IOC තෙල් දෙන්න බෑ කියයි: විදුලිබල ඇමැති මහ බැංකුවෙන් ඩොලර් යදී

168

විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් ලංකා ඉන්දියන් තෙල් සමාගම සමග කළ සාකච්ඡා අසාර්ථක වූ බව විදුලිබල ඇමැති ගාමිණි ලොකුගේ මහතා ‘‘දිවයින’’ට පැවසීය.

මේ වන විට විදුලි බලාගාරවලට අවශ්‍ය ඞීසල්, දැවිතෙල් හා නැප්තා නොමැති නිසා යම් අර්බුදයක් පැනනැගී ඇති බවද ඇමැතිවරයා කීය.

කෙසේ වෙතත් මේ වනවිට කොළඹ වරායේ නවතා තිබෙන ඞීසල් මෙටි‍්‍රක් ටොන් 45,000ක් අඩංගු නෞකාවේ ඞීසල් ගොඩබා ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් ප‍්‍රමාණය වහා මුදාහැරදෙන ලෙස තමා මහ බැංකුවෙන් ඉල්ලා සිටි බවද ඇමැතිවරයා සඳහන් කළේය.

මේ වනවිට පෙට‍්‍රල් හා ඞීසල් නෞකා දෙකකින් තෙල් සංස්ථාවට ඉන්ධන ලබාගෙන තිබුණත් එම ඉන්ධන ටික දින හයකට පමණක් ප‍්‍රමාණවත් වන බැවින් විදුලි බලාගාරවලට ඞීසල් ලබාදීම බලශක්ති ඇමැති ගම්මන්පිල මහතා ප‍්‍රතික්‍ෂේප කළේය.

කෙසේ වෙතත් දැනට වරායේ නැංගුරම්ලා තිබෙන ඞීසල් නැවෙන් ඞීසල් ගොඩබෑමටත් දින තුන හතරක්වත් ගතවන බව සංස්ථා උසස් නිලධාරියෙක් ‘‘දිවයින’’ට පැවසීය.

සපුගස්කන්ද නවතී

ඉන්ධන නොමැතිකම නිසා මෙගාවොට් 160 කින් සමන්විත සපුගස්කන්ද විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු ඊයේ (18 දා* දහවල්ම නතර වූ අතර කැලණිතිස්ස බලාගාර පරිශ‍්‍රයේ පිහිටි බලාගාර තුන අන්තිම හුස්ම පොද හෙළමින් විදුලිය ලබාදෙමින් තිබූ නිසා විදුලි අර්බුදය තවදුරටත් උග‍්‍ර අතට හැරී තිබිණි.

විදුලි බලාගාරවලට අවශ්‍ය ඞීසල්, දැවිතෙල් සහ නැප්තා ලබාදෙන ලෙසට විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතා බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතාගෙන් දිගින් දිගටම ඉල්ලීම් කළමුත් බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලබාදීම තෙල් සංස්ථාව ප‍්‍රතික්ෂේප කළේය.

මේ හේතුව නිසා සපුගස්කන්ද විදුලි බලාගාරයට අවශ්‍ය ඞීසල් නොමැතිව එය ඊයේ (18 දා* නතර කර දැමිණි. එමගින් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 160 ක් එක්කර තිබිණි.

මීට අමතරව කැලණිතිස්ස බලාගාර පරිශ‍්‍රයේ පිහිටි ජී. ටී. – 7 බලාගාරය (මෙගාවොට් 115*, ද්විත්ව චකී‍්‍රය බලාගාරය (මෙගාවොට් 165*, මෙගාවොට් 180 (60×3* බලාගාරය අන්තිම ඉන්ධන දහනය කරමින් විදුලි උත්පාදනය කරමින් තිබූ බව ලංවිම ඉංජිනේරුවෝ පැවසූහ.

මෙම තත්ත්වය හමුවේ රට තුළ පවතින විදුලි ඉල්ලූමට සරිලන පරිදි විදුලි නිෂ්පාදනයක් නොවීම නිසා අඛණ්ඩව විදුලිය ලබාදීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබිණි.

ඉකුත් දෙසැම්බර් මස 03 වැනිදා ලංවිම ඉංජිනේරු සංගමය දියත් කළ වෘත්තීය කි‍්‍රයාමාර්ගයත් සමග රටපුරා විදුලිය බිඳවැටිණි. එම සිද්ධියෙන් පසු මෙරට ජාතික විදුලි පද්ධතියෙන් මෙගාවොට් 750 ක් ඉවත් වූ අතර නොරොච්චෝල බලාගාරයේ මෙගාවොට් 300 ක එක් විදුලි උත්පාදන යන්ත‍්‍රයක් ද ඒ අතර වූ බව ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ පැවසූහ.
මෙම හේතුව නිසා රටට අවශ්‍ය විදුලිය අඛණ්ඩව ලබාදීමට ජල විදුලි නිෂ්පදානය හා ඞීසල් බලාගාර දිගටම කි‍්‍රයාත්මක කිරීමට සිදු වූ බව ද ඔවූහු කියා සිටියහ. ඒ නිසා ඉන්ධන සංචිත (ඞීසල්, දැවිතෙල්, නැප්තා* ඉක්මනින්ම අවසන් වූ බවත් ජල විදුලි බලාගාරවල ජල මට්ටම ද ශීඝ‍්‍රයෙන් පහළ ගොස් ජල විදුලි නිෂ්පාදනය ද අවසන් අදියරට පැමිණ ඇති බවත් ඉංජිනේරුවෝ කියා සිටිති.

 මේ වනවිට ජල විදුලි නිෂ්පාදනයට ජලය ලබාදීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් සීමාවන්ට ලක්කර ඇත. එලෙස ජල විදුලියට වැඩිපුර ජලය මුදාහැරියහොත් ඉදිරි කාලයේ දැඩි සාගතයක් ඇතිවිය හැකි බවට කෘෂිකර්ම විශේෂඥයන් අනවතුරු අඟවා ඇත.

විදුලිය කපන පැය ගණන අනුමැතිය ඉල්ලූ පසු විදුලිය කපා හැරීමට අනුමැතිය ඉල්ලූ පසු ඒ පිළිබඳව සොයා බලා විදුලිය කපා හරින පැය ගණන තීරණය කරන බව ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ‘‘දිවයින’’ට කියා සිටියේය.

මීට කලින් විදුලිය කැපීමට ලබාදුන් අවසරය මේ වනවිට අහෝසි වී ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

වරායේ ඞීසල් නැව ගත්තත්

කැලණිතිස්ස පරිශ‍්‍රයේ පිහිටි විදුලි බලාගාර සඳහා දිනකට ඉන්ධන මෙටි‍්‍රක් ටොන් 1500 ක් අවශ්‍ය බවත් ඊයේ (18 දා* තෙල් සංස්ථාව එම ප‍්‍රමාණය ලබාදුන් නිසා ඊයේ රාත‍්‍රියේ කපාහැරීමකින් තොරව විදුලිය ලබාදුන් බවද සභාපතිවරයා කීය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ඉන්ධන ඇත්තේ දින හතකට පමණක් යැයි ද විදුලි බලාගාරවලට දිනකට අවශ්‍ය ඞීසල් මෙටි‍්‍රක් ටොන් 1500 ක් දීමෙන් සංස්ථාව සතු ඉන්ධන ප‍්‍රමාණය දින හතරකට සීමාවන බවට බලශක්ති ඇමැතිවරයා කරුණු දක්වා ඇත.

ඒ අනුව කොළඹ වරායේ නැංගුරම්ලා තිබෙන ඞීසල් නෞකාවේ ඉන්ධන ගොඩබාගැනීම සඳහා අවශ්‍ය ඩොලර් ප‍්‍රමාණය ලබාගැනීමේ සාකච්ඡුා සිදුවන බවත් එය සාර්ථක වුවහොත් ඉදිරි දින දහයකට පමණක් එය ප‍්‍රමාණවත් වන බවත් ලංවිම සභාපතිවරයා විශ්වාසය පළ කළේය.

ඉන්දීය තෙල් සමාගමෙන් විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක වූයේ ඉන්දීය රජය හා අයි ඕ සී මව් සමාගම ඊට අවසර ලබා නොදීම යැයි ද ෆර්ඩිනැන්ඩු මහතා සඳහන් කළේය.

මාස හයක සහන කාලයකට ඉන්දීය තෙල් සමාගමෙන් ඉන්ධන මිලදී ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වුවත් අඛණ්ඩව විදුලිය ලබාදීමට ගතහැකි සෑම ක‍්‍රියාමාර්ගයක්ම ගන්නා බවද ඒ මහතා කියා සිටියේය.

ලයිට් කපනවාද, ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යනවාද යන දෙකින් එකක් තෝරාගත යුතු තත්ත්වයක් මතු වී ඇතැයි ද මීට ප‍්‍රධාන හේතුව ඉන්ධන මිලදී ගැනීමට ඩොලර් නොමැතිවීම යැයි ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment