IMF ණය කළමනාකරණය කළහොත් රටට ගොඩ යා හැකියි

494

● මහාචාර්ය සේමසිංහ වන්නිනායක
අංශාධිපති, ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය.

පසුගිය වසරක කාලය තුළ රජය අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග පවත්වා ගෙන ගිය සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් මාස 48ක් තුළ ක්‍රියාත්මක වන දීර්ඝකාලීන වැඩසටහනකට යටත්ව ඩොලර් බිලියන 2.9 ක විස්තීර්ණ අරමුදල් පහසුකමක් ශ්‍රී ලංකාවට ලබා දීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල තීරණය කර තිබේ. ඒ 4%ක පොලී අනුපාතිකයකට ය. එහි පළමු වාරිකය වශයෙන් මේ වන විට ඩොලර් මිලියන 330 මුදලක් ලැබී ඇතැයි ප්‍රකාශ වේ. මූල්‍ය අරමුදල සඳහන් කරන ආකාරයට මේ අරමුදල් ලබාදීම මගින් ඔවුන් අපේක්‍ෂා කරන්නේ රටේ මූල්‍ය ස්ථායිතාව ආරක්ෂා කිරීම, ආර්ථික අර්බුදයත් සමඟ අවදානමට ලක් වූ පිරිස් ආරක්ෂා කර ගැනීම සඳහා ආරක්ෂණ ජාලයක් සැකසීම, දූෂණය හා නාස්තිය අවම කිරීමට පියවර ගැනීම මගින් රටේ සාර්ව ආර්ථික ස්ථායිතාව යථා තත්ත්වයට පත් කිරීමත් ණය තිරසරභාවය ඇති කිරීමත් යන කාරණා ඉටු කර ගැනීමට සහාය වීම ය. අයිඑම්එෆ් ආයතනය මූල්‍ය අර්බුදවලට ලක්වූ රටවලට කෙටිකාලීන හා දිගුකාලීන ණය ලබාදීම සිදුකරයි. විස්තීරණ ණය පහසුකමක් යනු නිශ්චිත කාලසීමාවක් පුරා යම් වැඩසටහනක ප්‍රගතිය සලකා බලමින් පියවරෙන් පියවර අරමුදල් සපයන වැඩපිළිවෙළකි.

ශ්‍රී ලංකාවට මෙම අරමුදල් පහසුකමේ හිමි වාසි අවාසි දේශපාලන, ආර්ථික, සංස්කෘතික යනාදී විවිධ දෘෂ්ඨිකෝණවලින් විමසිය හැකිය. එහිදී IMF වෙත ප්‍රවේශ වීමේ පසුබිම සැලකිල්ලට ගත යුතු ය.

දීර්ඝ කාලයක් පුරා මෙරට තුළ අනුගමනය කළ අදූරදර්ශී සහ අතාර්කික ආර්ථික ප්‍රතිපත්තිවල අනිවාර්ය ප්‍රතිඵලය වශයෙන් ක්‍රමයෙන් වර්ධනය වෙමින් පැවති ආර්ථික අර්බුදය 2020 අගභාගයේ සිට බරපතළ තත්ත්වයට පත්විය. මෙහි ප්‍රතිඵලය වූයේ 2022 වන විට බංකොළොත් රටක් වශයෙන් නිල වශයෙන් ප්‍රකාශ කිරීමයි. රජය IMF සමග සාකච්ඡා ආරම්භ කළේ මෙවන් තත්ත්වයකදී ය. මේ සාකච්ඡා ඉතා ඉක්මනින් ආරම්භ කළ යුතු බව විද්වතුන් බොහෝ දෙනකු පැවසුවත් එසේ නොවුණු අතර අප්‍රේල් මාසයේ දී පාලනයේ ඇතිවූ වෙනසත් සමග IMF සමග සාකච්ඡා ආරම්භ කෙරිණි. 2022 අප්‍රේල් මස පළමු වැනි දා ආණ්ඩුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ මාණ්ඩලික මට්ටමේ එකඟතාවක් ඇති කර ගැණිනි. සාකච්ඡා වාර කිහිපයකින් පසු එම එකඟතාවන් මත ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 2.9 ක විස්තීර්ණ ණය පහසුකමක් ලබා දීමට තීරණය කෙරිණි. පසුගිය 20 වන දින තහවුරු වූයේ එලෙස එකඟ වූ අරමුදල් පහසුකම ලබාදීමට ය.

IMF සමග ඇති කරගත් එකඟතාව සාර්ව අසුභවාදී හෝ සාර්ව සුභවාදී යැයි කිව නොහැක. මෙහි වාසි මෙන් ම අවාසි ද පවතී. විශේෂයෙන්ම වාසි අවාසි තීරණය වන්නේ ණය එකඟතාවේදී ඇති කර ගන්නා කොන්දේසි අනුව ය. බොහෝ විට IMF මැදිහත්වීම විවේචනයට ලක් වන්නේ මෙම කොන්දේසි මගින් ඇති කෙරෙන අහිතකර ප්‍රතිවිපාක පදනම් කරගෙන ය. හැම රටක්ම IMF වෙත යන්නේ අර්බුද අවස්ථාවකදී ය. අයිඑම්එෆ් රටකට ණය අනුමත කරන්නේ හුදෙක් එම රටේ ආර්ථික අර්බුදයේ මූලාශ්‍ර පදනම් කරගෙන ය. එහිදී එම රටේ දේශපාලන ස්ථාවරභාවයට හෝ සමාජීය ස්ථාවරභාවයට හෝ සිදු වන බලපෑම සැලකිල්ලට නොගනී. ආර්ථික අර්බුදවලදී IMF සහාය ලබාගෙන සාර්ථක වූ රටවල් මෙන් ම අසාර්ථක වූ රටවල් ද ඇත. උදාහරණ වශයෙන් ග්‍රීසිය හා ආර්ජන්ටිනාව අසාර්ථක වූ අතර ටියුනීසියාව හා මොරොක්කෝව සාර්ථක වූ රටවල් වශයෙන් සැලකේ. මේ අතර මැලේසියාව තමන්ගේම වූ ආකෘතියකින් ගැටලු විසඳාගෙන ඇත.

ශ්‍රී ලංකාව මෙයට පෙර දහසය වතාවක් IMF සහාය ඉල්ලුම් කර ඇති අතර එයින් 6 වතාවක් ප්‍රතික්‍ෂේප වී ඇත. එකඟතා ඇති කරගත් බොහෝ අවස්ථාවල කොන්දේසි ඉටුකිරීමට මෙරට රජය අපොහොසත් විය. අනෙකුත් බොහෝ සංවර්ධනය වන රටවල් මෙන්ම ශ්‍රී ලංකාවේ ද සුබසාධන රාජ්‍ය සංකල්පය හේතුවෙන් අයිඑම්එෆ් කොන්දේසි අනුව සුබසාධන වියදම් කපාහැරීම දේශපාලන සහ සමාජ අස්ථාවරභාවයට තුඩු දෙන හෙයින් එම කොන්දේසි ඉටු කිරීමට රටවල් මැළි වේ. එය අයිඑම්එෆ් ආයතනයේ වැරැද්දක් නොවේ. මෙවර ද පෙර මෙන්ම මෙම එකඟතාව සම්බන්ධව බරපතළ විවේචන එල්ල වෙමින් තිබේ. එහෙත් යම් හෙයකින් මේ ණය මුදල නොලැබුණා නම් ආර්ථික අර්බුදය තවදුරටත් බරපතළ තත්ත්වයකට පත්වීමට ඉඩ තිබුණි. එසේ බලන විට මෙය මද අස්වැසිල්ලකි. කෙසේ වුව ද මෙම ණය පහසුකම හිමිවීම මගින් රටේ සියලු ප්‍රශ්න විසඳේ යැයි අදහස් නොවේ. මූඩීස් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය සඳහන් කර ඇත්තේ IMF එකඟතාව මැජික් එකක් නොවන බවයි.

ශ්‍රී ලංකාවට ණය අරමුදල් පහසුකම ලැබෙන්නේ කොන්දේසි ගණනාවකට යටත්ව ය. ණය ගිවිසුම සම්පූර්ණ කිරීමට ඉදිරි වසර 4 තුළ එම කොන්දේසි සැපිරිය යුතු ය. IMF එකඟතාව විවේචනය කරන බොහෝ දෙනෙක් එයට පදනම් කරගන්නේ මෙම කොන්දේසිවල දැඩි බව සහ ඒවායේ අමානුෂික බවයි. මෙයට පෙර IMF සමග ගිවිසුම්වලට යනවිට රට බංකොළොත් තත්ත්වයක නොපැවතිණි. 2022 වන විට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් අප පහළට දමා තිබුණු අතර විදේශ රටකින් ණයක් ගැනීමට හැකියාවක් නොතිබිණි. එබැවින් මෙවර අප IMF ගියේ ණය ගෙවාගත නොහැකි බංකොළොත් රටක් වශයෙනි. නමුත් මේ තත්ත්වයට ඒමට පෙර IMF වෙත ගියේ නම් ඔවුන්ගේ කොන්දේසි මෙතරම් දැඩි නොවන්නට ඉඩ තිබිණි. ඒ නිසාම වෙනදා නැති විශේෂ කොන්දේසි අපට පැනවිණි. විශේෂයෙන්ම ණය තිරසරභාවය ඇති කිරීමට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම ඉදිරිපත් කිරීමට සිදු විය. ඒ නිසා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ණය හිමියන් සමග එකඟතාවට එළඹීමට සිදු විය. එම සැලැස්ම එළඹෙන අප්‍රේල් මාසය තුළ ඉදිරිපත් කළ යුතු ය.

ඒ හැර ආර්ථිකයේ තවත් ව්‍යූහාත්මක වෙනස්කම්

රැසක් සිදු කිරීමට රජය එකඟ වී ඇත. ණය මුදලේ ඉතිරි වාරික ලැබෙන්නේ එම වෙනස්කම් සමාලෝචනය කිරීමෙන් පසු ඒවායේ ප්‍රගතිය සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව ය.

රාජ්‍ය ආදායම 2026 වසර වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 15% දක්වා වැඩිකර ගත යුතුය යන්න එක් කොන්දේසියකි. රජය බදු ව්‍යුහයේ තීරණාත්මක වෙනස්කම් රැසක් සිදු කරන ලද්දේ මෙම කොන්දේසිය අනුව ය. වැට් බද්ද 15% දක්වා ද උපයන විට ආදායම් 36% දක්වා ද වැඩි කෙරුණේ මේ අනුවය. 2025 වන විට ධන බද්ද හා හුවමාරු බද්ද වශයෙන් තවත් බදු දෙකක් හඳුන්වාදීමට නියමිත ය. බොහෝවිට මෙය ජනතාවට ඉතා වේදනාකාරී අත්දැකීමකි. සාමාන්‍ය ජන ජීවිතයට දැඩි අහිතකර විදිහට බලපා ඇත. මෙහි ආර්ථික හා සමාජීය ප්‍රතිවිපාක වට ගණනාවකින් ක්‍රියාත්මක වේ.

උපයෝගිතා සේවාවලට පිරිවැයට සරිලන මිලක් නියම කළ යුතු බව තවත් කොන්දේසියකි. රජය දැනටමත් ඉන්ධන, විදුලිය, ජලය වැනි සේවාවල මිල විශාල වශයෙන් වැඩි කර ඇත. ඇත්ත වශයෙන්ම රජය විසින් මේ දක්වා එම සේවා සපයන ලද්දේ පිරිවැයට වඩා අඩු මිලකට ය. එය නිවැරදි ප්‍රතිපත්තියක් නොවේ. අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා ආයෝජන වශයෙන් සැලකේ. ආයෝජනවලට රජයේ සහනාධාර සැපයීම සාධාරණය. අනෙක් ඒවා ව්‍යාපාරය. රජය ඒවායේ නිෂ්පාදන සහන මිලට විකිණීමේදී එම සහනය සඳහා දරන වියදම ජනතාව වක්‍රාකාරව ගෙවිය යුතුය. එලෙස සහන මිලට සැපයීම සඳහා රජය දේශීය සහ විදේශීය වෙළෙඳපොළෙන් ණය ලබා ගැනිණි. මේවා දේශපාලන තීන්දු ය. මෙරට පාලකයන් දේශපාලනය කළා මිස රට පාලනය නොකළා යැයි කියන්නේ ඒ නිසා ය.

රජයට පනවා ඇති තවත් කොන්දේසියක් වන්නේ දූෂණය සහ නාස්තිය අවම කිරීම සඳහා ශක්තිමත් නීතිමය රාමුවක් ඇති කළ යුතුය යන්න ය. මෙහි අවශ්‍යතාව පිළිබඳ කිසිදු විවාදයක් නැත. මෙරට ආර්ථික අර්බුදයේ කේන්ද්‍රීය සාධකය වන්නේ ඉහවහා ගිය දූෂණය සහ නාස්තිය යි. ඉහළ සිට පහළටම මෙය සීමාන්තිකව සිදු වේ. මෙය ප්‍රසිද්ධ රහසකි. දේශපාලකයන්ට මෙන්ම ඉහළ රාජ්‍ය නිලධාරීන්ට ද මේ චෝදනා එල්ල වේ. මෙම නීතිමය රාමුව ගොඩනැඟීම පාර්ලිමේන්තුවේ වගකීමයි. එහෙත් ඔවුන් එවැනි පරිපූර්ණ නීතිමය රාමුවක් ඇති කිරීමට කටයුතු කරයි ද යන්න සැක සහිත ය. හැම විටම නීතියෙන් රිංගා යෑමට හිඩැසක් තබමින් නීති සම්මත කිරීම ඉතා සුලබ තත්ත්වයකි.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම තවත් එකඟතාවකි. නව ලිබරල් ආර්ථික සිද්ධාන්ත අනුව රජය ව්‍යාපාරවල යෙදිය යුතු නැත. දැනට රජය යටතේ පවත්නා ආයතන අතුරින් අලාභ ලබන ඒවා ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් තර්කයක් ඇත. එහෙත් රජය පළමු වටයේදී ප්‍රතිව්‍යුහගත කිරීමට සූදානම් කර ඇති ටෙලිකොම්, රක්‍ෂණ සංස්ථාව, ලංකා හොස්පිට්ල්, ලිට්‍රෝ ගෑස් යනාදී ආයතන වැඩි ප්‍රමාණයක් ලාභ ලබන ආයතනය. මේවායේ ලාභය බැර වන්නේ මහා භාණ්ඩාගාරයේ ගිණුමට ය. ඒවා ප්‍රතිව්‍යුහගත කිරීමෙන් එම ආදායම රජයට අහිමි වේ. මහ බැංකුව ස්වාධීන ආයතනයක් බවට පත් කිරීම, නම්‍යශීලී විනිමය අනුපාතයක් පවත්වා ගෙන යෑම, ශක්තිමත් සමාජ ආරක්‍ෂණ ජාලයක් හඳුන්වාදීම යනාදිය ද කොන්දේසි අතර වේ.

මේ හැර ඉටු කිරීම ඉතා අසීරු කොන්දේසි ගණනාවක් ද පවතී. දැනට දළ දේශීය නිෂ්පාදිතයෙන් 110%ක් වන රටේ සමස්ත ණය 2028 වන විට 96%ක් දක්වා අඩු කිරීම, රාජ්‍ය වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 19.4% මට්ටම දක්වා අඩු කිරීම, මූල්‍ය ස්ථාවරභාවය සඳහා 2027 වන විට දළ මූල්‍ය අවශ්‍යතාව දළ දේශීය නිෂ්පාදිතයෙන් 13% දක්වා අඩු කිරීම ඒ අතර වේ. දැනට රටේ සමස්ත ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 110කි. තවත් ඩොලර් බිලියන 7ක ණයක් ගැනීමට සැලසුම් කර ඇති තත්ත්වය යටතේ මේ ඉලක්කය සපුරා ගැනීම අසීරු ය. දළ මූල්‍ය අවශ්‍යතාව 2022 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 32%කි. එය 2027 දී 13% දක්වා අඩු කිරීමේ ඉලක්ක සපුරා ගැනීමට දේශීය ණය කපා හැරීම වැනි තීරණවලට එළඹීමට සිදු වනු ඇත. රජයේ දේශීය ණය වැඩි ප්‍රමාණයක් මහජන බැංකුව, ලංකා බැංකුව, EPF, ETF,‍ භාණ්ඩාගාර බිල්පත්, සුරැකුම්පත් යනාදියෙන් සමන්විත වේ. එම ණය කපා හැරියහොත් ඒවායේ සාමාජිකයන්ට සහ ප්‍රතිලාභීන්ට තම හිමිකම්වලින් යම් ප්‍රමාණයක් අහිමි විය හැකි ය.

මීළඟට බොහෝ දෙනෙක් නගන ප්‍රශ්නය වන්නේ IMF එකෙන් ලබාගත් ණයවලින් මේ ආර්ථිකය ගොඩ ගැනීමට හැකිවේද යන්න මූලික ප්‍රශ්නය වේ. අනුමත වී ඇති ඩොලර් බිලියන 2.9 ක මුදල මෙයට පෙර ලබාගෙන ඇති ණයවලට සාපේක්ෂව ඉතා කුඩා කොටසක් බව සැබෑවකි. එහෙත් මෙම එකඟතාව හරහා ඍජුව සහ වක්‍රාකාරව නිර්මාණය වන තත්ත්ව නිසි අයුරින් කළමනාකරණය කළහොත් යම් සාධනීය මට්ටමක් කරා එළඹීමට ද හැකියාව ඇත. මෙපමණ කලක් බංකොළොත් රාජ්‍යයක් වශයෙන් හැඳින්වූ අප රට මේ ණය මුදල් ලැබීමත් සමඟ නාමිකව බංකොළොත් යන නාමයෙන් ගැළවෙයි. ඒ සමඟ ගොඩනැඟෙන විශ්වසනීයත්වය හරහා අපට නැවත ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළට ගොස් ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාව ඇතිවෙයි. රජය දැනටමත් ඩොලර බිලියන 7ක මුදලක් ණය වශයෙන් ලබා ගැනීමට අපේක්‍ෂාවෙන් සිටී. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ පුරෝකථනවලට අනුව දැනට ලංකාවේ පවතින සෘණ 4 ක ආර්ථික වර්ධන වේගය 2025 වන විට ධන 1.44කට වැඩි වෙතැයි අපේක්ෂාවක් තිබේ. එවැනි වර්ධනයක් සිදුවන්නේ දැනට පවතින ආර්ථික වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට රැගෙන ගියහොත් පමණි. නමුත් ඊට සමගාමීව අපේ විදේශීය ණය බර ද වැඩිවෙයි.

අපේ රටේ බැංකුවලට විදේශ රටවලට ණයවර ලිපි නිකුත් කිරීමේ හැකියාවක් නොතිබිණි. නමුත් අයිඑම්එෆ් ණය අනුමත වීම හරහා ණයවර ලිපිවලට පිළිගැනීමක් ලැබේ. ආනයන කටයුතුවලට එයින් පහසුවක් ඇතිවෙයි. එසේම මේ හරහා ආයෝජකයන් ධෛර්යමත් වේ. කෙසේ වුව ද පෙර පරිදිම මේ වැඩපිළිවෙළ ද පෙර පරිදිම පලදායී නොවිය හැකි බවට සැකසංකා මතු වේ. එසේ වුවහොත් නැවතත් රටේ ණය බර වැඩි වෙනවා මිසක් රට සංවර්ධනය වීමක් සිදු නොවේ. මේ වන විටත් ඩොලර් බිලියන 56ක විදේශ ණය බරක් රටට ඇත. එලෙසම ඩොලර් බිලියන 40 ක දේශීය ණය ප්‍රමාණයක් ඇත. ඩොලර් බිලියන 56ක් ගෙන රට

ගොඩනැඟීමට නොහැකි වූවා නම් ඩොලර් බිලියන තුනකින් කළ හැක්කේ කුමක්ද යන්න පිළිබඳව සැකයක් පවතී. මෙම ණය මුදල් ඥනාන්විත හා පලදායී විදිහට යොදා ගතහොත් මේ අවස්ථාව යම් හැරවුම් ලක්ෂයක් ආකාරයට පාවිච්චි කළ හැකිය. එසේ නොමැතිව මෙම ණය මුදල් ද පෙර පරිදි අදූරදර්ශීව පෞද්ගලික අරමුණු වෙනුවෙන් යෙදවුවහොත් සිදුවනුයේ අප රටට තවත් ණය කොටසක් එකතු වීම පමණි.

සකස්කළේ
● රසිකා එස්. රණවීර
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය,
කැලණිය විශ්වවිද්‍යාලය.

advertistmentadvertistment
advertistmentadvertistment