IMF ගිහින්  වැඩක්  වෙයිද?

376

පුළුල් දේශපාලන සම්මුතියක අවශ්‍යතාව

 පසුගිය කාලයේ දිනෙන් දින වර්ධනය වූ ආර්ථික අර්බුදයේ මහජන පීඩා දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වී විශාල සමාජ නොසන්සුන්තාවක් ද නිර්මාණය වී ඇත. ‘ගෝඨා ගෝ හෝම්’ කියා පටන් ගත් පසුගිය විරෝධතා හේතුවෙන් රජය වෙනස් විය. එනම් ජනාධිපති ගෙදර නොගියත් අලුතින් අන්තර්කාලීන රජයක් බිහිකරගෙන ඇත. මෙය වඩාත්ම දේශපාලන භේදයෙන් තොරව කටයුතු කළ යුතු පුළුල් දේශපාලන සම්මුතියක් අවශ්‍ය මොහොතක් වුවත් ජනාධිපතිවරයා මේ අන්තර්කාලීන රජය බිහි කරගත් ආකාරය ගැන බොහෝ විවේචන තිබෙන අතර ඒ නිසාම රටේ ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා යම්කිසි කාලයකට හෝ මැතිසබයේ සියලු දෙනා එක්ව කටයුතු කරන පුළුල් දේශපාලන සම්මුතියක් බිහි වී නොමැත. ජනාධිපතිවරයාට ඕනෑ කෙනෙකු ඔහුට ලැබුණු ජනවරමට පවා පටහැනිව අගමැති ලෙස පත්කරගෙන එහෙන් මෙහෙන් ඇමැතිකම් ලබා දී කිසියම් රජයක් අන්තර්කාලයකට පත්කරගෙන තිබේ. විශේෂයෙන් ආර්ථික තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා කිසිම රජයක් නොතිබෙනවාට වඩා මෙහෙම හෝ යම් ආණ්ඩුවක තිබෙන එක හොඳය. අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට පෙර ජනාධිපතිවරයා ආණ්ඩුව භාර ගැනීමට සියලු දෙනාට ආරාධනා කළ බව ඇත්තය. එහිදී විපක්ෂ කණ්ඩායම් නොයෙකුත් කොන්දේසි ඉදිරිපත් කළ බව ද සත්‍යයකි. එහෙත් වඩාත් පුළුල් දේශපාලන සම්මුතියක් සහිත සර්ව පාක්ෂික රජයක් බිහි කර ගැනීමට ජනාධිපතිවරයා ප්‍රමාණවත් උත්සහයක් දරනවා වෙනුවට කඩිමුඩියේ උ මහතා අගමැති ලෙස සහ තවත් පිරිසක් ඇමැතිවරු ලෙස පිරිසක් පත්කර ගත් බවක් අපට දකින්නට ලැබුණි. මේ නිසා මේ අන්තර්කාලීන රජයට දේශීය මෙන්ම විදේශීය වශයෙන් එතරම්  පිළිගැනීමක් නොමැති තත්ත්වයක් ද දකින්නට තිබේ.

IMF ගිහින්  වැඩක්  වෙයිද?


දේශපාලන වෙනස්කම් සහ ජනතා අපේක්ෂා

 හොඳම විදියට නොවුණත් කෙටි කාලයක් තුළ රටේ දේශපාලන වෙනස්කම් රැසක් සිදු වී ඇත. මිරිහානේ ජනපති නිවසට යන පැඟිරිවත්ත මාවත අසල සිදු වූ විරෝධය සහ ඉන්පසුව ගෝල්ෆේස්හි ආරම්භ වූ විරෝධතා ක්‍රියාමාර්ග මෙන්ම ආර්ථික පීඩා හේතුවෙන් රට පුරාම පවතින විරෝධතා ක්‍රියාමාර්ග ද මේ තත්ත්වයට හේතු විය. එහෙත් ජනතාව පාර්ලිමේන්තුවේ එක් මන්ත්‍රී ධුරයක් පමණක් තිබෙන එජාපයේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් වී මෙවැනි ආකාරයේ අන්තර්කාලීන රජයක් බිහිවනු ඇතැයි කිසිවිටෙකවත් අපේක්ෂා නොකරන්නට ඇත. කෙසේ වෙතත් ඒ දෙය සිදුව ඇත. මේ සියල්ල සිදු වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ රජයේ අසාර්ථකත්වය නිසා පීඩාවට පත් වී සිටින බහුතර මහජන අපේක්ෂා අනුව නොව හුදෙක් ජනපතිගේ අභිමතය අනුවම බව පෙනේ. 69 ලක්ෂයක් ජනයා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ලෙස පත් කළේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය දැරූ පසුගිය යහපාලන රජය පරාජයට පත්කරමිණි. එවැනි ජනවරමක් ගෙන බලයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යහපාලන රජයේම අගමැතිවරයා ඔහුගේ රජයේ අගමැති ලෙස නැවත පත් කිරීමෙන් ඔහුට ලැබුණු ජනවරමට සහ ඒ ජනතා අපේක්ෂාවන්ට සිදුවන්නේ කුමක් ද යන්න අමුතුවෙන් පැහැදිලි කළ යුතු දෙයක් නොවේ. කෙසේ හෝ මෙය පක්ෂ පාට දේශපාලනය කළ හැකි මොහොතක් නොවේ. සියලු දෙනාම එක්ව රට වැටී ඇති ආර්ථික අගාධයෙන් ගොඩ ගැනීමට සාමූහිකව කටයුතු කළ යුතු මොහොතකි. ජනතාව මුහුණ දෙන ආර්ථික පීඩා සමනය කිරීමට අවංක වුවමනාවක් ඇත්නම් අප මේ දේශපාලනඥයින් සියලු දෙනාටම කියා සිටින්නේ පක්ෂ දේශපාලනය කිසියම් කාලයකට අමතක කර පුළුල් දේශපාලන සම්මුතියකින් කටයුතු කරන ලෙසයි. පසුගිය කාලයේ සිදු දේශපාලන වෙනස්කම් නිසා නව මහ බැංකු අධිපතිවරයෙක් මෙන්ම අලුත් අගමැතිවරයෙක් සහ ඇමැතිවරු පිරිසක් පත් වුවත් ඔවුන් රට පාලනය කරමින් සහ ආර්ථික තීන්දු තීරණ ගනිමින් සිටියත් රටේ ප්‍රශ්න කිසිවක් විසඳී නැත. එනම් ආර්ථික පීඩා දිනෙන් දින උග්‍ර වෙමින් තිබේ.

 අයිඑම්එෆ් සාකච්ඡා

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම යනු අප මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමේ දී අනුගමනය කළ යුතු එක් ප්‍රධාන ක්‍රියාමාර්ගයක් මිස එය එකම විසඳුම නොවන බව අප අමතක නොකළ යුතුය. මූල්‍ය අරමුදලෙන් මූල්‍ය පහසුකමක් ලැබුණ පසු සියලු ප්‍රශ්න විසඳෙන්නේ නැත. එමගින් යම් මුදල් පහසුකමක් අනුමත වුවත් එය ලැබෙන්නේ වසර තුනක් වැනි කාලයක් තුළ දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක් පමණ වන වාරික වශයෙනි. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබන වැඩසටහනක අප සිටීම අනෙකුත් ජාත්‍යන්තර සහායන් ලබා ගැනීමට වැදගත් වේ. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය පමණින් සියලු ප්‍රශ්න විසඳෙන්නේ නැති වුවත් එය අවශ්‍ය දෙයකි. එහෙත් අපගේ ආර්ථික අර්බුදය විසඳාගත යුතු වන්නේ අප විසින්මය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙනුයේ විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීමේ සහයකි. එසේම ඒ සමග ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන අපගේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට මෙන්ම ආර්ථිකයේ පවතින ගැටලු විසඳා ගැනීමට ද හේතු විය හැකිය. කෙසේ හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍ය පහසුකමක් ලබා ගැනීමට අපට දුෂ්කර වී ඇත්තේ අපගේ විදේශ ණය තිරසාර නොවන තත්ත්වයට පත්ව ඇති නිසාය. ඒ සඳහා මූල්‍ය සහ නීති උපදේශකයන් පත් කර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ද දැන් ආරම්භ කර තිබේ. මේ නිසා අපට අවශ්‍ය තරම් ඉක්මනට අයිඑම්එෆ් එකෙන් මුදල් ලැබෙන්නේ නැත. එහෙත් ඒ සඳහා වන මාවතේ ගමන් කරමින් අප දැන් කිසියම් දුරක් පැමිණ ඇත. ඒ අනුව වොෂින්ටන් නුවරට ගොස් සාකච්ඡා පවත්වා ඉන් පසු මාර්ගගත ලෙස සාකච්ඡා පවත්වා දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් ඉදිරි සාකච්ඡා සඳහා මෙරටට පැමිණ ඇත. ඒ අනුව පසුගිය සඳුදා (20) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරටට පැමිණි නියෝජිත පිරිස සහ අප අතර සාකච්ඡා ආරම්භ විය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් මේ සාකච්ඡා ආරම්භ කළේය. මේ සාකච්ඡාවලින් පසු අප ඉල්ලා ඇති ණය පහසුකම ලබා ගැනීම සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇති කර ගැනීමට රජය අපේක්ෂා කරයි. ඉන් පසු අපට ණය මුදල් දීම සම්බන්ධයෙන් මූල්‍ය අරමුදලේ විධායක සභාවේ අනුමැතිය ලැබිය යුතු වේ.

