KEY ගැන තරින්දි නොකී කතාව: ඔහු ඉන්නෙ මගේ මතකයේ….

351

මාධ්‍ය මගේ උත්තර විකෘති කළා

තරින්දි ප්‍රනාන්දු නව පරපුරේ දක්‍ෂ රංගන ශිල්පිණියක්. ඇය අලුතින්ම රංගනයෙන් දායක වුණ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන ‘කී’ ටෙලි වෘතාන්තය වගේම උදයකාන්ත වර්ණසූරියගේ ගින්දරී 3 චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනව. ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිණියන් සමග වෙනස්ම ආරක නිර්මාණයක් ලෙසින් පුංචි තිරයට එන ‘කී’ ටෙලි වෘතාන්තයේ මිහේලි ගැන වගේම ගින්දරී 3 ගැන තරින්දි කිව්වෙ මෙහෙ කතාවක්.

KEY ගැන තරින්දි නොකී කතාව: ඔහු ඉන්නෙ මගේ මතකයේ....

මිහේලිට හොඳ ප්‍රතිචාර ලැබෙනවලු?

ඇත්තටම මම බලාපොරොත්තු නොවුණ තරමට ‘කී’ ටෙලි නාට්‍ය ප්‍රේක්‍ෂකයන් වැලඳගෙන තියෙනව වගේම මිහේලිටත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනව. මම මෙතෙක් රඟපෑ ටෙලි නාට්‍ය අතුරින් ත්‍රාසය, භීතිය, කුතුහලය පිරුණු වෙනත් ටෙලි නාට්‍යයක් නැහැ කියල කිව්වොත් නිවැරදියි. මේ කතාවෙ පිටපත ලියල තියෙන්නෙ අසංක සායක්කාර අයිය. ඔහුගේ නිර්මාණ කිහිපයකටම මම දායක වෙලා තියෙනව. ඒ අතරින් එකක් තමයි ඉන්ටර්නැසනල්. ඒ ටෙලි නාට්‍යයත් හොඳ ප්‍රතිචාර මැද ගොඩක් ජනප්‍රිය වුණා. මම ඔහු සමග වැඩ කරල තියෙන නිසා සහ මගේ හැකියාවන් ඔහු දන්න නිසා කී ටෙලියේ චරිතය වෙනම විදිහකට රචනය කරල තියෙනව. ඉතිං මම හිතනව ඔහුගේ හිතේ ඇඳුන මිහේලිට මම සාධාරණයක් කරන්න ඇති කියල.

ඇයි ඔබ මේ චරිතයට කැමති වෙන්නෙ?

මම මේ චරිතයට කැමති වෙන්න හේතු කිහිපයක්ම තියෙනව. එකක් මේ නිර්මාණය ශිවගුරුනාදන් මහත්මයාගේ අධ්‍යක්‍ෂණයක්. අසංක සායක්කාර අයියගෙ රචනයක්. ඒ වගේම නළු නිළි පිරිස මතක් කරන්නම ඕන. ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, සුජානි මේනකා. නිරෝෂා තලගල, සම්පත් ජයවීර වගේ ජ්‍යෙෂ්ඨයන් මේ නිර්මාණයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නව.

මිහේලි තරින්දිගෙ ජීවිතයට ලොකු බලපෑමක් කළා කිව්වොත්?

ඇත්තටම ඔව්. මේ නිර්මාණය මගේ ජීවිතයට සුවිශේෂී එකක් කිව්වොත් හරි.

මොකක්ද මේ කතාව?

ඒක මට දැන්ම හරියට කියන්න බැහැ. මේ කතාව තුළ රහසක් හෝ රහස් ගොඩක් තියෙන්න පුළුවන්. කතාවෙ ආරම්භයේ ඉඳලම මිහේලිගෙ සැමියා මිය යනව. ඉන් පස්සෙ ඔහුගෙ ඇඳුමක තිබිල හම්බ වෙන යතුරක් පිටුපස තියෙන සැඟවුණ කතාව හොයන්න තමයි මිහේලි උත්සාහ කරන්නෙ.

ඒක සැඟවුණ ආදරයක් වෙන්නත් පුළුවන්?

ඔව්, මම හිතනව එහෙම දෙයක් වෙන්නත් පුළුවන් කියල. තවම යතුර පසුපස හඹා යන ගමනක් තමයි තියෙන්නෙ.

ඉසුරුගෙන් ලැබෙන්නෙ මොන වගේ සහයෝගයක්ද?

ඉසුරු අයියව මට මේ නිර්මාණය පුරාවටම මුණගැහෙන්නෙ නැහැ. මොකද ඔහු ඉන්නෙ මගේ මතකයෙනෙ. නමුත් අපි මුණගැහෙන හැම මොහොතකම මිහේලි චරිතය සාර්ථක කරගන්න ලොකු සහයෝගයක් ලබා දෙනව.

KEY ගැන තරින්දි නොකී කතාව: ඔහු ඉන්නෙ මගේ මතකයේ....

ගින්දරී සිනමා නිර්මාණයටත් ඔබ රංගනයෙන් දායක වෙනව?

‘ගින්දරී’ 3 දැනට ටික කාලෙකට කලින් කරපු චිත්‍රපටයක්. මගේ ලොකු ආසාවක් තිබුණ උදයකාන්ත අයියගෙ නිර්මාණයකට එකතු වෙන්න. ප්‍රධාන චරිතයක් නොවුණත් මම ආරාධනය භාරගත්තෙ ඒ නිසයි.

තරින්දි මේ දවස්වල කාර්යබහුලයි?

ඇත්තටම ඔව්. අවුරුද්ද අවසානය නිසා වැඩ ටිකක් තියෙනව. අළුතින් කී ටෙලියත් පටන්ගත්ත නිසා කලින් වැඩත් එක්ක කාර්යබහුල වෙලා තියෙනව.

ගින්දරී ගැන මොකක්ද ඔබේ අදහස?

බහුබූතයෝ සිනමා නිර්මාණය නරඹපු ප්‍රේක්‍ෂකයන් බොහෝ දෙනෙක් ඉන්නව. මේ හැමදෙනාම බලාගෙන හිටියෙ කවදද ගින්දරී 3 එන්නෙ කියල. අලුත් අලුත් චරිත එක්ක එන ගින්දරී, බහුබූතයෝ චිත්‍රපටයටත් වඩා ආදරෙන් වැළඳ ගනීවි කියල මම විශ්වාස කරනව.

ඔබේ අනෙකුත් නිර්මාණ?

රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍යයේ කැතරින් කියන චරිතයටත් මේ දිනවල හොඳ ප්‍රතිචාර ලැබෙනව. ඒවගේම සුපුන් රත්නායක මහත්මයාගේ ‘පත්තරයක් දෙන්න සහ බිග් බෙන්’ කියන අලුත් ටෙලි නාට්‍ය දෙකකට සම්බන්ධ වුණා. ලලිත් රෝහිත එදිරිසිංහ මහත්මයාගෙ ‘මදර ගිර’ ටෙලි නිර්මාණයටත් සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණ. ඊට අමතරව මම කතෝලික ආගමේ නිසා නත්තලට සූදානම් වෙනව සහ රූපවාහිනී නාළිකාවල නත්තල් වැඩසටහන්වලට සූදානම් වෙනව.

මගතොට ප්‍රතිචාර කොහොමද?

රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍යය අවුරුදු දෙකක් පුරා විකාශනය වෙන නිසා කැතා කියල තමයි ගොඩක් දෙනෙක් මට කතා කරන්නෙ.

KEY ගැන තරින්දි නොකී කතාව: ඔහු ඉන්නෙ මගේ මතකයේ....

කලාවේ ගමන ගැන කතාකළොත්?

සරලවම කිව්වොත් මේ ගමන මට හීනයක් වගේ. බැංකුවේ වැඩ කරන කාලෙ මම ටෙලි නාට්‍ය ආදරෙන් බලනව සහ නිළියක් වෙන්න තිබුණ නම් හොඳයි කියල හිතුන හැරෙන්න ලොකු බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ. නමුත් අද වන විට මම ඉන්න තැනත් එක්ක බලනකොට ඒ ගමන පිටිපස්සෙන් ලොකු පිරිසක් ඉන්නව. ඒ අයගෙ සහයෝගය නිසයි අද මම මෙතැන ඉන්නෙ. ඒ අතර විශේෂයෙන්ම මගේ තාත්ත, අම්ම, අක්ක යන අය මතක් කරන්න ඕන. අම්ම අද අපි අතර නැති වුණත් ඇය තමයි මේ ගමනට මූලික අඩිතාලම මට දාල දුන්නෙ. අවංක ගමනක් තියෙනව නම් ඒ පැවැත්ම දිගුකාලීනයි කියල මම හිතනව. ඒ වගේම මගේ වෘත්තිය රංගනය. වෘත්තියට නිසි ගෞරවය දෙන නිසා මට ඒ ප්‍රතිපලය ලැබිල තියෙනව.

ජනප්‍රියත්වයත් එක්ක කටකතා හැදෙනව?

කටකතා කියන දේ නළු නිළියන්ට විතරක් නෙමෙයි, හැම මනුස්සයකුටම වගේ හදනව. මේක හැමෝම කරන්නෙ නැහැ. එක කොටසක් ඉන්නව සල්ලිවලට හරි, ඊර්ෂ්‍යාවට හරි කටකතා හදනව. විශේෂත්වය තියෙන්නෙ ජනප්‍රිය චරිතයකට කටකතාවක් හැදුනොත් ඒක ඉක්මණින් පැතිරෙනව. අපි ඒවාට සැලෙන්න ඕන නැහැ.

ඔබටත් මඩ ගැහුව?

ඔව්, මේ මඩ ප්‍රචාර ගැන සමහර මාධ්‍ය මගෙන් අහපු දේට මම දීපු උත්තර විකෘති කරල පළකරල තිබුණ අවස්ථා තිබුණ. ගොසිප් නිතරම ඉලක්ක කරන්නෙ ප්‍රසිද්ධ චරිත. ඒක හොඳ දෙයක් වුණත් නරක දෙයක් වුණත් මම ඒවා ගැන තැකීමක් කරන්නෙ නැහැ.

මහේෂ් එදිරිසිංහ
ඡායා – ධනුෂ්ක සේනාධීර

advertistmentadvertistment
advertistmentadvertistment