IMF ගියොත් ආණ්ඩුවෙන් යන බවට වාසුගෙන් තර්ජනයක්…

352

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ 2022 වසර වෙනුවෙන් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වූයේ පසුගිය 10 වන සිකුරාදා ය. අයවැය අවසන් වීමෙන් පසු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් සියලූම මන්ත‍්‍රීවරුන්ට ලොකු විවේකයක් ලැබිණි. මෙවර අය වැය විවාදය ඉතා සංවාදාත්මක සංකීර්ණ එකක් විය. රටේ ඔත්පල වූ ආර්ථිකය යළි නඟා සිටුවීමට කෙටි කාලීන හා දීර්ඝ කාලීන විසඳුම් රැසක් ගෙනඑමින් ග‍්‍රාමීය ආර්ථිකය දියුණු කරන්නට හා එමඟින් රටේ ක්ෂුද්‍ර මූල්‍ය නිපැයුම් ව්‍යාපෘති ප‍්‍රවර්ධනය කරන්නට අලූත් යෝජනා රැසක් අයවැය තුළ වී ය. මේ හේතුවෙන් ආණ්ඩු පක්ෂය සිය සෑම මන්ත‍්‍රීවරයෙකුටම අයවැය කාල පරාසය තුළ පාර්ලිමේන්තුවට සහභාගිවීම අනිවාර්ය කර තිබිණි.

විපක්ෂයත් සිය උපරිම බලය යොදා තිබුණේ නිරතුරුවම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ බලය අය-වැය විවාදයේ දී ප‍්‍රයෝජනයට ගැනීමට ය. මේ නිසා විපක්ෂයට ද අයවැය කාලය තුළ පාර්ලිමේන්තු සහභාගි වීම අනිවාර්ය කර තිබිණි. අය වැය අවසන් වීමත් සමඟම මෙතෙක් දිනක් කොළඹ නතර වී සිටි ඈත බැහැර පළාත්වල මන්ත‍්‍රීවරු සිය ගම් දනව් කරා පිටත්ව යන්නට වූයේ අයවැය සම්මත වීමෙන් දින කිහිපයකට පසු 2021 වසරේ පාර්ලිමේන්තුවේ සැසිවාරයද අවසන් වීමත් සමඟයි.

අයවැය සම්මත වීමෙන් පසු සියල්ල සම්පූර්ණ වූයේ නැත. ආණ්ඩුවට කෙළවරක් නැති ප‍්‍රශ්න එකක් පසුපස එකක් පැමිණෙමින් වද දෙන්නට වූහ. ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පසු කරන ලද සියලූ කටයුතු කුමක්දෝ වරදකින් අසාර්ථක වී ආපස්සට හැරී ගියේය.

අරමුණ කොතරම් හොඳ වුවත් පටන් ගත් වේලාව ඒ සඳහා නිසි වේලාව නොවූ බැවින් රජයේ කාබනික ව්‍යාපෘතිය මුළුමනින්ම අසාර්ථක වී ගියේ ඒ සඳහා වෙහෙස මහන්සි වූ මැති ඇමැතිවරු ද ආයතන ද ව්‍යාපෘතිද සියල්ල අසාර්ථක කරමිනි. ආණ්ඩුව ඒ සඳහා ගනු ලැබූ සියලූ ක‍්‍රියාමාර්ග ආපස්සට හරවන්නට සිදුවිය. ගැසට් පවා රිවස් කරන්නට සිදුවිය.

තත්ත්වය එසේ නරක අතට හැරෙමින් තිබියදී ගෑස් ප‍්‍රශ්නය තව තවත් උග‍්‍ර විය. පළමුව තිබුණේ ගෑස් පිළිබඳ ප‍්‍රශ්නයකි. එය පටන් ගත්තේ සංයුතිය වෙනස් කිරීමෙන් සහ ගෑස් ටැංකියේ බර වෙනස් කිරීමෙනි.

ඒ ප‍්‍රශ්නයට නිසි උත්තර නොදුන් නිසා ගෑස් ප‍්‍රශ්නය අර්බුදයක් බවට පත්විය. අද එයත් පටක් පොටක් බේරාගත නොහැකි අවුල් නූල්බෝලයක් බඳු අර්බුදයක් නොව, අර්බුද ජාලාවකි.

ඩොලර් ප‍්‍රශ්නය උග‍්‍ර වීමෙන් පිටරටින් ගෙන්වනු ලබන සියලූ භාණ්ඩවල අර්බුදය උග‍්‍ර විය. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙහෙත් ද්‍රව්‍ය හා කිරිපිටි හිඟයක් නැතිව ලබාදෙන්නට රජය කොතෙකුත් උත්සාහ කරත් කූට වෙළෙඳුන්ගේ කපටි ව්‍යාපාරිකයන්ගේ බොරදියේ මාළු බෑමේ ව්‍යාපෘති නිසා නිසි ප‍්‍රතිලාභ මහජනතාවට ගලා ගියේ නැත.

සියල්ලටම වඩා දරුණුවට බලපෑවේ රටේ කර්මාන්ත සඳහා අවශ්‍ය වන මූලික හා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමේ ප‍්‍රශ්නයයි. උදාහරණයක් වශයෙන් මේ රටේ පුවත්පත් මුද්‍රණය සඳහා අවශ්‍ය වෙන කඩදාසි හා තීන්ත පිටරටින් ගෙන්වා ගැනීම බරපතළ ප‍්‍රශ්නයක් විය. ලෝක වෙළෙදපලේ ඒවායේ මිල ද අවස්ථානුකූලව දෙගුණ තෙගුණ වීම තුළ අපේ රටේ අර්බුදය උග‍්‍ර විය. ඇඟලූම් ක්ෂේත‍්‍රය අපේ රටේ ප‍්‍රධානම ආදායමක් වුවත් ඒ සඳහා රෙදිපිළි නූල් හා වෙනත් දේ පිටරටින් ගෙන්වීමට අවශ්‍ය බැවින් ඩොලර් අවශ්‍ය විය. ලංකාවට ඩොලර් පැමිණෙන සියලූ මාර්ග මේ වන විට අර්බුදයට ලක්ව තිබිණි. විශේෂයෙන්ම විදෙස් රටවල සේවය කරමින් තම රටට ඩොලර් වලින් වැටුප් එවූ ශ‍්‍රමිකයන් ලංකාවේ ඩොලරයට ගෙවන රුපියල් ගණන අඩුවීම නිසා සල්ලි එවීම නතර කර දැමූහ. ඒ සඳහා ඔවුන් වෙනදා භාවිත කළ නීත්‍යනුකූල ක‍්‍රමවේදයෙන් බැහැරට ගොස් නීති විරෝධී අයථා ක‍්‍රම මගින් මුදල් ලංකාවට එවන්නට පටන් ගත්තා. එම තත්ත්වය රටේ මූල්‍ය පාලනය සම්බන්ධයෙන් ඉතා නරක ප‍්‍රවණතාවක් ඇති කළේය.

2022 සඳහා බැසිල් රාජපක්ෂ අලූත් අයවැය යෝජනාවලියක් ගෙන ආවේ එබඳු මහා බරපතළ ප‍්‍රශ්න රැසකින් රට දැවෙමින් තිබෙන අතරවාරයකය.

අයවැයෙන් පසු මෙම වසරේ පාර්ලිමේන්තු සැසි වාරය අවසන් වීමත් සමඟම තවත් ප‍්‍රශ්න ගණනාවක් මතු විය. රටේ පවතින විවිධ ව්‍යාපාර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වමින් සිටි, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ වැඩ රාජකාරිද සැසිවාරයත් සමගම අවසන් වීම හේතුවෙන් සියලූ පරීක්ෂණ අවසන් විය. ඒ පිළිබඳව රටේ තව තවත් විවේචනයක් ඇති විය. සේරම කුණු බේරුවල බොක්කට කියන්නාක් මෙන් මිනිස් සියලූ සන්තෑසිවල වගඋත්තරකරු වන්නට වූයේ ආණ්ඩුවටය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ ප‍්‍රධාන පෙළේ මැතිඇමැතිවරුන් මෙම ප‍්‍රශ්න වලින් හෙම්බත්ව සිටියහ. අධික ලෙස වෙහෙසව සිටියහ.

2021 වර්ෂය අවසන් වන්නට සති දෙක තුනක් තිබුණු පසුගිය දිනවල බොහෝ මැති ඇමැතිවරු අමතක කර දමා තිබූ තමතමන්ගේ සෞඛ්‍ය ප‍්‍රශ්න කෙරෙහි අවධානය යොමු කරමින් සිටියහ. විවිධ රෝගී තත්ත්වයන්වලට බෙහෙත් ගැනීම ද ඒ අතර වූහ. තවත් බොහෝ දෙනෙක් විදේශගත වන්නට හා විවේක ගන්නට කල්පනා කර තිබිණි.

ඇයවැය අවසන් වූයේ පසුගිය 10 වන සිකුරාදාය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 11 වැනිදා සිංගප්පූරුව බලා පිටත්ව ගියේ සුවිශේෂී පුද්ගලික කටයුත්තක් සඳහාය. රජයේ මෙන්ම විපක්ෂයේද දේශපාලඥයෝ බර ගණනක් එම අවස්ථාව වන විට විවේක ගන්නට හා වෛද්‍ය උපදෙස් ලබා ගන්නට විදේශගත වන්නට සූදානම් වෙමින් සිටියහ.

  • ශ‍්‍රීලනිප ප‍්‍රවර්ධනයට
    මෛත‍්‍රී ගමින් ගමට යයි…

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් අමුතු දේශපාලන ගමනක් යන්නට පටන්ගෙන තිබේ. ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරුන්ගෙන් ශ‍්‍රී ල නි ප නායකත්වයට හා සෙසු නායකයන්ට එල්ලවන චෝදනා හා අභියෝග හේතුවෙන් නොව, ආණ්ඩුවේ ප‍්‍රධානම බලවේගය වන පොහොට්ටුවේ සිටින යම් යම් තීරණාත්මක ප‍්‍රධානීන්ගේ නොසැලකිල්ල හා වෙනස්කම් හමුවේ දැඩි ලෙස කලකිරීමට පත්ව සිටින ශ‍්‍රීලනිප නායකයෝ පසුගිය කාලය මුළුල්ලේම කළේ තමන්ගේ ඊළඟ පියවර කුමක් ද කියා දිගින් දිගටම සාකච්ඡා කිරීමය. ඔවුන් ජනතාව හමුවට ගොස් මෙම ප‍්‍රශ්නය විග‍්‍රහ කළ හැම අවස්ථාවකදීම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිම් මට්ටමේ ක‍්‍රියාකාරිකයන්ගේ අදහස වූයේ නායකයෝ හැකි ඉක්මනින් රජයෙන් ඉවත්වී වෙනම දේශපාලන ගමනක් යා යුතු බවයි. මේ සම්බන්ධයෙන් මත විමසීම් ගණනාවක්ම සිදුවිය. ශ‍්‍රීලනිප නායකයා මීටත් වඩා අවමන් නින්දා අපහාස විඳිය යුතු නැති බව බොහෝ දෙනකුගේ පොදු අදහස වූහ.

සාකච්ඡා වට ගණනාවකින් පසුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ දිස්ත‍්‍රික්කයෙන් දිස්ත‍්‍රික්කයට ගොස් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයන් හා දිස්ත‍්‍රික් නායකයන් හමු වන්නට සූදානම් විය. පක්ෂ නායක මෛත‍්‍රීපාල සිරිසේන මහලේකම් දයාසිරි ජයසේකර ජාතික සංවිධායක දුමින්ද දිසානායක ඇතුළු නායකයෝ මෙසේ දිස්ත‍්‍රික්කයෙන් දිස්ත‍්‍රික්කයට ගොස් ප‍්‍රාදේශීය මට්ටමෙන් ජනතාව හා කතා බහ කරන්නට වැඩසටහන් ගණනාවක් සංවිධානය විය.

මෙම වැඩසටහන් මාලාවේ පළමුවැන්න කෑගල්ල දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ විය. වැඩසටහන පැවැත්වුණේ පසුගිය ඉරිදා උදේ 10.00ට කෑගල්ල ස්වීස් හෝටලයේ දී ය.

මෙම හමුවට සහභාගි වන්නට එන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් සඳහා වෙනමම උදේ තේ පැන් සංග‍්‍රහයක් කෑගල්ලේ හර්ෂ සියඹලාපිටිය මන්ත‍්‍රීවරයාගේ නිවසේ පැවැත්විණි. මෛත‍්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, රංජිත් සියඹලාපිටිය ඇතුළු නායකයෝ මේ සඳහා උදේ 7 පමණ වන විට කෑගල්ලට පැමිණ සිටියහ.

එහිදී උදේ ආහාරය ගෙන තේ පැන් පානය කරන අතරතුර පක්ෂ නායකත්වය හා දිස්ත‍්‍රික් නායකයන් අතර හොඳ දේශපාලන සංවාදයක් ඇති විය.

‘‘පොහොට්ටුවේ ඉන්න එක එක ලපයි සිපයින්ගෙන් බැනුම් අහ අහා අපි මොකටද තවදුරටත් මේ ආණ්ඩුව ආරක්ෂා කරගෙන ආණ්ඩුව ඇතුළේ ඉන්නේ. නායක තුමා ඇතුළු ඔක්කොම කරුණාකරලා ආණ්ඩුවෙන් ඉවත් වෙන්න. මේ ගොල්ලන්ටත් හොඳ පාඩමක් උගන්නන්න ඕන…”

දිස්ත‍්‍රික්කයේ තරුණ පිරිස්වල දැඩි විවේචන මේ අයුරින් එල්ල වන විට සියල්ල අසා සිටි මෛත‍්‍රිපාල සිරිසේන කතා කළේ මෙසේය.

‘‘ඉවත් වෙන්න අපට හරි ලේසියි… හැබැයි ඒකම තමයි මේ ආණ්ඩුවේ ඉන්න සමහරුන්ට වුවමනා වෙලත් තියෙන්නේ. කාගෙවත් බලාපොරොත්තු ඉටු කරන්න අපි ඉවත් වෙන්න ඕනේ නෑ. දේශපාලනයේදී මේ වගේ තීන්දු තීරණ ගනිද්දී හොඳට දුරදිග බලන්ඩ ඕන. ඔයගොල්ලො කලබල වෙන්නෙ නැතුව මේ විදිහට වැඩකරන් යමු. අපි නිසි වෙලාවට නිසි පියවර ගන්නවා. බයවෙන්න එපා. මේ පාර අපිට වරදින්නේ නෑ. මෛත‍්‍රිපාල සියලූ තර්ක නිශේධනය කරමින් දැඩි ස්ථාවරයක සිට එසේ ප‍්‍රකාශ කිරීමෙන් අනතුරුව ප‍්‍රාදේශීය නායකයන්ගේ තර්ක විතර්ක අවසන් විය.

ඉන්පසුව උදේ දහයට නිසි පරිදි සාකච්ඡාව සුවීස් හෝටලයේදී ආරම්භ විය. සභාව මෙහෙයවන ලද්දේ පැතුම් පැස්කුවල් විසිනි. මෙම සාකච්ඡාවේ විශේෂත්වය වූයේ ප‍්‍රාදේශීය නායකයන්ට අදහස් දක්වන්නට අවස්ථාව සලසා දීමයි. සාකච්ඡාව සඳහා හාරසියයකට වඩා කෑගල්ලේ ආසන සංවිධායකවරුන් නගර සභා හා ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් පක්ෂයේ ඡන්ද පොළ ක‍්‍රියාකාරිකයන් පැමිණ සිටියහ. ඒ අතරින් බොහෝ දෙනෙක් කතා කළහ. ඒ සියලූම දෙනා කතා කළේ ආණ්ඩුව සම්බන්ධයෙන් දැඩි කලකිරීම්වලින් යුතුවය. අපේ මන්ත‍්‍රීවරුන් හා මැති ඇමැතිවරුන් මේ අවස්ථාවේ රජයේ සියලූ තනතුරුවලින් හා වගකීම්වලින් ඉවත් වී පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාර්යභාරය ඉටු කළ යුතු බව බොහෝ දෙනාගේ අදහස වූහ… නායකයෝ ඒ සියලූ යෝජනා හා අදහස් අසා සිටියා මිස තම අදහස් ප‍්‍රකාශ කරන්නට ගියේ නැත.

එහෙත් අවසානයේදී මෛත‍්‍රිපාල සිරිසේන තම කතාවේදී ඒ සියලූ ප‍්‍රශ්න හා යෝජනාවලට අවශ්‍ය පිළිතුරු මෙසේ සපයා දුන්නේ කිසිවෙකුටත් ඒ සඳහා විරුද්ධ විය නොහැකි ආකාරයටය.

‘‘කවුරුත් හොඳින් මතක තියාගන්න ඕන මේක අපේ ආණ්ඩුව. මේක අපි හදපු ආණ්ඩුව. කාටවත් ජයග‍්‍රහණ භුක්ති විඳින්න ඉඩ දීලා අපි කොයිම වෙලාවකවත් අපේ ආණ්ඩුව අත්හැර දාලා එලියට යන්න වුවමනා නැහැ. අපි ගන්න දේශපාලන තීන්දු තීරණ ආවේගශීලීව ගත්තොත් අවාසිය අපටයි. අපි බුද්ධිමත් විය යුතුයි වගේම උපක‍්‍රමශීලී විය යුතුමයි. ඒක නිසා අනාගතයේදී අපි ගන්න දේශපාලන තීන්දුව හරි අතට අරගන්න අපි පසුබට වෙන්නේ නෑ.. අපි එදත් තීන්දුව හරි අතට ගත්තා. අදත් එහෙමයි හෙටත් එහෙමයි. කලබල වෙලා දේශපාලනයේදී තීන්දු අරන් බැහැ. සුදුසු වෙලාවෙදි ගත යුතු හොඳම තීන්දු අපි ගමු. එතකන් ටිකක් ඉවසන් බලන් ඉමු…”

මෛත‍්‍රීගේ කතාවට සභාවෙන් හොඳ ප‍්‍රතිචාර ලැබිණි.

කෑගල්ලේ සාකච්ඡාව 12. 20 ට අවසන් කර දිවා ආහාරය ඉතා ඉක්මනින් ගෙන නුවර බලා පිටත්ව යෑමට කල් තියා සූදානම් කර තිබුණත් පිටත් වීමට වෙලා ගියේ කෑගල්ලේ දේශපාලඥයන්ගෙන් සමුගන්නට පක්ෂ නායකයාට මඳක් අසීරු වූ නිසාය.

ඒ අතර රංජිත් සියඹලාපිටිය ගැනද දේශපාලඥයන් අතර කතාබහක් ඇති විය. ඉන්දියාවෙන් ලබාදෙන සුප‍්‍රකට සම්මානයක් වන අබ්දුල් කලාම් සම්මානය මෙවර ශ‍්‍රී ලංකාවේ දේශපාලඥකුට හිමිවන්නට යෝජනා වීමත් ඒ දේශපාලනඥ රංජිත් සියඹලාපිටිය වීමත් පිළිබඳව මෙහිදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනඥයෝ කතා කළේ මහත් ආඩම්බරයෙනි.

  • දෙවන පෙළ රැකගන්න
    රුවන්ගෙන් මෙහෙයුමක්…
IMF ගියොත් ආණ්ඩුවෙන් යන බවට වාසුගෙන් තර්ජනයක්…

කෑගල්ලේ ඉහත උත්සවය සිදුවන අතර වාරයේ එක්සත් ජාතික පක්ෂයේ තරුණ සංවිධානය සංවිධානය කළ තවත් හමුවක් සිරිකොත පරිශ‍්‍රයේ ජාතික සේවක සංගම් ශාලාව තුළ පැවැත්වුණේ ද ඉරිදා උදේය.

එක්සත් ජාතික පක්ෂයේ යොවුන් පෙරමුණේ තරුණ ක‍්‍රියාකාරීන් පක්‍ෂය ගැන විවිධ කලකිරීම්වලින් යුතුව පක්ෂය හැර යෑම වැළැක්වීමට අරගත් ක‍්‍රියාන්විතයක් ලෙස මෙය මීට පෙර වතාවක දී ද පවත්වන්නට සූදානම් වුවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහට යම් කිසි අයෙකු විසින් සැපයූ වැරදි තොරතුරක් මත එම හමුව අවලංගු වී ගියේය. ඔහු හෝ ඇය එම හමුවීම නායකයාට විරුද්ධව කරන්නට සූදානම් වන කුමන්ත‍්‍රණයක් ලෙස නම් කර තිබිණි.

පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහට පක්ෂපාත තරුණ කණ්ඩායමක් විසින් මෙම හමුවීම සංවිධානය කරන්නේ එජාප තරුණ පෙරමුණේ ප‍්‍රවර්ධන කටයුතු සඳහා බව රුවන් විජයවර්ධන විසින් නායකයාට ඒත්තු ගැන්වූ පසුව මෙම රැස්වීම සඳහා අවසර ලැබිණි. රැස්වීම සිරිකොතේ පැවැත්විය යුතු විය.

කෙසේ වෙතත් මෙසේ රැස් වූ තරුණ ක‍්‍රියාකාරිකයන් තුළ විවිධ මට්ටමේ කළකිරීම් තිබිණි.

ජාතික යොවුන් පෙරමුණේ සාමාජිකත්වය සඳහා වයස් සීමාව මේ වන විට අවුරුදු 28කි. එහෙත් එක්තරා යුගයක එය තිස්පහකට ඉහළ ගියේය. තවත් විටෙක එය 30 විය. වයස් සීමාව ඉහළ පහළ යෑම ගැන ප‍්‍රශ්නයක් තිබිණි. ක‍්‍රියාකාරික තරුණ නායකයන් සැක කිරීම පිළිබද ප‍්‍රශ්නයක් තිබුණි. එජාප නායකයාගේ නොසැලකිල්ල තුළ යම් යම් ක‍්‍රියාකාරීකයින් පක්ෂය හැර යෑම නවත්වා ගැනීමට අවශ්‍යව තිබිණි. සාකච්ඡාව යොදාගෙන තිබුණේ මේ සියලූ කරුණු ගැන කතාබහ කිරීමට ය.

මෙම හමුව රුවන් විජයවර්ධන ගේ නායකත්වයෙන් පැවති අතර කස්තුරි අනුරාද නායක, දිනේෂ් රවි චන්ද්‍ර, ලස්මන් කුරේ, බුද්ධික ඩයස්, චාමිකා හම්බන්තොට මෙම කටයුත්ත සංවිධානය කළහ.

මෙය එක්තරා අන්දමක තීරණාත්මක රැස්වීමක් විය. අවුරුදු පහළොවක් යොවුන් පෙරමුණේ එකදිගට වැඩ කළ නායකයෝ සිය දෙනෙක් මේ සඳහා පැමිණ සිටියහ.

මෙහිදී නන්ද මුත්තෙට්ටුව පක්ෂයේ සාමාජිකයන්ගේ බිඳවැටී ඇති ආත්ම විශ්වාසය නඟාසිටුවීම අපූරු කථාවක් කළේය.

‘‘මම අපේ පක්ෂයේ ඉතිහාසය ලේඛනගත කරපු කෙනෙක්. සමහරු හිතනවා පහුගිය මැතිවරණයේදී අපේ පක්ෂය බිංදුවට වැටුණු කියලා. මම ආඩම්බරයෙන් ඉතාම වගකීමෙන් කියනවා ඇත්ත වශයෙන්ම එහෙම වුණේ නැහැ. කාගේ කාගේත් යම් යම් වැරදි නිසා අපේ සාමාජිකත්වය ලක්ෂ 25ක් ඡන්දපොළට ආවෙ නෑ. ඒක විතරමයි වුණේ.

හැබැයි ඉතිහාසයේදී අපේ පක්‍ෂය මීටත් වඩා බිංදුවට වැටුණු අවස්ථා තව තිබුණා. මම එක අවස්ථාවක් මතක් කරන්නම්.

56 ජයග‍්‍රහණයෙන් බණ්ඩාරනායක මහත්තයා ජය ගන්න කොට ඩඞ්ලි පක්ෂය දාලා යන්න ගියා. ජෝන් කොතලාවල පක්ෂ නායකත්වය භාර ගත්තත් පක්ෂයට ශක්තියක් දෙන්න එයාටත් බැරි වුණා. එයත් පක්ෂය අත්හැර දැම්මා. එයත් එදා ‘‘සිංහල විතරයි’’ කියලා ස්ලෝගන් එකක් ගෙනල්ලා අපේ පක්ෂයත් එක්ක හිටපු දෙමළ මුස්ලිම් බලවේග තරහ කර ගත්තා. අපි අසරණව හුදෙකලා වුණා.

අන්න ඒ වෙලාවේ තමයි ජේ ආර් ජයවර්ධන කියන ප‍්‍රතාපවත් නායකයා ඉදිරිපත් වෙලා පක්ෂයට පණ දුන්නේ. ඒ වෙලාවේ ජේ ආර් පක්ෂ නායකයාවත් නෙවෙයි. එතෙන්දි ජේ ආර්ට කොච්චර කරදර වුණාද. ජේ ආර්ට ගල් ගහන්න පවා සංවිධානය වුණා. අත්තනගල්ලෙදී ජේ ආර්ට දුවන්න ගැහුවා. ඒත් එතුමා පක්ෂය අත ඇරියේ නෑ. අපට එදා හිටියෙ මන්ත‍්‍රීවරු අටදෙනයි. ජේ ආර් මැතිතුමා පාර්ලිමේන්තු හිටියෙත් නෑ. එතුමා එතන ඉඳන් පක්ෂය ගොඩනඟලා උඩට ගත්තා. මේ අතීත කතාව අද අපට ගොඩනැඟෙන්න හොඳ ආදර්ශයක්.”

රුවන් විජයවර්ධන හා කස්තුරි අනුරාධනායක ද හොඳ කතා දෙකක් කළේය. එදා එක්සත් ජාතික පක්ෂයේ තරුණ සංවිධානයේ ක‍්‍රියාකාරිකයෝ විසිර ගියේ පක්ෂ නායකත්වයට හොඳ ඉලක්කයක් හොඳ පණිවිඩයක් ලබා දීමෙන් අනතුරුවය.

බුහාරි හෝටලයෙන් ගෙන්වන ලද බුරියානි පාර්සලයක් දිවා ආහාරය සඳහා ලැබීම නිසා රැස්වීමෙන් අනතුරුව සියල්ලන්ගේම කතාබහ වෙනස් මගක් ගත්තේය.

  • IMF එකට යන්න
    රනිල් දුන්නු උපදේශය

එක්සත් ජාතික පක්ෂ නිලධාරී මණ්ඩලය සුපුරුදු පරිදි ඉකුත් අඟහරුවාදා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී හමුවූවේ පක්ෂ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. ඊට පෙර දින නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරය ගැන විභාග වන නඩුවක සාක්ෂිදීමට ගොස් තිබුණි.

එම නිසා එදින රුවන් දුටු පක්ෂ නිලධාරීන් බොහෝ දෙනෙක් මුලින්ම කතා බහ කළේ ඔහු නඩුවේදී දුන් සාක්ෂිය ගැනය. නායක රනිල් වික‍්‍රමසිංහද එදින ඔහු සාක්ෂි දුන් ආකාරය අගය කළේය. ‘‘දේශපාලඥයෙක් හැටියට හොඳ අත්දැකීමක් මේක.” බෙහෝ දෙනකු රුවන්ට කීවේ එවැන්නකි.

‘‘ආණ්ඩුවේ ක‍්‍රියාකාරීත්වය නිසා මිනිස්සු හොඳටම හෙම්බත් වෙලා ඉන්නේ. හැබැයි ඔවුන්ට එකතු වෙන්න විකල්පයක් නෑ. අපි මේ හිඩැසින් ප‍්‍රයෝජනයක් ගන්න ඕනේ.” අකිල විරාජ් ද එසේ කියමින් දීර්ඝ ලෙස පක්ෂ ප‍්‍රතිසංවිධානය ගැන අදහස් පළ කළේය.

‘‘අපිට දැන් තුන් හතර ගොල්ලක් එක්කම හැප්පෙන්න තියෙනවා. මේකට මුහුණ දෙන්න හොඳ වැඩපිළිවෙළක් හදමු.” රුවන් ද අකිලගේ කතාවට අලගු තැබීය.

‘‘පාක්ෂිකයන්ගෙත් ලොකු උනන්දුවක් තියෙනවා. අනෙක ගෑස් පිපුරුම් ගැන නීති සහාය ලබා දෙන්න මුලින්ම ඉදිරිපත් වුණේ අපියි. ඒක දැකලා තවත් අය නීති සහාය දෙනවා කිව්වා. නමුත් අපි කියන දේට වඩා මාධ්‍යයෙන් යන්නේ එයාලා කියන දේ තමයි.” රංගේ ද කතාවට එකතු වූවේය.

පක්ෂ ප‍්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු විය. සියලූ දෙනාගේ අදහස් එකතු කොට නව වැඩපිළිවෙළක් සකස් කිරීමට මෙහිදී ඒකමතික තීන්දු වූවේය. ජනවාරි මස දෙවෙනි සතියේ සිට මෙම වැඩපිළිවෙළ සිරිකොත පක්ෂ මූලස්ථානයෙන් ආරම්භ කිරීමට ද තීරණය කෙරිණි. ඊට අදාළ සැලසුම් රැසක් ගැන ද නායකයා පිරිසට උපදෙස් දෙනු ලැබීය. තරුණ පිරිස එකතු කර ගැනීම වෙනුවෙන් මෙම වැඩසටහන් සකස් වී තිබේ. නායක රනිල් ඉන්පසු විශේෂ හමුවීම් කිහිපයකට සහභාගි වූ අතර ව්‍යාපාරික හමුවීම් ද ඒ අතර වූහ. එම හමුවීම් රැසකදීම මතුවූ මූලික අදහස වූවේ ආර්ථිකය

ගොඩනැගිය හැකි එකම කෙනා රනිල් වික‍්‍රමසිංහයන් බවටය. ව්‍යාපාරිකයන් වෘත්තීයවේදීන් රැසක්ම කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන ලෙස නායකයා කළ යෝජනාව අතිශය කාලෝචිත එකක් බවය.

පක්ෂ නිලධාරීන් හා ක‍්‍රියාකාරීන් සුපුරුදු ලෙස ඉකුත් බ‍්‍රහස්පතින්දා පෙරවරුවේ කොළඹ පස්වන පටුමගේ පිහිටි නායකයාගේ නිවසට පැමිණියේ පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය.

‘‘ආර්ථික අර්බුදය උග‍්‍රවෙන කොට මුදල් ඇමැතිවරයා ලංකාවෙන් පිටවෙලා යනවා. මෙහෙම මුදල් ඇමැතිවරයෙක් ගැන ඇහුවමයි.” සංදිත් සමරසිංහ සුපුරුදු ලෙස කතාව ආරම්භ කළේ එලෙසිනි.

‘‘සාමාන්‍යයෙන් රස්සාවක් කරන කෙනෙක් බලන්නේ අවුරුද්දේ අන්තිමට තමන්ගේ ගම් රටවල්වලට ගිහින් දූ දරුවෝ එක්ක කාලා බීලා නත්තල සමරන්න නේ. ඒ වගේ තමයි මෙතනත්. එතුමත් තමන්ගේ මව් රටට ගිහිල්ලා නත්තල සමරන්න.” ආශු කී දෙයින් සැවොම කොක් හඬලන්නට වූහ

  • රාජ්‍ය වියදම් ගැන
    නාමල්ගෙන් පාඩමක්

තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යාංශයත්, ජාතික තරුණ සේවා සභාවත් මේ දිනවල සැරසෙන්නේ ජාතික යෞවන ක‍්‍රීඩා උළෙලටය. එය වඩාත් විචිත‍්‍රවත්ව පැවැත්වීමට ශ‍්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය ද ඇතුළු සියල්ලන්ම උත්සුක වන්නේ අනෙකකට නොව
ගියවරද ක‍්‍රීඩා උළෙල පවත්වාගත නොහැකි වූ හෙයිනි. මේ හේතුවෙන් ඇමැති නාමල් රාජපක්ෂ මේ ගෙවන්නේ අතිශය අවිවේකී දින කිහිපයකි.

ක‍්‍රීඩා උළෙලේ සමාරම්භය මෙන්ම සමාප්තියද පෙර නොවූ විරූ අයුරින් පවත්වන්නට නාමල්ට අවශ්‍ය විය. ඉකුත් දින කිහිපයේම හෙතෙම තම අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතනවල ප‍්‍රධානීන්ට දුරකථනයෙන් කතා කළේය. තරුණ සේවා සභාපති දමිත වික‍්‍රමසිංහටද එලෙස දුරකථනයෙන් කතාකළ ඔහු ලබන වර්ෂයේ තරුණ සංවර්ධන වැඩසටහන් ක‍්‍රියාත්මක වියයුතු ආකාරය පහදා දුන්නේ රටේ ආර්ථිකය ගැනද යම් ඉඟියක් පළකරමිනි.

‘‘දමිත! ඩොලර් හිඟයත් එක්ක මේ වෙද්දී රට දුවන්නේ ප‍්‍රශ්න ගොඩක් මැද. හැම අමාත්‍යාංශයකම වියදම් අඩුකරන්න කියල මුදල් ඇමැතිතුමා උපදෙස් දීල තියෙනවා. භාණ්ඩාගරයේ මුදල් බොහොම අරපිරිමැස්මෙන් තමා පාවිච්චි කරන්න වෙලා තියෙන්නෙ. ඔයාල දැන් පටන්ගෙන තියෙන ‘තුරුණු ශක්ති’ සහ ‘hope for sri lanka’ කියන වැඩසටහන් ඔය විදියටම කරගෙන යන්න. පුළුවන් තරම් පෞද්ගලික අංශය සම්බන්ධ කරගෙන ඒ අයගෙත් උදව් ඇතිව මේ වැඩසටහන් කරන්න බලන්න.”

ඉන් නොනැවතුණු ඇමැතිවරයා මේ වනවිටත් තරුණ සේවා සමාගම සහ ජාතික තරුණ සේවා සභාව ක‍්‍රියාත්මක කරන විදේශ රැකියා වැඩසටහන ගැනද යමක් කතා කළේය.

අයවැය යෝජනා තුනෙන් දෙකේ වැඩි බහුතරයකින් සම්මත වීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ නායකයෝ විවිධ විවේචන එල්ල කරමින් සිටියහ. පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් දැඩි බලපෑමක් එල්ල කළ නොහැකි වුව ද අයවැය වාද විවාදවලදී ඔවුන් ආණ්ඩු පක්ෂයට දැඩි සටනක් ලබා දුන්හ.

පසුගිය සතියේ නායකයෝ එක්වී මේ ගැන සාකච්ඡා කළේ මෙසේය…

මේ ආණ්ඩුවට දැන් පාර්ලිමේන්තුවේ තියෙන්නේ ඔළුගෙඩි ටිකක් විතරයි. ඒ ඔළු ගෙඩි ප‍්‍රමාණය අපිට වඩා වැඩියි. ඒක තමයි ආණ්ඩුව. හැබැයි දැන් ජනතාව අතර ආණ්ඩුවක් කියලා දෙයක් නම් නෑ. සජිත් පේ‍්‍රමදාස කීවේය.

මහලොකුවට කයිවාරු ගැහුවට ඡන්දයක් එහෙම තිබුණනම් බලන්න තිබුණා ආණ්ඩුවේ තරම. මේ ආණ්ඩුවට දැන් මොකෙක්වත් නෑ. රාජිතගේ විග‍්‍රහය එය විය.

  • මිලියන 700ක් ගජ
    මිතුරන්ට දීලලූ…
IMF ගියොත් ආණ්ඩුවෙන් යන බවට වාසුගෙන් තර්ජනයක්…

පහුගිය දවස්වල ගෑස් පිපිරුවා… දැන් ඔන්න පෝරත් පුපුරන්න පටන් අරන් ලූ.

කිසිම ප‍්‍රමිතියක් නැතුව මාළු අපද්‍රව්‍ය වලින් පෝර හදලා ගෙනාවාම බැක්ටීරියා ප‍්‍රතික‍්‍රියා කරන්න අරගෙන පුපුරනවා තමයි. සජිත් කීවේය.

අපි ගියා පහුගිය දවස්වල ගෑස් පිපිරීම බලන්න ලිට්‍රෝ එකට. එතන ඉන්න නිලධාරීන් අපට ඇත්ත කියන්නේ නෑ. ඇත්ත හංගනවා. මුජිබර් කීය.

ගෑස් පිපිරීම් ලංකාවේ සිදු වූ ආකාරය ගැන මෙහිදී වෙනමම කතා බහක් ඇති විය. මන්ත‍්‍රීවරු තම තමන් දන්නා තොරතුරු කියමින් කතාබහ තව තවත් උණුසුම් කළේය.

කෘෂි ඇමැතිලා හරියට කුඹුරුවල හිටවපු පඹයෝ වගේ. කිසිම දෙයක් කරගන්න බෑ. කටවල් තිබුණට වැඩක් නෑ. කතා කරන කිසි දෙයක හරයක් නෑ. ඒගොල්ලොන්ගෙ වගකීම් ඔක්කොම හමුදාවට භාර දුන්න නම් මීට වඩා හොඳට කරයි.

මේගොල්ලෝ බලයට ආවේ සල්ලි හොයන හැටි දන්නවා කියලා. ලබන වසරේත් අපිටනම් වාහන හම්බ වෙන් නැති පාටයි. හරීන් දුක කියන්නට පටන් ගත්තේය.

රට බංකොලොත් වෙන්න අත ළඟයි. රාජපක්ෂලාට නං කමක් නෑ. ඒගොල්ලන්ට යන්න වෙන වෙන රටවල් තියනවා. පාඨලී කීවේය.

ඩොලර් මිලියන 3500 ක් දෙසැම්බර් වෙනකොට ලැබෙනවයි කියලනෙ මේගොල්ලෝ පම්පෝරි ගැහුවේ. එක ඩොලරයක් ලැබිලා නෑ. ආචාර්ය හර්ෂ කීවේය.

අපේ ආණ්ඩුව එදා ආපු ගමං ජනතාවට කොච්චර සහන දුන්නද. දහ දහසකින් පඩි වැඩි කළා. සමෘද්ධි, මහපොළ වැඩිහිටි දීමනා දෙගුණ කළා. ඒත් මේ ගොල්ලෝ ආපු ගමන් රුපියල් බිලියන 700ක් ගජ මිතුරන්ට තෑගි දුන්නා හැරෙන්න වෙන මොනවද කළේ. කිරිඇල්ල කීවේය.

ඩොලර් නෑ නෑ කිය කිය අඬ අඬා අන්තිමේ ඩොලර් මිලියන හතක් චීනෙට වන්දි හැටියට ගෙව්වා පෝර ඇටයක්වත් නොගෙන. කොහොමද ආණ්ඩුවේ වැඩ. පාඨලී කීවේය.

මේ ආණ්ඩුව ගොඩදාගන්න පුළුවන්. ඒ වුණාට මේ ඉන්න එකෙකුටවත් ඒ සඳහා අවශ්‍ය දැනුම නෑ. ඒකයි වෙලා තියෙන්නේ හර්ෂ ආර්ථික විද්‍යා න්‍යායකින් තත්ත්වය පැහැදිලි කරන්නට පටන් ගත්තේය.

බැසිල් ඉන්දියාවට ගියාට වැඩක් වෙලා නෑ. මෝදි මග ඇරලා ගිහිල්ලා. අන්තිමේ ටී එන් ඒ එක එකත් මැදිහත්වෙලා. ලංකාව ගොඩදාගන්න ලෝක ආධාර සමුළුවක් කැඳවන්න මේගොල්ලෝ ඉන්දියන් ආණ්ඩුවේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. ඉන්දියන් ව්‍යාපාරිකයෝත් දැන් ලංකාවට කෙල හලනවා. අන්තිමේ මෙහෙම ගියොත් මේ රටම ඉන්දියාවට විකිණෙන එකයි වෙන්නේ. කිරිඇල්ල පෙන්වා දුන්නේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය සති අන්තයේ සිංගප්පූරුව බලා පිටත්ව ගියේ එක්තරා අන්දමක විවේකයකුත් ගත කරන්නට බලාගෙන ය. එහෙත් ඔහුට ගිය සැණින් ආපස්සට හැරී එන්නට සිදුවිය. ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හිටිහැටියේ ඇමරිකාව බලා පිටත්ව යන්නට සූදානම් වීම නිසාය. අද රටෙහි උදා වී තිබෙන බරපතළ අර්බුද හේතුවෙන් බැසිල් හෝ තමන් මේ අවස්ථාවේ රටේ සිටිය යුතුමයි කියා ජනාධිපතිවරයා තුළ තක්සේරුවක් තිබිණි.

ජනාධිපති ගෝඨාභය නැවත පෙරළා ලංකාවට පැමිණියේත් බැසිල් පිටත්ව ගියේ දාහතර වන දා රාත‍්‍රියේ ය. ඊට පෙර එක්තරා සුවිශේෂී වැඩමුළුවක් පවත්වන්නට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට අවශ්‍ය විය.

දාහතර වෙනිදා උදේ සිට හවස් වනතුරු මේ වැඩමුළුව අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණේ අගමැති මහින්ද රාජපක්ෂගේත් බැසිල් රාජපක්ෂගේත් ප‍්‍රධානත්වයෙනි. මේ අය වැයෙන් සෑම මන්ත‍්‍රීවරයකුටම තමන්ගේ බල ප‍්‍රදේශයේ වියදම් කිරීම සඳහා රුපියල් මිලියන 15ක මුදලක් වෙන්කර තිබිණි. වැඩමුළුව පැවැත්වුණේ මෙම මුදල හා ඊට අතිරේකව අමාත්‍යාංශ වැය ශීර්ෂ හරහා ගමට එන මුදල් වැය කරන්නේ කෙසේද කියා දැනුවත් කිරීමටය.

වෙනදා නම් විමධ්‍යගත අයවැයෙන් මන්ත‍්‍රීවරයකුට හිමි වන මුදල ඔහු වියදම් කළේ ඔහුට රිසි පරිදි ය. ගමට අවශ්‍ය පාරවල් පඩිපෙළවල්, ජල මාර්ග, පොදු වැසිකිළි, පිට්ටනි, ප‍්‍රජා ශාලා සෑදීම ආදියට මන්ත‍්‍රීවරයාට කැමති පරිදි වියදම් කළ හැකි විය. ඒත් බැසිල් මහතා සූදානම් කර තිබුණේ එම මුදල තම තමන්ගේ ගම් පළාත්වල කර්මාන්ත සංවර්ධනය සඳහා යොදවා එමඟින් ගමේ අඩු ආදායම්ලාභී පවුල්වලට ආදායම් හෝ ස්වයං රැකියාවක් සොයා දෙන ව්‍යාපෘති ලෙසය. මෙම වැඩමුළුව සඳහා සියලූම මන්ත‍්‍රීවරු පැමිණ සිටියහ. ගම් මට්ටමින් ක‍්‍රියාත්මක කළ යුතු ජීවනෝපාය සංවර්ධන වැඩසටහන ගම තුළ ක‍්‍රියාත්මක කරන ආකාරය ගැන මෙහි දී පුළුල් ලෙස සාකච්ඡා විය.

  • සල්ලි බෙදන හැටි
    බැසිල් කියා දෙයි

”අපි ගමට සල්ලි යවනවා. ගමේ අයට මඟ පෙන්වීමක් කරනවා. ඒ තුළින් ගමේ කණ්ඩායම්වලට පුළුවන් එකතු වෙලා තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න ජීවනෝපාය සංවර්ධනය ව්‍යාපෘතියක් ආරම්භ කරන්න. ඒක කරන හැටි සාකච්ඡා කරන්න තමයි අපි අද එකතු වුණේ…

ඒ ඒ පළාත් පළාත්වල තිබෙන සම්පත් හඳුනාගෙන අමුද්‍රව්‍ය හඳුනාගෙන ගමේ සැමටම දායක වී එම සම්පත් යොදා ගෙන අවශ්‍ය ශ‍්‍රමය සම්පාදනය කරමින් යම් යම් නිෂ්පාදන ආරම්භ කිරීම සඳහා ඉතා ඵලදායී වැඩසටහන් රාශියක් මෙහිදී සාකච්ඡාවට බඳුන් වූහ. සුළු ධීවර කර්මාන්ත, මල් ආශ‍්‍රිත කර්මාන්ත, එළවළු පලතුරු කල්තබා ගැනීම පිළිබඳ කර්මාන්ත, ජල සම්පත කළමනාකරණය කරමින් විසිතුරු මසුන් ඇතිකිරීම වැනි කර්මාන්ත, මැටි ආශ‍්‍රිත කර්මාන්ත කොහු ආශ‍්‍රිත කර්මාන්ත ආදී ව්‍යාපෘති ගණනාවක් පටන් ගන්නා සැටි හා කරගෙන යන ආකාරය ගැන මෙහිදී පුළුල්ව කරුණු සාකච්ඡාවට ලක්විය.

මන්ත‍්‍රීවරයකුට ලැබෙන ලක්ෂ 150ක මුදලක් මේ සඳහා සෑහේ දැයි කියා කතාබහක් ද මෙහිදී ඇතිවිය. එහෙත් ඒ සඳහා රේඛීය අමාත්‍යාංශ තුළින් ලැබෙන ප‍්‍රතිපාදන ද භාවිතා කළ හැකි ආකාරය බැසිල් අමාත්‍යවරයා පැහැදිලි කර දුන්නේය.

රටපුරා පවතින සමෘද්ධි බැංකුවලට අමතරව තවත් බැංකු විසිතුනක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබිණි. පසුගිය සතියේ එම බැංකු විසි තුනෙන් තුනක් ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිත විය.

මේ දිනවල අමාත්‍ය නිමල් ලන්සා පිටරට සංචාරයක නිරතව සිටි අතර ඔහු හිටිහැටියේම ප‍්‍රසන්න රණතුංගට කතා කොට එක්තරා ඉල්ලීමක් කළේය.

”හෙට කෙරවලපිටිය සමෘද්ධි බැංකුවක් පටන් ගන්න උත්සවයක් තියනවා. මං වෙනුවට අයියට පුළුවන්ද එතන නියෝජනය කරන්න.”

”මොකද බැරි… මම අනිවාර්යෙන්ම යනවා….

ඒ අනුව 15 වැනිදා ප‍්‍රසන්න තමන්ගේ සියලූ වැඩකටයුතුවලට පළමුව කෙරවලපිටිය බැංකුව විවෘත කිරීමට ගියේය.

ප‍්‍රසන්න කල්තියා එතනට ගිය අතර සමෘද්ධි අමාත්‍ය ෂෙහාන් සේමසිංහ එන්නට තරමක් ප‍්‍රමාද විය. ප‍්‍රසන්නට ටිකක් වෙලා බලා ඉන්න ද සිදුවිය.

අයියෝ අයියේ… මං එනකම් බලන් හිටියද. ඔයාට මේ වැඬේ පටන් ගන්නයි තිබුණෙ මං වෙනුවෙන්…

එහෙම පුළුවන්ද ඔයා නැතුව වැඩ කරන්න. මල්ලිනෙ මෙතන ලොක්කා මම ය…

ඒ වුණත් අයියනෙ මේ පළාතේ අයිතිකාරයා.. කියමින් ෂෙහාන් සිනා සෙන්නට විය.

  • කිව්ව දේ ඇහුවානම්
    මේ අර්බුද නෑ

යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් පසුගිය සතියෙත් ලොකු කතිකාවක් ඇති විය. යුගදනවි බලාගාරයේ ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇමැතිවරු තුන්දෙනෙක් අධිකරණය දක්වා යෑමත් ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු සමාජ ක‍්‍රියාකාරීන් කීපදෙනෙක් මෙම ගිවිසුමට එරෙහිව නීතියේ පිහිට පැතීමත් සමාජයේ බොහෝ දුරට කතාබහට ලක්විය.

කැබිනට් මණ්ඩලයටත් රටටත් රහසක්ව පැවති යුගදනවි ගිවිසුම අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුව හමුවේ තැබීම ද තවත් විශේෂ කාරණාවක් විය.

සැබැවින්ම යුගදනවි ගිවිසුම තුළ ඇති බරපතළ ප‍්‍රශ්නයේ කෙළවරක් ගෑස් අර්බුදය කෙරෙහි ද විහිද තිබීම විශේෂත්වයකි. යුගදනවි ගිවිසුම හරිහැටි ක‍්‍රියාත්මක වුවහොත් අනාගතයේදී ගෑස් සැපයීම පිළිබඳ ලංකාවේ ඒකාධිකාරිය ද එම ඇමරිකානු සමාගමට ලැබෙනු ඇතැයි කියා පිරිසක් තර්ක කළහ.

පසුගිය සතියේ ගෑස් ප‍්‍රශ්නය තදින්ම කතාබහට ලක්විය. ගෑස් පිපිරීමකින් තවත් මරණයක් සිදු වීමත් සමගම අපේ රටේ ගෑස් ප‍්‍රශ්නයක් ගැන කතාබහ උග‍්‍ර විය. මේ පිළිබඳව සමාජයේ ලොකු සංවාදයක් ඇති විය. සංවාදය වඩාත් උණුසුම් වූයේ ගෑස් ප‍්‍රශ්නය හේතුකොටගෙන අදාළ පාරිභෝගික සේවා අමාත්‍ය ලසන්ත අලගියවන්නත් පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් තුශාන් ගුණවර්ධනත් අතර ඇතිවූ වාදයක් නිසාය. තුෂාන් බරපතළ චෝදනා කළේය. ගෑස්වල සංයුතිය වෙනස් කිරීමෙන් ඇති වූ පීඩනය දරා ගැනීමට නොහැකි වී නිසැකවම අනාගතයේදී ගෑස් පිපිරීම් ඇති වන බවට ඔහු විසින් අනතුරු ඇඟෙව්වේ පසුගිය අපේ‍්‍රල් මාසයේදී බව ඔහු හෙළිදරව් කළේය. මෙම වාදය හිරු රූපවාහිනී නාළිකාවේ බලය දේශපාලන වැඩසටහන ඔස්සේ විකාශය කෙරිණි. පාරිභෝගික අධිකාරිය එදා උපදෙස් දුන් ආකාරයට අමාත්‍යාංශය හා ලිට්රෝ සමාගම ක‍්‍රියා කළේ නම් මේ අපරාධ සිදුවන්නේ නැතැයි ඔහු චෝදනා කළේය. ඇත්තවශයෙන්ම ඇමැතිවරයා මෙහිදී නිරුත්තර විය.

පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වුණේ අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙනි. රට තුළ පවතින මූල්‍ය හිඟය හා ඩොලර් අර්බුදය ගැන එහිදී ලොකුවට සාකච්ඡාවක් ඇති විය.. අමාත්‍ය බැසිල් රාජපක්ෂ අයවැයෙන් මේ සඳහා ගෙනෙන විසඳුම් ගැන කතා කළත් ඇමැතිවරු ඒවා එතරම් සැලකිය යුතු යෝජනා ද කියා ප‍්‍රශ්න කළේය.

මෙහිදී අධිකරණ අමාත්‍ය අලි සබ්රි ඩොලර් හිඟයට විසඳුම් සොයා ගන්නා ආකාරය ගැන දිගින් දිගටම කතා කළේ ය. ඔහු පෙන්වා දුන්නේ මේ සම්බන්ධයෙන් රනිල් වික‍්‍රමසිංහ කියන අදහස ගැන අකැමැත්තෙන් හෝ අප කල්පනා කළ යුතුව ඇති බව ය. මෙම ප‍්‍රශ්නයට විසඳුමක් සෙවීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතීමට අනිවාර්යයෙන්ම සිදුවන බව ඔහුගේ යෝජනාව විය.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ද එම අදහස අනුව යමින් කතා කළේය. රමේෂ් පතිරණ ද සිටියේ ඒ හැර අපට වෙනත් විකල්පයක් නැති බව කියන විසඳුමකය.

එහෙත් වාසුදේව නානායක්කාර කෙලින්ම ඊට විරෝධය පළ කරමින් කෑ ගසන්නට පටන් ගත්තේය.

”අපි අයි.එම්.එෆ්. එකට යටත් වෙන්න ඕනේ නැහැ. රනිල්ල කවදත් නැටුවේ ඒ ගොල්ල ගහන බෙර පදවලට. අපිට මේවට රනිල්ගෙන් උපදෙස් ගන්න උවමනා නෑ. අයි එම් එෆ් එකේ කොන්දේසි ටික කිසි ලෙසකත් රටට හිතකර ඒවා වෙන්නේ නෑ…

මෙහිදී ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරු දෙපිරිසක් අතර වාදයක් ඇති විය…

”ආණ්ඩුව අයි එම් එෆ් එකේ සහයෝගය පතන්න ගියොත් මම නං එක දවසක්වත් මේ ආණ්ඩුවේ ඉන්න නෑ. මම මේ ආණ්ඩුවෙන් අයින් වෙනවා…” වාසුදේව කියන්නට විය.

අවසානයේ මේ ප‍්‍රශ්නය අනාගතයට බාර දී ඇමැතිවරු දෙපිරිස සමථයකට පත් වූහ.

කෙසේ වෙතත් අවසානයේ බැසිල් අමාත්‍යවරයා ඇමරිකාව බලා පිටත් යෑම කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු විය. ඔහු හිටිහැටියේ ඇමරිකාව බලා පිටත්ව ගියේ කවර ප‍්‍රශ්නයට කවර ගනයේ විසඳුමක් සොයන්නට දැයි කියා දේශපාලන ලෝකය ඇතුලාන්තයේ පුළුල් සංවාදයක් ද ඇති විය.

බුලිත ප‍්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment