IMF ණය ගන්න මේ වසර අවසන් වනතෙක් බලා ඉන්න වේවි – හර්ෂ ද සිල්වා

118

සවුදි අරාබියේ ප්‍රධානියාට කතා කරන්න පුළුවන් මිනිහෙක් ආණ්ඩුව ඇතුළේ නෑ : කොන්ත්‍රාත්තුව මාලදිවයින් ජනාධිපතිට භාරදීලා

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලබා ගැනීම සඳහා මේ වසර (2022) අවසන් වනතෙක් බලා සිටීමට සිදුවන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

ඊට පෙරනම් එම අරමුදලෙන් මුදල් නොලැබෙන බවද ඒ මහතා කීවේය.

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා මෙසේද කීය.

හෙට අනිද්දා එයාලගේ ස්ටාෆ් ලෙවල් මට්ටමේ කණ්ඩායමක් එනවලු සාකච්ඡා කරන්න. හැබැයි සාකච්ඡා පටන් ගත්තට සාකච්ඡා ඉවරවෙලා ඒගොල්ලො කාර්යමණ්ඩල මට්ටමේ ගිවිසුමකට අත්සන් කරාවි. ඒක සමහරවිට තව මාසෙකින් එකහමාරකින් වේවි. හැබැයි ඒ ගිවිසුමෙන් මුදල් ලබාගන්න බෑ. මුදල් ලබා ගන්න නම් මූල්‍ය අරමුදලේ බෝඩ් එක අනුමැතිය දෙන්න ඕන. ඒක වෙන්න සෑහෙන වැඩකොටසක් කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ වෙනස්කම් කරන්න සිද්ධ වෙනවා. සරලවම කියනවානම් රජයේ ආදායම වැඩි කරන්න වෙනවා. වියදම අඩු කර ගන්න සිද්ධ වෙනවා. සහනාධාර ගැන සිතාබලන්න සිද්ධ වෙනවා. ඒ ඔක්කොටමත් වඩා අර ණය ගෙවන්න තියන ඒවා ප්‍රතිව්‍යුහගත කරන්න ධනාත්මක වැඩපිළිවෙළකට ගමන් කරන්න සිද්ධ වෙනවා. ඒක ලේසි නෑ.

1990 ගණන්වල මැද ඉඳලා රට පාලනය කරපු ජනාධිපතිවරු හැටියට හිටපු අයගෙ දර්ශනය, ඒ අයගෙ මතවාදය ගමන් කළේ වැරදි දිශාවට බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීවේය. ඔහු තවදුරටත් කතා කරමින් මෙසේද කීවේය.

මට මාලදිවයින් හිටපු ජනාධිපති නෂීඩ් හමුවුණා. මීට සති එකහමාරකට දෙකටක පමණ කලින්. ඔහු කිව්වා මට ආණ්ඩුවෙන් කොන්ත්‍රාත් එකක් දීලා තියෙනවා කියලා. මම ඇහුවා මොකක්ද කියලා. මම මාධ්‍යට පළමු වරට මේ කියන්නේ හදිසි අවස්ථාවක් ලෙස සලකල ලංකාවට ඩොලර් ටිකක් හොයා ගන්න තෙල් ටිකක් ගේන්න. ඒ නිසා ඔහු කතා කළා කිව්ව සවුදි අරාබියේ ප්‍රධානියාට. ඔහු පුද්ගලිකවම ටෙලිෆෝන් එකෙන් කතා කළා කියලා කිව්වා. ලංකාවට උපකාරයක් කරන්න පුළුවන්ද කියලා නෂීඩ් අහල තියනවා. එතකොට සවුදි අරාබියේ ප්‍රධානියා කියලා තියෙනවා අඩු ගානේ ප්ලෑන් එකක්වත් තියෙනවාද මේ මිනිස්සුන්ට කියලා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාලකයාට කතා කරා කියලා කිව්වා. එයා කිව්වැයි කිව්වා ඔය විකුණන්න මොනවහරි ඒ රටේ තියෙනවනම් ලැයිස්තුවක් ගහල එවන්න මම හිතල බලන්නම් කියලා. මම මේ කියන්නේ මාලදිවයිනේ හිටපු ජනාධිපතිතුමා මට කියූ කතාව. අඩු ගානේ සවුදි අරාබියේ ප්‍රධානියාට කතා කරන්න පුළුවන් අපේ මිසිහෙක් ආණ්ඩුව ඇතුළේ නෑ. අපි ඒක කොන්ත්‍රාත්තුවක් දෙන්න ඕන වෙන රටක හිටපු ජනාධිපති කෙනෙක්ට.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment