IMF ණයක් ගන්න ඉදිරි මාස දෙක ඇතුළත එකඟතාවක් – මහ බැංකු අධිපති

154

ශ්‍රී ලංකාවට මුල්‍ය පහසුකමක් ලබා ගැනීම සඳහා ඉදිරි මාස දෙක ඇතුළත ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමින් එකඟතාවක් ඇති කර ගැනීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

එම එකඟතාව ඇති කර ගත් පසු ඊළඟ සති දෙක තුන ඇතුළත ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන ණය පහසුකමේ පළමු ණය වාරිකය ලබා ගැනීම සඳහා මුල්‍ය අරමුදලේ විධායක සභාවේ අනුමැතිය ලබාගත හැකි වනු ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා කීවේය.

මේ අනුව තවත් මාස තුනකින් පමණ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිත මුල්‍ය පහසුකම අනුමත කරගෙන එහි පළමු ණය වාරිකය අපට ලබා ගන්න පුළුවන් වෙනවා නේදැයි ‘දිවයින’ ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් පසුගියදා මහ බැංකුවේදී පැවැති මාධ්‍ය හමුවේදී මහ බැංකු අධිපතිවරයා මෙසේ ද කීවේය. ‘එහෙම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ මට හරියටම දින කියන්න බෑ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිලධාරින් සමග කළ සාකච්ඡාවල ප්‍රගතිය අනුව සහ මුල්‍ය අරමුදලේ සාකච්ඡා සඳහා සහභාගි වීමෙන් තිබෙන පළපුරුද්ද අනුව ඊළඟ මාස දෙක ඇතුළත ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එන්න හැකි බව කියන්න පුළුවන්. ඉන්පසු මුල්‍ය අරමුදලේ අභ්‍යන්තර ක්‍රියාවලියක් තිබෙනවා. එවිට සති දෙක තුනකින් අපට මේක මුල්‍ය අරමුදලේ බෝඩ් එකෙන් අනුමත කර ගන්න පුළුවන්. අපට පළමු වාරිකය දෙන්න එහෙම අනුමත කළ පසු මාස තුනෙන් තුනට යන ක්‍රමවේදයක් තියෙනවා.

අපට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබාදෙන ණය මුදල කොපමණද යන්න තීරණය වන්නේ අපේ විදේශ විනිමය හිඟය තක්සේරු කිරීමෙන් පසුව බව ද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අපට හිමි සේවාව මෙන් සියයට 400ක් අනුමත වුවහොත් එහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන තුනක් පමණ වේ. 2009 වසරේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට හිමි කෝටාව මෙන් සියයට 400ක ණය මුදලක් අනුමත වූ බව ද 2009 දී එහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 2.6ක් පමණ වූ බව ද මහ බැංකු අධිපතිවරයා තවදුරටත් කීවේය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ අපට මුල්‍ය පහසුකමක් ලබා දීමට නියමිතව ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment