IMF ණයට යටවන දේශපාලන අර්බුදය

117

ආර්ථිකය පුනර්ජීවනය කිරීමේ රජයේ සැලසුම් දැනට ක්‍රියාත්මක වන ලකුණු පෙන්නුම් කරමින් තිබේ. දිගු කලක් බලා සිටි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) ණය වෙනුවෙන් අවසරය ද හිමිවිය. වත්මන් ආර්ථික දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා වෙනත් ණය ලබා ගැනීමේ මාර්ගය විවෘත කරවා ගැනීමට මෙමගින් රජයට හැකි වේ. කෙසේ වෙතත් පැරණි ණය සහ නව ණය යන දෙකම ආපසු ගෙවිය හැකි බව සහතික කිරීම අභියෝගයක් වනු ඇත. මේ සඳහා රජය සිය නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට පටන් ගෙන ඇති අතර, එමගින්, මිල මට්ටම් ඉහළ යෑමෙන් පසු, බදු නොමැතිව පවා යන්තම් ජීවිතය ගැට ගසාගත හැකි ආදායම් උපයන්නන් මත, බදු බර සැළකිව යුතු ලෙස වැඩි කරනු ලබයි.

තම ආර්ථික දුක්ගැනවිලි යළි සලකා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැමැත්ත පළ කිරීම හේතුවෙන් සිය වැඩවර්ජන ක්‍රියාමාර්ගය තාවකාලිකව නතර කිරීමට තීරණය කළ බව වර්ජනයේ නිරත වෘත්තීය සමිති ප්‍රකාශ කර ඇත. මෙම වර්ජනයට ක්‍ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති 40කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියේය. සිය ඉල්ලීම්වලට රජයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබීම නිසා වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට එළඹීමට තමන්ට සිදු වූ බව ඔවුහු පැහැදිලි කළහ. වර්ජනය හේතුවෙන් සෞඛ්‍යය, තැපැල්, දුම්රිය ආදී සේවාවන්ට බාධා එල්ල විය. අධ්‍යාපනය, වරාය, විදුලිය, ජල සම්පාදන, ඛනිජ තෙල්, මාර්ග සංවර්ධන, බැංකු සේවා ඇතුළු අනෙකුත් අංශවල සේවකයෝ ද වර්ජනයට එක් වූහ. අවසානයේ වර්ජනයේ යෙදී සිටින වෘත්තීය සමිති තම ගැටලු ආණ්ඩුව සමඟ සාකච්ඡා කිරීම සඳහා වූ ජනාධිපතිවරයාගේ යෝජනාව භාරගන්නා බව පවසා ඇති අතර, සිය වැඩවර්ජන ක්‍රියාමාර්ගය තාවකාලිකව නවත්වන බව නිවේදනය කර තිබේ. මෙමගින් රජයට සිය උපායමාර්ගය ගැන නැවත සිතා බැලීමට අවස්ථාවක් ලැබෙනු ඇත. 1981 ආණ්ඩුවට මෙන් වත්මන් ආණ්ඩුවට ජනවරමක් නොමැත. පසුගිය වසරේ විරෝධතා ව්‍යාපාරයෙන් අනතුරුව බලයට පැමිණි වත්මන් ආණ්ඩුවට ඇත්තේ නීතිමය වරමක් පමණකි.

මේ වන විට ආණ්ඩුව මහජන අප්‍රසාදය හමුවේ නොසැලී පසුවන බව පෙනේ. මහජන විරෝධතා යටපත් කර ඇත. විරෝධතා නායකයන් අත්අඩංගුවට ගෙන ඇති අතර, මිල සහ බදු වැඩිකිරීම් සමග සැලසුම් කළ පරිදි ඉදිරියට ගොස් තිබේ. ආර්ථික ප්‍රකෘතිය සඳහා දේශපාලන ස්ථාවරත්වය සහ මූල්‍ය සම්පත් යන දෙකම අවශ්‍ය වන බව පෙන්වා දෙමින්, ඊට ප්‍රමුඛත්වය ලබාදීමේ පදනම මත, ආණ්ඩුව සිය දැඩි ස්ථාවරයන් සාධාරණීකරණය කරමින් සිටී. කෙසේ වෙතත්, මහජන මතයට අවනත වීම ප්‍රතික්ෂේප කිරීමෙන්, ආණ්ඩුව වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ සහ සංවිධානාත්මක බලවේග සමඟ ගැටුමක මාවතකට අවතීර්ණ වෙමින් සිටින බව දැකගත හැකිය.

අනෙක් අතට, දේශපාලන අර්බුදය තවත් උග්‍ර කර ඇත්තේ, මැතිවරණ කොමිසම විසින් අවස්ථා දෙකකදී මෙන්ම, අධිකරණය විසින්ද ඉල්ලා සිටි ආකාරයට, පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ආණ්ඩුව විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි. මැතිවරණය වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය සම්පත් රජය විසින් නිදහස් කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කර ඇති නියෝගවලට පවා ආණ්ඩුවේ ස්ථාවරය පටහැනි වන අතර, එම ස්ථාවරය විසින්, ඊට එරෙහිව දිනෙන් දින පුළුල් වන විරෝධයක් නිර්මාණය කර ඇත. පළාත් පාලන මැතිවරණය ව්‍යර්ථ කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ, මැතිවරණවලට හොඳින් මුහුණදීමට ඇති හැකියාව පිළිබඳ ආණ්ඩුවේ ප්‍රායෝගික නොහැකියාව හේතුවෙනි. මහජන මත විමසුම්වලින් පෙනී යන්නේ, ආණ්ඩුවේ පක්ෂ, විපක්ෂයේ පක්ෂවලට වඩා බෙහෙවින් අඩු ජන සහයෝගයක් ලබා ගන්නා බවයි. ජනාධිපතිවරයා හැර ආණ්ඩුවේ සෙසු පිරිස සමන්විත වන්නේ, මීට වසරකට පෙර නිර්මාණය වුණු ජනතා ව්‍යාපාරයේ උදහසට ලක්වූ සහ නින්දාසහගත ලෙස ඉල්ලා අස්වීමට සිදුවූ දේශපාලන පක්ෂ සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙනි.

මෙතෙක්, තමන්ට එල්ලවන බලපෑම්වලට ප්‍රතිචාරය ලෙස ආණ්ඩුව සිදුකරමින් සිටින්නේ, වීථි විරෝධතා නොඉවසමින්, පොලිස් ක්‍රියාමාර්ග හරහා විරෝධතා ව්‍යාපාරය මර්දනය කිරීමයි. නීතිය කුමක් වුවත්, තම කැමැත්තට අනුව කටයුතු කරන ලෙස රාජ්‍ය ආයතනවලට ද බලපෑම් කර ඇත. පළාත් පාලන මැතිවරණයට දින නියම කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ගත් තීරණය එක් වරක් නොසලකා හැර ඇති අතර, දැන් මැතිවරණය යළිත් කල් දැමීමට සිදුව ඇති බවක් පෙනෙන්නට තිබේ. තමන්ට හැකි උපරිමයෙන් වගවීම සඳහා ස්වාධීනව කටයුතු කරමින් සිටින මානව හිමිකම් කොමිසම විසින් සිය අමාත්‍යවරුන් කැඳවීම ද ආණ්ඩුව නොතකා හරිමින් සිටී. මැතිවරණ වෙනුවෙන් මූල්‍ය සම්පත් අවහිර නොකරන ලෙසට ලබාදී ඇති අධිකරණ තීන්දුවට අවනත නොවීම යනු, ආණ්ඩුව විසින් දීර්ඝකාලීනව රටට අහිතකර ලෙස බලපාන ආකාරයට, නීතියේ ආධිපත්‍යයට එල්ල කරනු ලබන මරු පහරකි. මේ සියල්ල අනාගත ආරවුල් සහ අවනීතිය සඳහා පෙළගැසෙමින් පවතින ඍණාත්මක ප්‍රවණතා වේ. මෙමගින් ලබාදෙන ඇඟවුම් වන්නේ, ඒවා දිගුකාලීනව රටේ සංවර්ධනයට හෝ එහි වටිනාකම්වලට යහපත් ලෙස දායකත්වයක් ලබානොදෙන බවයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් ඇමෙරිකානු තානාපතිවරිය පසුගියදා සිදුකළ ප්‍රකාශය හේතුවෙන් මෙම කාරණය විදෙස් වේදිකාවේදී අවධානයට ලක්වීම වැළක්විය නොහැකිවනු ඇත.

නියමිත වේලාවට මැතිවරණ පැවැත්වීමේ වැදගත්කම පිළිබඳ එක්සත් ජනපදයේ ස්ථාවරය අනෙකුත් බටහිර රටවල් සහ ජපානය විසින්ද ද දරනු ඇත. සහනදායී මූල්‍යකරණය සහ ජීඑස්පී ප්ලස් තීරුබදු සහනය වැනි ප්‍රතිලාභ ආදී වශයෙන්, ශ්‍රී ලංකාව තවමත් ආර්ථික පෝෂණය, වෙළෙඳාම සහ ආධාර වෙනුවෙන් ලෝකයේ ධනවත්ම රටවල් මත යැපෙයි. ඒ නිසා රටේ බිම් මට්ටමේ කාරණා වෙනුවෙන් පවා අන්තර්ජාතික ප්‍රජාවගෙන් එල්ල වන බලපෑම් විසින් ආණ්ඩුව මැතිවරණ දිශාවට තල්ලු කර, ජනතාවගෙන් වරමක් ඉල්ලා සිටීමට යොමුකරනු ලැබේ. ඵලදායි ලෙස රට පාලනය කිරීමට සහ ජාතික අවශ්‍යතා මත ගැටලු විසඳීමේ නියැළීම සඳහා, ආණ්ඩුවේ නීත්‍යනුකූලභාවය ශක්තිමත් කිරීමට මැතිවරණ ඔස්සේ ජනවරමක් අවශ්‍ය වේ. මහජන මත විමසුම් මගින් ආණ්ඩුව දුර්වල බව පෙන්නුම් කරන නමුත්, එසේ අපේක්ෂා කරන ජනවරම පළාත් පාලන මට්ටමින් නොව, ජනාධිපතිවරයාට තම අභිමතය පරිදි ක්‍රියාත්මක කළ හැකි ජාතික මට්ටමේ මැතිවරණයක් මගින් වුවද උරගා බැලීමේ හැකියාව පවතී.

ජෙහාන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment