හැටන් නැෂනල් බැංකුව (HNB PLC) කොවිඞ් වසංගතය හේතුවෙන් ඇති කරන ලද අස්ථාවර තත්ත්වයන් හමුවේ සිය ඔරොත්තු දීමේ හැකියාව අඛණ්ඩව පෙන්නුම් කරමින් පළමු අර්ධය සඳහා රුපියල් බිලියන 10.9ක බදු පෙර ලාභයක් (PBT) සහ රුපියල් බිලියන 9.1ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කිරීමට සමත් වී ඇත.

මේ අතර HNB සමූහයේ බදු පෙර ලාභය සහ බදු පසු ලාභය පිළිවෙළින් රුපියල් බිලියන 12ක් හා රුපියල් බිලියන 9.8ක් ලෙස වර්ධනය වී තිබීම කැපී පෙනේ.
බැංකුවේ ණය කළඹ 2021 ජුනි මාසය දක්වා ගත වූ මාස 12 පුරාවට 8.6%ක වර්ධනයක් වාර්තා කළේය. එසේ තිබියදීත්, එම කාලය තුළ AWPLR අගය පදනම් ලක්ෂ 280කට වඩා අඩු වීම හේතුවෙන් පළමු අර්ධය සඳහා පොලී ආදායම පසුගිය වසරට සාපේක්ෂව 10.6%කින් අඩු වී රුපියල් බිලියන 48.1ක් බවට පත් විය.

ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් පොලිය (CASA) අතර වෙනස මනාව කළමනාකරණය කර ගැනීම නිසා 2020 වසරට සාපේක්ෂව ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් පොලී අනුපාතයෙහි පදනම් අගය 27.1%ක වර්ධනයට ඉවහල් වී ඇති අතර එය 2021 ජුනි අවසන් වන විට රුපියල් බිලියන 405.5ක් දක්වා වැඩි වී ඇත. අවම තැන්පතු අනුපාත හා මෙම වර්ධනය සමඟින් පසුගිය වසරට සාපේක්ෂව පොලී වියදම් ඒකක 20.4%කින් අඩු වී රුපියල් බිලියන 25ක් බවට පත්ව ඇත. ඒ අනුව 2021 පළමු අර්ධය සඳහා ශුද්ධ පොලී ආදායම (NII) පසුගිය වසරට සාපේක්ෂව 3.2%කින් වර්ධනය වී රුපියල් බිලියන 23.2ක් විය.