 උද්ධමනය අහස උසට

 තෙල් මිල ඉහළ යෑම සහ පසුගිය කාලයේ ඩොලරයේ අගය වැඩි වීම හේතුවෙන් බඩු මිල දිගින් දිගටම වේගයෙන් වැඩි වෙමින් තිබේ. මේ අමාරු මොහොතේ වෙළෙඳ මාෆියාව ද හිතූ හිතූ ගණන්වලට බඩු විකුණමින් පාරිභෝගික ජනයා ගසාකමින් තිබීම කනගාටුදායකය. කෙසේ හෝ වේගයෙන් බඩු මිල ඉහළ යන මේ තත්ත්වය නිසා උද්ධමනය මාසයෙන් මාසය වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. ඒ අනුව ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 අප්‍රේල් මාසයේ පැවති සියයට සියයට 33.8 සිට මැයි මාසයේ දී සියයට 45.3 ක් දක්වා විශාල වශයෙන් ඉහළ ගියේය. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවෙහි මේ බව සඳහන් වන අතර මෙහිදී වාර්ෂික ආහාර උද්ධමනය සියයට 58 ක් දක්වා සහ ආහාර නොවන උද්ධමනය සියයට 34.2 ක් දක්වා ද වැඩි වී තිබේ. නිල උද්ධමන අගය මෙය වුවත් එම අගය ගණනය කරන භාණ්ඩ මල්ලේ නැති අනෙකුත් සියලුම භාණ්ඩවල පවා මිල ගණන් ද විශාල වශයෙන් වැඩි වී ඇති නිසා ජනතාව මේ කියන අගයට වඩා බොහෝ වැඩි මිල පීඩනයකට මුහුණ දී සිටී.

 ධම්මික පෙරේරාගේ ආගමනය

 හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමැති ලෙස පත් වීමට පෙර සිටම ආර්ථික අර්බුදය බලවත් ලෙස පැවතුණි. ඔහු පැමිණීමෙන් පසුව ආර්ථික පීඩා වඩාත්ම උග්‍ර විය. ඔහු මුදල් ඇමැති ලෙස සිටි කාලයේ මේ වසර (2022) සඳහා ඉදිරිපත් කළ අයවැයෙන් ද මේ බලවත් විනිමය අර්බුදය විසඳීම සඳහා පෙර දැක්මක් ඇතිව යෝජනා ඉදිරිපත් වූයේ නැත. කෙසේ වෙතත් මිරිහාන විරෝධයෙන් පසු බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමැතිකමින් ඉවත් වූ අතර පසුව පාර්ලිමේන්තුවෙන් ද ඉවත් විය. ඔහුගේ ඉවත් වීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා එම පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස නම් කරමින් මැතිවරණ කොමිසම වෙත ඔහුගේ නම යවන ලදී. ධම්මික පෙරේරා මහතා ඒ සමගම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීම වෙනුවෙන් ඔහු දරන ලද සියලුම සමාගම් අධ්‍යක්ෂ ධුරවලින් ඉවත් වීමට ද පියවර ගත්තේය. මේ අතර ඔහු මන්ත්‍රීවරයකු ලෙස පත් කිරීම අභියෝගයට ලක් කරමින් පවරා තිබූ පෙත්සම් පහක් විභාගයට නොගෙනම ශ්‍රේෂ්ඨාධිකරණ විසින් පෙරේදා (21) ප්‍රතික්ෂේප කළ අතර ඒ අනුව ධම්මික පෙරේරා මහතා ඊයේ (22) උදේ 10.00 ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දුන්නේය. රජයේ ආරංචි මාර්ග සඳහන් කරන පරිදි ඔහුට ආයෝජන ප්‍රවර්ධනය කිරීමට සහ රටට විදේශ මුදල් ආකර්ෂණය කිරීමට අදාළ අමාත්‍ය ධුරයක වගකීම පැවරීමට නියමිතය. අලුතින් ගැසට් කළ තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ වගකීම ඔහුට පැවරෙනු ඇති බව ද පැවසේ. ධම්මික පෙරේරා මහතා පසුගිය කාලයේ රටට ඩොලර් ගෙන්වීම් සම්බන්ධයෙන් ඔහුගේ නොයෙකුත් යෝජනා මාධ්‍ය හරහා සාකච්ඡා කළේය. මේ ලියුම්කරු සමග ද එම යෝජනා ගැන ඔහු සාකච්ඡා කළ අතර ඒවා අප මීට පෙර ලියා ඇත. එසේ නම් දැන් අවශ්‍ය කරන්නේ ඔහු සඳහන් කරන රටට ඉක්මනට විදේශ මුදල් ගෙන්වා ගැනීමට අදාළ පියවර වහාම ක්‍රියාවේ යෙදවීමයි. ඔහුගේ ඒ කටයුතු සාර්ථක වේවායි සුබ පතන අතරම වඩාත් අවශ්‍ය කරන්නේ ඉතා ඉක්මනින් විදේශ මුදල් ප්‍රමාණයක් රටට ගෙන්වා ගැනීම මගින් මහජනයා උග්‍ර ලෙස පීඩාවට පත්ව තිබෙන පෝලිම් තත්ත්වය වහාම අවසන් කර ගැනීමයි. මේ දක්වා අගමැති රනිල්ගේ නායකත්වයෙන් පත් වූ අන්තර්කාලීන රජය ඒ සඳහා සමත් වී නැති බව ද කිව යුතුය. ධම්මික පෙරේරා මහතා මාධ්‍යයට පවසන්නේ රටට වැඩක් කිරීමට තමා පැමිණි බවයි. ඔහුගේ ආගමනයෙන් රටට වැඩියෙන් ඩොලර් ලැබෙනු ඇති ද? අපි ඒ ගැන බලා සිටිමු.

 ණය පැහැර හැරියාට නඩු

 ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියකු විසින් ශ්‍රී ලංකාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ශ්‍රී ලංකාව විසින් නිකුත් කර ඇති ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් ඩොලර් මිලියන 250කට වඩා වැඩි ප්‍රමාණයකට හිමිකම් කියනු ලබන එක්සත් ජනපදයේ Hamilton Reserve Bank Ltd විසින් ණය ගෙවීම පැහැර හැරීමට එරෙහිව මෙලෙස අධිකරණමය ක්‍රියාමාර්ගයට පිවිස ඇත. ඔවුන් ඉල්ලා ඇත්තේ අදාළ බැඳුම්කර සඳහා අදාළ කල්පිරීමේ මූලික හා පොලී මුදල් සම්පූර්ණයෙන් ගෙවන ලෙසයි. ඔවුන් පෙරේදා (21) නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණයේදී ශ්‍රී ලංකාවට එරෙහිව මේ නඩුවක් ගොනුකර ඇති බව එම විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්ය. ශ්‍රී ලංකාව විසින් නිකුත් කර ඇති ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් සියයට 5.875්‍ර ක්ම දරනු ලබන්නේ Hamilton Reserve Bank Ltd විසිනි. ඔවුන් ඉල්ලා සිටින මුදල් අප විසින් ඔවුන්ට ගෙවීමට තිබුණේ ජූලි 25 වැනිදාය. මෙම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා ශ්‍රී ලංකාවට මග හැරුණු ගෙවීම් කිරීම සඳහා දින 30ක සහන කාලයක් ද ලැබුණි. එහෙත් එම කාලය ද ඉකුත්වීමෙන් පසු මැයි මාසයේදී එම ගෙවීම් පැහැර හැරීමට ලක් විය. එය 1948 දී බි්‍රතාන්‍යයෙන් නිදහස ලබා ගැනීමෙන් පසු අප රට කිසිදා ණය පැහැර හැරි රටක් නොවේ. මේ දෙය සිදු වන්නේ පළමු වතාවටය. මේ නිසා රටට සිදු වී ඇති අපකීර්තියේ තරම කියා නිම කළ නොහැකිය. දැන් රජයට විදේශ ණය ගෙවීම තබා, ජනතාවට අවශ්‍ය මූලික අත්‍යවශ්‍ය ආනයන පවා සිදු කිරීමට අපහසු මොහොතකි. ඒ නිසාම මේ මොහොතේ නිමක් නොමැතිව ජනයාට පෝලිම්වල දුක් විඳීමට සිදුව ඇත. ඒ අතරම මෙවැනි විදේශ ණය පැහැර හැරීම් නිසා අපට එරෙහිව පවරන නඩුවලට ද මුහුණ දීමට දැන් සිදුව ඇත.

 ●  ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment