IMF කියන පෞද්ගලිකරණය වෙනුවට සහයෝගිතා ආර්ථික ක්‍රමයක් අවශ්‍යයි

249
  • මහාචාර්ය තිස්ස විතාරණ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කරන පෞද්ගලිකරණ ප්‍රතිපත්තිය වෙනුවට සහයෝගිතා ආර්ථික ක්‍රමය පිළිබඳ රජය අවධානය යොමුකළ යුතු යැයි ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතරණ මහතා ‘දිවයින’ ට පැවසීය.

දැනට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය මුදලක් ලබාදීමට එකඟවී ඇතත් ඒ සඳහා ප්‍රධාන කොන්දේසියක් ලෙස ඉදිරිපත් කර ඇති විවිධ ආයතන පෞද්ගලිකරණය කිරීමේ යෝජනාවට ලංකා සම සමාජ පක්ෂය විරෝධය පළ කරනවා. දැනටමත් යුරෝපීය රටවල් බොහොමයක් මෙම පෞද්ගලීකරණ වැඩපිළිවෙළින් ඉවත්වී ඒ වෙනුවට සහයෝගිතා ආර්ථිකය අනුගමනය කරමින් සිටිනවා. ඒ ක්‍රමය තුළ ආයතනවල සේවකයන්ට තමයි ඒ ඒ ආයතනවල අයිතිය තිබෙන්නේ. ඒ නිසා සේවක ඵලදායිතාව ඉහළ යෑම තුළින් ඒ ඒ ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ යනවා. අපටත් ඒ ක්‍රමය යොදාගත හැකියි.

ඒ වගේම ජීවන වියදම පහළ දැමීම සඳහා රජය අනුගමනය කරන ක්‍රමවේදය වැරදියි. මිල පාලනය රජයේ ප්‍රතිපත්තිය නොවන බව මීට පෙර රජය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම නිසා කූට ව්‍යාපාරිකයන් භාණ්ඩවල මිල තීරණය කිරීමේ අයිතිය ඔවුන් සතුකරගෙන තිබෙනවා. මේ ක්‍රමය නැතිකිරීමට නම් සමුපකාර ක්‍රමය වහාම යළි ශක්තිමත් කළ යුතුයි. සෘජුව නිෂ්පාදකයා හා සමුපකාරය ඒකාබද්ධ වී පාරිභෝගිකයාට සහනදායි මිලට භාණ්ඩ ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතුයි.

රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමේ ක්‍රියාමාර්ග රජය වහා අනුගමනය කළ යුතුයි. විශේෂයෙන්ම බදු ගෙවීම පැහැර හැර සිටින මහා පරිමාණ ව්‍යාපාරවලින් බදු අයකර ගැනීමේ ක්‍රියාමාර්ග කඩිනමින් අනුගමනය කළ යුතුව තිබෙනවා යැයිද තිස්ස විතාරණ මහතා ඊයේ (14 දා) ‘දිවයින’ ට කීවේය.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment