IMF‍ නියෝජිතයෝ අගමැති සමඟ සාකච්ඡා අරඹති

107

මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ඊයේ (20දා) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය හා මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා ආරම්භ කළහ.

ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති මූල්‍ය පහසුකමට අදාළව කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇති කර ගැනීම සඳහා මෙම සාකච්ඡා පැවැත්වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා පත්කර සිටින මෙම දූත මණ්ඩල නියෝජිතයන් ශ්‍රී ලංකාවේ ආර්ථික බලධාරීන් සමඟ පවත්වනු ලබන කාර්ය මණ්ඩල මට්ටමේ සාකච්ඡාවලදී මූල්‍ය පහසුකම ලබාගැනීමට අදාළ තාක්‍ෂණික කරුණු මෙන්ම ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව ද සාකච්ඡා කෙරේ.

මේ සාකච්ඡා අවසන් වීමෙන් පසු අදාළ මූල්‍ය පහසුකම ලබාගැනීම සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇතිකරගත හැකි වනු ඇතැයි රජය අපේක්‍ෂා කරයි.

ඉන් පසු ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාවේ අනුමැතිය හිමිවීමෙන් පසු අනුමත වන ණය පහසුකම වාරික වශයෙන් ශ්‍රී ලංකාව වෙත මුදාහරිනු ලබයි.

මේ මූල්‍ය පහසුකම අනුමත වුවහොත් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 3.2 ක පමණ මුදලක් වසර තුනක් තුළ ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

එහෙත් ඊට පෙර ශ්‍රී ලංකාව විසින් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පිළිගත හැකි සහතිකවීමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කළ යුතුවේ. ඒ අනුව ලැසාර්ඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් යන මූල්‍ය හා නීති උපදේශක සමාගම් පසුගියදා මෙරටට පැමිණ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරනු ලැබීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම ලබාගැනීමට අදාළ සාකච්ඡා කිරීම සඳහා දහදෙනකුගෙන් යුත් නියෝජිත පිරිසක් මෙරටට පැමිණ සිටින අතර ඒ අනුව ඊයේ උදේ අදාළ සාකච්ඡා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් ආරම්භ කරනු ලැබීය. මුදල් අමාත්‍යාංශය අසල මාර්ග අවහිර කරමින් පැවැති විරෝධතා ක්‍රියාමාර්ග නිසා මේ මූල්‍ය අරමුදලේ සාකච්ඡා සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට සහභාගිවීමට තරමක ප්‍රමාදයක් සිදුවූ බවද වාර්තා වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment