IMF අභියෝගයේ අවසන් අදියර ජයගැනීම

229

දූෂණ වංචා ගැන ආණ්ඩුව නිහඬයි
බදු ප්‍රතිපත්තිය ප්‍රශ්න සහගතයි
IMF ලැබුණත් මීට පසු කිසිවෙකුගෙන් අපට ණය නොලැබේද?

මාස හයකට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළැඹුණද ණය ගිවිසුම අනුමත වන තෙක් ශ්‍රී ලංකාව තවමත් බලා සිටී. මෙම ප්‍රමාදයට ප්‍රධාන හේතුව වන්නේ ශ්‍රී ලංකාවට ලබාදී ඇති චීන ණය ප්‍රතිව්‍යුහගත සහාය පිළිබඳ විධිමත් සහතිකයක් නොමැති වීමයි. මෙය නොමැතිව ණය අනුමත කිරීමට IMF පසුබට වේ.

චීනය ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය හිමියා වන අතර, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එහි සහාය නොලැබීම කනස්සල්ලට හේතු වී තිබේ. කෙසේ වුවත් මේ වන විට චීනය වසර දෙකක කාලයක් සඳහා පමණක් ඩොලර් බිලියන 7කට වැඩි මුළු ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 2කට අදාළ පොලිය පමණක් කපා හැරීමට නාමිකව එකඟ වී ඇත.

IMF අභියෝගයේ අවසන් අදියර ජයගැනීම
මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් දසනායක

මෙය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නයන්ට සහාය දැක්වීමට චීනයේ උනන්දුව පිළිබඳ කනස්සල්ල මතු කර ඇත. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට සහාය දැක්වීමට කැපවී සිටින බව ප්‍රකාශ කළ චීනය, විවිධ ආකාරයෙන් ආධාර ලබාදී තිබේ. තවදුරටත් ණය සහන සහ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකා රජය චීනය සමඟ සාකච්ඡා කරමින් සිටින නමුත් ප්‍රගතිය මන්දගාමී වේ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 90 ක ප්‍රදාන ආධාරයක් ලබාදෙන බවට චීනය පසුගියදා ප්‍රකාශ කිරීම ධනාත්මක වර්ධනයක් ලෙස සැලකේ.

චීනයේ ණය දීමේ පිළිවෙත බොහෝ රටවල් ණය උගුලකට ගෙන යෑමට හේතු වී ඇති අතර, එම රටවල් ණය ආපසු ගෙවීමට නොහැකිව චීනය මත යැපීමට සිදුවී ඇත. මෙයට ලංකාව හැරුණු කොට ආසන්නතම උදාහරණයක් ලෙස චීනය – ආසියාව, යුරෝපය, අප්‍රිකාව සහ ඉන් ඔබ්බට සම්බන්ධ කිරීම අරමුණු කරගත් දැවැන්ත යටිතල පහසුකම් ව්‍යාපෘතියක් වන Belt and Road Initiative (BRI) ව්‍යාපෘති සඳහා මූල්‍යමය වශයෙන් චීනයෙන් ණය ලබා ගත් බොහෝ රටවල් දැන් ඔවුන්ගේ ණය ආපසු ගෙවීමට නොහැකිව වෙහෙසෙති. මෙම රටවල්වලින් සමහරක් පකිස්තානය, වෙනිසියුලාව සහ සැම්බියාව ඇතුළු රටවල් වේ. මෙම රටවලින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉල්ලීම් තිබියදීත්, මෙම ණයවල කොන්දේසි නැවත සාකච්ඡා කිරීමට චීනය මැලි වී ඇති අතර එය වර්ධනය වන ණය අර්බුදයකට එම රටවල් තල්ලු කිරීමක් ලෙස විද්වතුන් මත ඉදිරිපත් කර ඇත. නිදසුනක් වශයෙන්, පකිස්ථානය සම්බන්ධයෙන් ගත් කල, BRI යටතේ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ඩොලර් බිලියන 22 ක් පමණ චීනයට ණය වී ඇත. කෙසේ වෙතත්, අරගලකාරී ආර්ථිකයක් සහ විදේශ සංචිත අඩුවීමත් සමඟ, පාකිස්තානයට මෙම ණය ආපසු ගෙවීම අභියෝගාත්මක බව දක්වා ඇත. ඒ හා සමානව, වෙනිසියුලාව චීනයට ඩොලර් බිලියන 20 කට වඩා ණය වී ඇති අතර, සැම්බියාවේ චීනයට ඇති ණය ඩොලර් බිලියන 12 ක් පමණ වනු ඇතැයි ගණන් බලා ඇත. මෙම රටවල් ණය සහන හෝ ප්‍රතිව්‍යුහගත කිරීම් සඳහා ඉල්ලීම් කළද, සැලකිය යුතු සහනයක් ලබාදීමට චීනය පසුබට වී ඇත.

චීනය සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අකැමැති වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවට ණයක් අනුමත කිරීමට සලකා බලමින් සිටින බවට විවිධ විදෙස් මාධ්‍ය මූලාශ්‍රවල පසුගිය දිනවල වාර්තා පළවන ලදී. ආර්ථික අභියෝග සමඟ පොරබදමින් සිටින ශ්‍රී ලංකාවට මෙම පුවත බලාපොරොත්තුවක් ගෙන දී ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් මහතා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල සම්බන්ධයෙන් පසුගියදා දකුණු ආසියානු මාධ්‍යවේදීන් සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති පුහුණු වැඩසටහනකදී කරුණු පැහැදිලි කර ඇත. ශ්‍රීනිවාසන් මහතා විසින් IMF ආයතනය තීරණයක් ගැනීමට පෙර චීනයෙන් සහතිකයක් ලබා ගැනීමේ වැදගත්කම අවධාරණය කර තිබේ. ශ්‍රීනිවාසන් මහතා පවසන පරිදි, චීනයෙන් අවශ්‍ය සහතිකය ප්‍රථමයෙන් ලබා නොගෙන, ශ්‍රී ලංකාවේ විදේශ අරමුදල් පහසුකම (EFF) සඳහා අනුමැතිය ලබා දීම පිළිබඳව IMF විධායක මණ්ඩලය තවමත් තීරණය කර නැති බවත් චීනයේ ස්ථාවරය බලා සිටීම ඉදිරි හොඳම මග බව ඔහු අවධාරණය කළේය. එමෙන්ම අදාළ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිල ස්ථාවරය නියෝජනය නොකරන බව ඔහු පැහැදිලි කරන ලදී.

චීනයේ අනුමැතියකින් තොරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණයක් අනුමත කළ හැකිද යන්න පිළිබඳව පසුගිය දිනවල කතාබහට ලක්වන ලද මාතෘකාවක් වේ. යම් රටක් නිසි ප්‍රතිපත්ති අනුගමනය කරමින් ණය හිමියන් සමඟ ගිවිසුමකට එළඹීමට උත්සාහ දරන්නේ නම්, රටකට හදිසි මූල්‍ය ආධාර සැපයීමට ඉඩ සලසන ප්‍රතිපත්තියක් IMF සතුව ඇත. කෙසේ වෙතත්, IMF හට මූල්‍ය පහසුකම් සැපයිය හැක්කේ අදාළ රටට ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා මුදල් අත්‍යවශ්‍ය නම් පමණක් වන අතර, අදාළ රට IMF වැඩසටහනට අනුකූල දායකත්වයක් මත ණයහිමියා සමඟ ගිවිසුමකට එළඹීමට උත්සාහ කළ යුතු වේ.

ණය ලබා දීමේදී IMF මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් වන්නේ අදාළ රටේ අනෙකුත් ණය හිමියන්ගේ කැමැත්ත ලබා ගැනීමයි. මෙම ගැටලුව ජයගැනීම සඳහා, IMF විසින් යම් යම් තත්ත්වයන් යටතේ ණය හිමියන්ගේ අනුමැතියකින් තොරව රටවලට ණය ලබා දීමට ඉඩ සලසන ප්‍රතිපත්තියක් සකස් කර ඇත. මෙම ප්‍රතිපත්තිය “නිල හිඟ ණය දීමේ ප්‍රතිපත්තිය” (official arrears lending policy) ලෙස හැඳින්වෙන අතර හදිසි මූල්‍ය ආධාර අවශ්‍ය විට සහ රට නිසි ප්‍රතිපත්ති අනුගමනය කරමින්, ණය හිමියන් සමඟ ගිවිසුමකට එළඹීමට උත්සාහ කරන විට මෙම ණය දීමේ ක්‍රමය භාවිත වේ. මෙම ප්‍රතිපත්තිය ණය හිමියන්ගේ අනුමැතියකින් තොරව රටවලට මූල්‍ය ආධාර සැපයීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාන්ත්‍රණයක් සපයන අතර, නමුත් එය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගැටලු සඳහා කෝකටත් තෛලයක් (Universal Solution) නොවේ.

මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් දසනායක මහතා උද්ගතව ඇති මෙම තත්ත්වය පෙන්වා දෙන්නේ මෙසේය. “පෙබරවාරි 15 වැනිදා වනවිට IMF නිර්දේශ සියල්ලම වගේ ඉෂ්ට කරන්න රජය කටයුතු කරලා තියෙනවා. ඒ උණත් චීනය තමන්ගේ ණය සම්බන්ධයෙන් ලබාදීලා තියෙන සහතිකය ප්‍රමාණවත් නැති බව තමයි IMF එක ප්‍රකාශ කරලා තියෙන්නේ. චීනය ප්‍රමාණවත් සහතිකයක් ලබා නොදෙන නිසා ලංකාවට සහනයක් ලබා නොදී ඉන්නවද කියන එක IMF එකට සලකා බලන්න සිද්ධ වෙනවා. එහෙම නොදී හිටියොත්, ලංකාව වගේම මූල්‍ය අර්බුදවලට ගමන් කරමින් තියෙන අනෙක් රටවල් ගැනත් IMF එකට ගන්න වෙන්නේ එවැනිම තීරණයක්. කොහොමහරි, අවසානයේ IMF එක තව තව කොන්දේසි යටතේ හෝ ශ්‍රී ලංකාවට ණය අනුමත කිරීම මාර්තු, අප්‍රේල් දෙයි කියල හිතන්න පුළුවන්. බැරිවෙලාවත් චීනය නිසා IMF එක ණය දීම ප්‍රතික්ෂේප කළොත් ලෝකය IMF එක පිහිටුවීමේ අරමුණු ගැන ප්‍රශ්න කරන්නට ගනීවි. කොහොමහරි මේ සැරේ IMF ණය ලැබුනත් කිසිම පුද්ගලයෙක් හෝ සංවිධානයක් අපට නැවත ණයක් දෙයි කියලා හිතන්න බැහැ.

Air Lanka” CEPTCO” CEB” Railwaysහි සහ තවත් බොහෝ පාඩු ලබන ආයතන තවමත් කිසිදු ප්‍රතිව්‍යුහගත කිරීමකින් තොරව ක්‍රියාත්මක වෙනවා, ඒ වගේම සිදුවෙලා තියන බව කියන මහාපරිමාණ දූෂණ වංචා සම්බන්ධයෙන් පියවරක් ගන්න බවක් පේන්න නෑ, බදු ප්‍රතිපත්තිය ප්‍රශ්න සහගතයි, සහන දීම තවත් විධිමත් වෙන්න ඕන. විදෙස් ණය ලබාගන්නවාට වඩා රට ඇතුළෙන්ම සංචිත ගොඩනගාගන්න පුළුවන් ක්‍රම ඕනෑතරම් තියෙනවා. උදාහරණයක් විදියට මහජනතාව සතු රන්, මැණික් සහ වෙනත් වත්කම් සන්තකයේ තබාගැනීම පෙන්වාදෙන්න පුළුවන්, මේ වගේ වෙලාවක රටේ හොඳ නම ගොඩනගා ගන්නව වගේම රට කෙරෙහි ඇති දේශීය සහ විදේශීය විශ්වාසය දිනාගන්න එක අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. වැඩකට නැති ව්‍යාපෘතිවලට සහ දූෂණයට මුදල් නාස්ති කිරීමේ පැරණි ක්‍රමය නැවත කිසිදා සිදු නොවන බවට ණය දෙන ජනතාව තුළ රජය විසින් විශ්වාසයක් ඇති කළ යුතුයි.”

ආචාර්ය ඩබ්ලිව්. කේ. කොළඹගේ
www.wkcolombage.com

advertistmentadvertistment
advertistmentadvertistment