රට කාබාසිනියා කරන පිරිසකට නැවත රට ලබාදී වැඩක් තිබෙනවාද? රට හදන්න පුළුවන් හොරකම වංචාව දූෂණය නැති ඉහළ සිට පහළට ආදර්ශය ලබා දෙන පිරිසකට පමණයි. එම ආදර්ශය ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය භාවිතයෙන් ඔප්පු කර තිබෙනවා. අප වැඩපිළිවෙළක් සහිතව ජනතා ජයග්‍රහණය අවසන් ජයග්‍රහණය දක්වා ගෙන යෑම සඳහා සටන් කරන්න සූදානම්.

ප්‍රශ්නය – නමුත් ඇතැම් පිරිස් කරන චෝදනාවක් තමයි ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවකට වැඩ කරන්න දෙන්නෙ නැතැයි යන කාරණය. උද්ඝෝෂණ කරමින් වැඩ වර්ජන කරමින් ඔබ පක්ෂය සෑම ආණ්ඩුවකට බාධා කරන බව ඔවුන් චෝදනා කරනවා.

පිළිතුර – අප සියලු වැඩ වර්ජන උද්ඝෝෂණ සිදුකර තිබෙන්නේ අර්බුදය කලින් දකින නිසා මිස ආණ්ඩුවට අකුල් හෙළීමට නෙවෙයි.

ප්‍රශ්නය – එතකොට අර්බුදය කලින් දැක නැත්තේ ජනතාව ද ?

පිළිතුර – අපි එහෙම නොදැක්කා කියලා කියන්නේ නැහැ. මොකද පසුගිය පාලනය පලවා හරින්න අරගල කළේ ජනතාව. අපි කාලයක් තිස්සේ පාලකයන් රට ගෙන යන තත්ත්වය ගැන ජනතාවට කිව්වා. දැන් ජනතාව එය තේරුම් ගෙන තිබෙනවා.

ඔබ කිව්ව චෝදනා ඉදිරියටත් අපට එල්ල කිරීම දැඩි කරාවි. රනිල් රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව අයි එම් එෆ් යුගයක් බිහි කරමින් සිටිනවා. ඔවුන්ගේ උපදේශය රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කර ණය ප්‍රතිව්‍යුහගත කරණය කිරීම. එය ඔවුන්ට අවශ්‍ය පරිදි කිරීමට නම් අපට පහර දෙන්න වෙනවා. ඒ නිසා තව තවත් අපට ගහයි. නමුත් රාජ්‍ය සම්පත් රැක ගැනීමේ කර්තව්‍යය අනිවාර්යයෙන්ම අප ඉටු කරනවා.

ජවිපෙට චෝදනා කරන අයගෙන් අපි අහන්නේ ඩොලර් නැතිවුණේ අප නිසාද. ඉන්ධන විදුලිය ගෑස් නැතිවුණේ අපි නිසාද. ඒව නැතිවුණේ පසුගිය ආණ්ඩුව ඇතුළු සියලු ආණ්ඩු කළ ගොන් වැඩ නිසා මිස රාජ්‍ය සම්පත් රැකගැනීම වෙනුවෙන් අප සිදුකළ වැඩ වර්ජන නිසා නෙවෙයි. නව ලිබරල් ආර්ථික ක්‍රමයට රට ගොඩගන්න බැරි බව ඔවුන් ඔප්පු කර හමාරයි. එම අසාර්ථක ක්‍රමයට තවදුරටත් ආර්ථිකයට පැලැස්තර දමන්න බැහැ. අපට කුමනාකාරයේ චෝදනා කළත් අප ඉතිහාසය දැක වර්තමානය කලින් දැක කටයුතු කළ උදවියයි. මෙරට විශාලම වෘත්තීය සමිති ව්‍යාපාරය හදන්න අපි මැදිහත් වුණා. වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ඒකාබද්ධ ජනතා ව්‍යාපාරයක් ලෙස අප ගොඩ නැගුවා. දැන් අපි ජනතා සම්පත් පුද්ගලීකරණය කිරීමට එරෙහිව සටනක සිටිනවා.

ප්‍රශ්නය – නමුත් ශ්‍රී ලංකා ගුවන් සමාගම, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ඛනිජ තෙල් සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක්ම පුද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා යම් යම් අදහස් පළකර තිබෙනවා. එවන් තත්ත්වයක් තුළ රාජ්‍ය සම්පත් රැකගැනීම කෙසේ කළ හැකිද ?

පිළිතුර – කතාවක් තිබෙනවා කොක්කු කවද්ද මාළුන්ට ආදරේ කළේ කියලා. රනිල් වික්‍රමසිංහ ඒ වගේ තමයි. රනිල් වික්‍රමසිංහ කවදද ජාතික සම්පත් ආරක්ෂා කරන්න කතා කළේ.

ප්‍රශ්නය – දැන් ඔය කොකා කියලා කිව්වේ රනිල් වික්‍රමසිංහ මහත්මයාටද ?

පිළිතුර – කොකාටත් හපන් රනිල්. හැබැයි ඔහු කොකා ගේ කරේ කක්කුට්ටා එල්ලුණු කතාව දන්නේ නැහැ. මේ සැරේ ඔහු ඉගෙන ගන්න පාඩම එයයි.

සාකච්ඡා කළේ – සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment