IMF කොන්දේසි ඉටුකළත් අපිට ඇති වාසියක් නෑ! – සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් පෙරේරා

15

අකමැත්තෙන් හරි අපට සිද්ධ වෙනවා රාජ්‍ය සේවයට සේවකයන් අලුතෙන් බඳවා ගැනීම නතර කරන්න

2023 වසර සඳහා වූ අයවැය සම්බන්ධයෙන් නොයෙක් අදහස් හා චෝදනා පවතින මොහොතක ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ මතය දැන ගැනීම සඳහා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් පෙරේරා මහතා සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක් කර ගත්තෙමු. එහිදී ආර්ථික අර්බුදයට විපක්ෂය සතු විසඳුම් කෙසේද යන්න ඇතුළු කරුණු කාරණා ගණනාවක් සම්බන්ධයෙන් විමසා සිටියෙමු. පහතින් පෙළ ගැසෙන්නේ සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් පෙරේරා මහතා සමග ‘දිවයින ඉරිදා සංග්‍රහය’ කළ සම්මුඛ සාකච්ඡාවයි.

ප්‍රශ්නය – මෙවර අයවැය සාමාන්‍ය ජනතාවට මහා බදු බරක් පැටවූ අයවැයක් බව ජනතාවගේ අදහසයි. බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක මෙම බදු බර ඔවුන්ට දරාගත නොහැකි යැයි යන මැසිවිල්ල ජනතාවගේ පැත්තෙන් නිතැතින්ම එනවා. විපක්ෂය ලෙස බදු ඉහළ නැංවීම සම්බන්ධයෙන් ඔබතුමන්ලගේ අදහස කුමක්ද?

පිළිතුර – බදු ප්‍රතිපත්තිය ගැන අපි දිගින් දිගටම කතා කළා. මේ රජය බලයට පත් වුණාම මුලින්ම කළේ තමන්ගේ ගජ මිතුරන්ට සහන ලබාදෙන්න විශාල බදු කප්පාදුවකට ලක් කිරීම. ඒ නිසා රජයට ලොකු ආදායමක් අහිමිවුණා. කොහොම වුණත් ඒක අවබෝධ කරගෙන මේ වෙද්දි යම් යම් බදු සංශෝධන ගෙනත් තියෙනව. අපේ යහපාලන ආණ්ඩුව කාලයෙ බදු ප්‍රතිපත්තියෙදි විශාල වශයෙන් ඉලක්ක කළේ ලොකු ලාභ ලබන සමාගම්. විශාල ආදායම් ලබන පුද්ගලයන්ව. ඒත් අද වෙද්දි ඒක සාමාන්‍ය ජනතාවටත් දැනෙන විදිහට තමයි කරල තියෙන්නෙ. උදාහරණයකට රජයේ සේවකයන්, අනෙක් සාමාන්‍ය ව්‍යාපාරිකයන්ගෙන් ආදී සියලු දෙනාගෙන් බදු අය කිරීමේ ක්‍රියාමාර්ගයක් තමයි අනුගමනය කරල තියෙන්නෙ. මේ තියෙන ආර්ථික ප්‍රශ්න, උද්ධමනය එක්ක මේ බදු අය කිරීම කිසිසේත් සාධාරණ නෑ,

ප්‍රශ්නය – මේ අර්බුදකාරී මොහොතේ සමගි ජනබලවේග ආණ්ඩුවක් පැවතුණේ නම් රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගය කුමක්ද?

පිළිතුර – එහෙම නම් අපි යහපාලන ආණ්ඩු කාලයෙ අනුගමනය කළ බදු ප්‍රතිපත්තියෙන් කිසිසේත් බැහැරවෙන්නෙ නෑ. එතනින් රුපියල් බිලියන 600ක, 700ක ආදායම් ඉලක්කයක් කරා යන්න තිබුණ. ඒ දේශීය ආදායම් සම්බන්ධයෙන්. අද ලොකුම ප්‍රශ්නය ඩොලර් අර්බුදයනෙ. විදෙස් රටවල සේවය කරන අයගෙන් අති විශාල ප්‍රේෂණ සංඛ්‍යාවක් අපට ලැබුණ. ඒක අද වෙද්දි අඩකඩ වඩා අඩුවෙලා. එතකොට මේ අඩුවීම වෙන්නෙ ආණ්ඩුවෙ තියෙන වැරැදි ප්‍රතිපත්ති හා තීන්දු නිසා. කොරෝනා කාලයෙදි අපි දැක්ක මැදපෙරදිග හිටිය අයට සලකපු ආකාරය. ඔවුන්ට මේ රටට එන්න දුන්නෙ නෑ. ඒ තත්ත්වය නිසා ඒ මුදල අද වෙද්දි අහිමිවෙලා තියෙනව. මේ රජය බලයට පත්වෙන්න පෙර අංක එකේ ආදායම් මාර්ගය වෙලා තිබුණේ ඒක. දැන් අපේ විදෙස් ශ්‍රමිකයන්ගේ තියෙන ආකල්පය තමයි ලංකාවට මුදල් එවල වැඩක් නෑ කියන එක.

ප්‍රශ්නය- ඔබතුමා කියන්නෙ සජබ ආණ්ඩුවකට ඒ නැතිවුණු විශ්වාසය ලැබෙයි කියලද?

පිළිතුර – ඔව්… අපි ඒ අයට ලොකු විශ්වාසයක් ඇතිකරනව. අපි ගාව ඉන්නව රටට මේ මොහොතෙ ගැළපෙන ආර්ථික ප්‍රතිපත්තිය දිගටම අරගෙන යන්න පුළුවන් පිරිසක්. ඒ අය තුළින් ලෝකය පුරා විසිරිලා ඉන්න අපේ ලාංකිකයන්ට අපේ රට ගැන නව බලාපොරොත්තුවක්, විශ්වාසයක් ඇතිකරනව. අනෙක අද විදේශවලින් එන මුදල් එන්නෙ හොර පාරේ. ඒක වහගන්න මේ ආණ්ඩුවට තාමත් බැරිවෙලා තියෙනව. අනෙක සංචාරක ව්‍යාපාරය. රට ගැන විශ්වාසය වැඩිවෙලා රට ස්ථාවර වෙද්දි සංචාරකයන් විශාල වශයෙන් අපේ රටට එන්න පටන්ගන්නව.

අපේ හොඳ ආදායම් මාර්ගයක් තමයි වැවිලි ක්ෂේත්‍රය. හැබැයි මේ ආණ්ඩුවේ වැරැදි ප්‍රතිපත්ති නිසා ඒ අංශය කඩා වැටුණා. රසායනික පොහොර තහනම නිසා තේ කර්මාන්තයට විශාල පහරක් එල්ල වුණා. ඒ නිසා ඒවායෙන් එන ආදායම අඩුවෙලා. අපි බලන්නෙ ඒව නැවත යථා තත්ත්වයට පත්කරන්න.

ප්‍රශ්නය – ආර්ථිකය බිඳ වැටී ඇති රටක් ගොඩනැඟීමේ දී යම් යම් බරපතළ තීන්දු තීරණ ගන්න සිදුවීම සාමාන්‍ය කරුණක් වෙන්න පුළුවන්. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සහ කොන්දේසි මුළුමුනින්ම ඉටු කිරීමට ගැටලුකාරී බව ජනතාවගේ අදහසයි. ඇත්තටම මේ අයවැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි කොන්දේසිවලට යට වුණු අයවැයක් ද ?

පිළිතුර – අයිඑම්එෆ් එකෙන් ආධාර උපකාර ඉල්ලද්දි අනිවාර්යයෙන්ම ඔවුන් කොන්දේසි දානවා. සහනාධාර දිදී හැමදාම යන්න බැහැ. ඒ වගේම අතිවිශාල රාජ්‍ය සේවකයන් ප්‍රමාණයක් නඩත්තු කිරීම රටකට ඔරොත්තු දෙන්නෙ නෑ. රාජ්‍ය ආදායමෙන් සියයට හැත්තෑවක් රාජ්‍ය සේවය නඩත්තු කරන්න වැයවෙනව. ඒ වගේ රටකට අයිඑම්එෆ් නෙමේ කොයිම රටක්වත් ආධාර දෙන්න කැමැති නෑ.

ඒ කොහොම වුණත් අයිඑම්එෆ් හැම කොන්දේසියක්ම අපි ඉටු කළත් අපිට වාසියක් ලැබෙයිද කියන ගැටලුව මට තියෙනව. අයිඑම්එෆ් ගිහින් අපේ ජනතාවට තව බදුබරක් පටවල, ඒ වගේම අනෙකුත් බදු ප්‍රතිසංස්කරණවලට ගියා වුණත් අපිට ඔවුන්ගෙන් ලැබෙන්නෙ ඩොලර් බිලියන 3ක් වගේ ප්‍රමාණයක්. ඒකෙන් මේ තියෙන ප්‍රශ්නවලට විසඳුම් හොයන්න පුළුවන්ද කියන එක ලොකු ගැටලුවක්. මට නම් පෙන්නෙ ආණ්ඩුව අයිඑම්එෆ් එක පෙන්න පෙන්නා ජනතාවට බලාපොරොත්තු දෙමින් ඉදිරියට යන ගමනක්.

ප්‍රශ්නය – ආණ්ඩුව මේ අවස්ථාවේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට ලොකු උත්සාහයක නියැළිලා සිටිනවා. එතනදි වැඩිම අවදානයක් තියෙන්නෙ ලාභ ලබන රාජ්‍ය ව්‍යවසාය ගැන. ඒ කියන්නෙ ටෙලිකොම්. වෝටර්ස් ඒජ්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වගේ ආයතන. මේ තත්ත්වය ඔබතුමා දකින්නෙ කොහොමද? ප්‍රතිව්‍යුහගත කිරීම මුවාවෙන් ලාභ ලබන රාජ්‍ය ආයතන විකුණා දැමීමට කටයුතු කරන්නේ නම් ඒ සඳහා විපක්ෂය ලෙස ඔබලාගේ එකඟතාවය ලැබෙනවා ද ?

පිළිතුර – නෑ… අපේ ප්‍රතිපත්තිය තමයි ලාභ ලබන රාජ්‍ය ආයතන කිසිවක් විකුණන්නෙ නෑ කියන එක. රජය මේ කරන්න හදන වැඩේ ගැන අපේ විරෝධය දැනටමත් දක්වල තියෙනව. පාර්ලිමේන්තුවෙ අනෙකුත් කණ්ඩායම් එක්ක එකතුවෙලා මේවට විරුද්ධව කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනව. අපිට තේරුම් ගන්න බැරි ඇයි ලැයිස්තුගත කරල තියෙන පාඩු ලබන ආයතන පෞද්ගලික ව්‍යවසායකයන් සමග එක්වෙලා ප්‍රතිව්‍යුහගත කරන්නෙ නැත්තෙ කියල. එහෙම කරල සාර්ථක වුණ එකක් තමයි ශ්‍රී ලංකා ටෙලිකොම් එක. ඒත් අපේ ජනාධිපතිවරු ගත්ත උද්ධච්ඡ තීන්දු නිසා තමයි ජනතාවට කෝටි මිලියන ගණන්වලින් වන්දි ගෙවන්න වෙලා තියෙන්නෙ.

ප්‍රශ්නය – රාජ්‍ය ආයතන පාඩුලබන්න පටන්ගත්තෙ මේ ආණ්ඩුව යටතේ නෙමෙයි. ඒක කාලයක් තිස්සෙ වුණු දෙයක්. දැන් ඒක දරාගන්න බැරි තත්ත්වයට ඇවිත්. ඔබතුමන්ල ආණ්ඩු කළ කාලයෙත් මේ රාජ්‍ය ආයතන පාඩු ලැබුවා. මේ ආණ්ඩුවට විතරක් සියලු වැරැදි පටවල අතපිහදාගන්න පුළුවන්ද?

පිළිතුර – මම ඒක පිළිගන්නව. බලය ලබාගෙන ආණ්ඩු කළ පක්ෂයක් හැටියට යම් කොටසක වගකීම අපටත් තියෙනව. හැබැයි එජාප ආණ්ඩු කාලයෙ අපි රාජ්‍ය සේවයට හිතුමතේ සේවකයන් බඳවාගත්තෙ නෑ. ඒ කාලයෙ අපිට තිබුණු ලොකුම චෝදනාව තමයි රජයේ රැකියා දුන්නෙ නෑ කියන එක. හැබැයි අපි එහෙම කළේ අනාගතය ගැන හිතල. ඒත් අද රාජ්‍ය ආයතනවලට ලොකුම බරක් වෙලා තියෙන්නෙ අතිරිත්ත සේවකයන්. පසුගිය කාල සීමාවෙ විශාල වශයෙන් රාජ්‍ය සේවයට බඳව ගත්ත. ඇමැතිවරු උදම් ඇනුව අපි රාජ්‍ය සේවය ශක්තිමත් කළා කියල. ඔවුන් කිව්ව ලක්ෂ 15ක් දක්වා රාජ්‍ය සේවය ගෙනියන්න ඕන කියල. ඒ වගේ මෝඩ උදම් අනපු ඇමැතිවරු තමයි ඒ කාලයෙ හිටියෙ. ඔවුන්ට තේරුණේ නෑ මේක කවදා හෝ දවසක පුපුරා යනව කියල. මේ තමයි මූලික ප්‍රශ්න වෙලා තියෙන්නෙ. ඒ නිසා මේ ගැටලුවේ සියයට හැත්තෑවක, අසූවක බර වර්තමාන පොදුජන පෙරමුණ අරගන්න ඕන. මෙච්චර වැටිල තියෙන වෙලාවක සාමාන්‍ය පෙළ සමත් ලක්ෂයකට රැකියා දෙන්න කටයුතු කළා. උපාධිධාරීන් 60000කට එකවරම රැකියා දුන්න. අද රජයේ ආයතනවල සේවකයො පිරිල. ඒ රැකියා ජාතික ආර්ථිකයකට කිසිම දායකත්වයක් දරන්නෙ නැති රැකියා.

ප්‍රශ්නය – ඔබතුමන්ලගෙ ආණ්ඩුවක් යටතෙ මේ අතිරිත්ත රාජ්‍ය සේවයට මොකද කරන්න බලාපොරොත්තු වෙන්නේ…?

පිළිතුර – අකමැත්තෙන් හරි අපට සිද්දවෙනව රාජ්‍ය සේවයට සේවකයන් අලුතෙන් බඳවා ගැනීම නතර කරන්න. මේ ආණ්ඩුව යම් පියවරක් අරන් තියෙනව රාජ්‍ය සේවයෙන් අවුරුදු දෙකකට තුනකට නිවාඩු දීල විදෙස්ගත වීමට අවස්ථාව ලබාදීමට. ඒ වගේ අවස්ථා තවත් ප්‍රචලිත කිරීමට අපි කටයුතු කරනව. රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් නතර කළාම අලුත් රැකියා අපේක්ෂකයන්ට මොනවද කරන්නෙ කියලත් ඔබ අහයි. ඒකට විසඳුම තමයි විදෙස් රැකියා. අද වෙද්දි විදෙස් රටවලින් විශාල ඉල්ලුමක් තියෙනව රැකියාවලට. ඒවට සුදුසුකම් තියෙන අයව අපට යවාගන්න හැකියාවක් නෑ. ඒ නිසා අපි කරන්නෙ විදෙස් රැකියාවලට සරිලන විදිහට අපේ රටේ ශ්‍රමිකයන් ඒවට පුහුණුකරල විදෙස් රැකියා ඉල්ලුම අපෙන් සපුරන එක.

ප්‍රශ්නය – දේශපාලනයෙ ප්‍රධාන අරමුණ බලය ලබාගැනීම. වත්මන් ජනාධිපතිවරයා වන්නේ ඔබතුමන්ලාගේ හිටපු නායකයායි. විපක්ෂයෙ බලය තියෙන්නෙ ඔබතුමන්ල අතේ. ඉතින් දෙගොල්ලො එකතුවෙලා බලය ලබාගෙන රට කරන්න අදහසක් නැද්ද?

පිළිතුර – රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඒකට කැමැති වෙයි කියල අපිට හිතන්න බෑ. විවිධ කොටස් ඒ ගැන සාකච්ඡා කරනව. නමුත් ජනාධිපතිතුමා සම්පූර්ණයෙන්ම යැපෙන්නෙ පොදුජන පෙරමුණට ඉන්න මන්ත්‍රීවරු 134 දෙනාගෙන්. යම් හෙයකින් එතුමා අපි එක්ක එකතුවෙන්න හදනව කියල ආරංචි වුණොත් එහෙම එතුමාගෙ පැවැත්මට ලොකු තර්ජනයක් වෙනව. ඒ නිසා මේ වෙලාවෙ කවුරු කතා කළත් ඒක වෙයි කියල හිතන්න බෑ. එහෙම කතා කෙරුණත් සැබෑ එජාපය තියෙන්නෙ සමගිජන බලවේගය තුළ. ඒක අවබෝධ කරගන්න ඕන එජාපයේ ඉන්න සමහර අන්තවාදී නායකයො. ඒ අය කියන්න ඕන සැබෑ නායකත්වය තියෙන්නෙ කොතනද කියන එක ගැන ඔවුන්ගේ ස්ථාවරය. ඒ අනුව තමයි එජාප – සජබ එකතුවීමකට අවශ්‍ය සංවාදයට පාර කැපෙන්නෙ.

සාකච්ඡා කළේ –
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment