LAND MARK පත්තරය

881

පුවත්පත් කලාව පිළිබඳ විශ්වකෝෂවල ඇති කතන්දර ඇත්ත නම් ලොව පළමුවැනි පුවත්පත් පටන්ගෙන ඇත්තේ 1566 දී වැනීසියේ ය. මේ පුවත්පත් අතින් ලියන ලදි. පත්තරයේ කර්තෘ ප‍්‍රවෘත්ති හොයාගෙන, කොළයක අතින් ලියා, එය යළි පත්තර පිටුවක පෙනුම ඇතිවන පරිදි විශාල කඩදාසියක පිටපත් කර පුවත්පත නිකුත් කළේය. මේවා දිනපතා පුවත්පත් නොවේ. සතිපතා පුවත්පත් ද නොවේ. නිවුස් තිබෙන දවස්වල, කොළ හොයාගත හැකි දවස්වල සහ ලිවීමට විවේකය ඇති දවස්වල ඒ ඒ පුවත්පත්වල කර්තෘවරුන් තම තමන්ගේ පත්තර අතින් ලියා වැනීසියානුවන් අතර බෙදා හැරියාහ. ඒ වූ කලී පත්තරවල ඉතිහාසය පිළිබඳ අවුරුදු 456 ක් පරණ කතාවය.

අද වන විට ‘දිවයින’ පත්තරයේ කතාව අවුරුදු 40 ක් පරණ කතන්දරයකි. දිවයින මේ රටේ ලෑන්ඩ් මාර්ක් පුවත්පත ය. එය නවීන තාක්‍ෂණය මෙන් ම නවීන පුවත්පත් කලාවක් ද මේ රටේ ජනතාවට සහ පුවත්පත් කර්මාන්තයට හඳුන්වා දුන් පළමුවැනි ප‍්‍රවෘත්ති පත‍්‍රයයි. 1981 දී මේ රටේ විසූ ප‍්‍රමුඛ ව්‍යවසායකයා වූ උපාලි විජයවර්ධන මහතා විසින් දිවයින ආරම්භ කරන සමය වන විට එවකට පැවති සියලූම පුවත්පත් මුද්‍රණය කරන ලද්දේ හොට්මෙට්ල් ක‍්‍රමයටය. උණුකළ ඊයම් විෂමතල මුද්‍රණ අකුරු බවට පත්කර ඒවායින් පිටු සකස් කර පත්තර මුද්‍රණය කිරීම මේ ක‍්‍රමයට අයත් ය. දිවයින මුද්‍රණය කරන්නේ ශත වර්ෂ අධික පුරාණයක් ඇති මේ මුද්‍රණ ක‍්‍රමය බැහැර කොට ලෝකයේ නවීනතම සමතල මුද්‍රණ ක‍්‍රමයට අනුවය. ඒ සඳහා පරිගණක තාක්‍ෂණය ද විශේෂයෙන් පුරුදු කළ කාර්ය මණ්ඩලයක් ද යොදා ගන්නා ලදි. ඒ සඳහා සුවිශාල ධනස්කන්ධයක් ද වැය විය. ඒ වූ කලී ‘දිවයින’ පුවත්පතේ ආරම්භය පිළිබඳ භෞතික කතාවය. දිවයිනට සම්බන්ධ මතවාදී කතාවක් වෙනම තිබේ. ඒ මෙසේය.

ජාතික පුවත්පතක් ලෙස දිවයින මේ රටේ පාඨකයන් අතට පත් වන්නේ සිංහල බෞද්ධ ස්වදේශික මතවාද පෙරමුණේ තබාගෙනය. දිවයින පටන්ගත් 1981 වර්ෂය වන විට එවකට වසර 50 කට වැඩි ඉතිහාසයක් තිබූ මේ රටේ පුවත්පත් කලාව ඉතාම දියාරු මට්ටමකට පත්ව තිබිණි. මිනීමැරුම් කීපයක් පිළිබඳ විස්තර, දේශපාලනඥයන්ගේ දේශන, රජයේ දැන්වීම්, මංගල යෝජනා, රැකී රක්‍ෂා ඇබෑර්තු යනාදිය පමණක් මේ පුවත්පත්වල පළවිය. එහිදී ආණ්ඩුවේ පුවත්පත් පවතින ආණ්ඩුවේ මතවාදය පොහොර නැතුව වගා කිරීමට මෝඩ උත්සාහයක් ගත්හ. ආණ්ඩුවේ නොවන පුවත්පත් තම තමන්ගේ දේශපාලන අදහස් පොහොර සහිතව වගා කිරීමට අසාර්ථක උත්සාහයක් ගත්හ. මතවාදයක් යනු පොහොරවලින් පෝෂණය කළ හැකි දෙයක් නොවේ. ඒ පෝෂණය ගන්නේ ප‍්‍රඥාවෙනි. ඒ වන විට මේ රටේ සිංහල බෞද්ධ ජාතිකවාදී මතවාදය පෝෂණය කිරීම සඳහා කිසිදු ආකාරයක ප‍්‍රඥාසම්පන්න උත්සාහයක් තිබුණේ නැත. මේ කියන කාලයේදී ප‍්‍රභාකරන් සිටියේ රට කැඞීම සඳහා ආයුධ එකතු කරමිනි. එහෙත් ප‍්‍රභාකරන් ආයුධ එකතු කරන්නේ පරණ යකඩ සඳහා විකිණීමට නොව ශ‍්‍රී ලංකා යුද හමුදාවට එල්ල කොට රට කැඞීමට බව එතෙක් සිටි රාජ්‍ය පාලකයන්ට කල්පනා වූයේ නැත. ඒ නිසා ප‍්‍රභාකරන් විසින් උතුරේදී පුපුරුවන ලද පළමුවැනි බෝම්බයත් සමඟ කොළඹ සිටි දේශපාලන නායකයන්ගේ තාවකාලික ජාතික ඇඳුමේ රෙද්ද කැඞී ගොස් යට ඇඳුම්වල තිබූ හිල් ප‍්‍රදර්ශනය වන්නට පටන් ගත්තේය.

මේ තත්ත්වයට පහරදීම සඳහා එකල තිබූ එකම පුවත්පත ‘දිවයින’ ය. මේ නිසා කරදර බොහොමයකට මුහුණ දෙන්නට අපට සිදුවිය. පළමු වටයේදී ආණ්ඩුවේ දැන්වීම් මේ පුවත්පතට දීම එක ටෙලිෆෝන් කෝල් එකක් මගින් තහනම් කරන ලදී. දෙවනුව දිවයිනට දැන්වීම් නොදෙන ලෙස සියලූ රාජ්‍ය බැංකුවලට නියෝගයකුත් පෞද්ගලික බැංකුවලට ඉල්ලීමකුත් ඉදිරිපත් විය. එහෙත් පෞද්ගලික බැංකු අප සමඟ එක්ව සිටගෙන අපට දැන්වීම් ලබා දුන්නේය. මීට සමගාමීව දිවයිනට දැන්වීම් දෙන විශාල පෞද්ගලික ආයතනවලට ද බලපෑම් කරන ලදී. එහෙත් එසේ බලපෑම්වලට ලක්වූ ව්‍යාපාරිකයන්ගෙන් වැඩිදෙනා අප අත්නොහළහ. මෙකී පළමු වටයේ බලපෑම සිදුකරන්නේ ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවය. දෙවැනි වටයේ බලපෑම පේ‍්‍රමදාස ආණ්ඩුව විසින් සිදුකරනු ලැබීය. පොදු පෙරමුණු ආණ්ඩුව බලයට පැමිණීමේදී දිවයින විශාල මෙහෙවරක් සිදුකළේය. අපේ අපේක්‍ෂාව වූයේ එම ආණ්ඩුව ප‍්‍රගතිශීලී මෙහෙවරක් කරන බවය. එහෙත් බලයට පැමිණි සැණින් ඒ ආණ්ඩුව අපට වැඩක් දුන්නේය. ඒ, ඒ වන විට සුවිශාල මුදලක් වැය කර කොළඹ නගරයේ තනා තිබූ දිවයිනේ කාර්යාල සංකීර්ණ සහ මුද්‍රණාල ගොඩනැඟිල්ල තහනම් කිරීමෙනි. ඒ ගොඩනැඟිල්ල සම්පූර්ණයෙන් පාහේ පිටරටදී ඉදිකර මෙරටට ගෙන්වූවකි. මේ රටේ තිබූ ඒ වර්ගයේ පළමුවැනි ගොඩනැඟිල්ලත් එයයි. අන්තිමේදී රුපියල් කෝටි ගණනක පාඩුවක් විඳීමට අපට සිදුවිය. උපාලි පුවත්පත් සමාගම පුවත්පත් මිස සල්ලි අච්චු ගසනු නොලැබේ. ඉහත සඳහන් ගොඩනැඟිල්ල සඳහා අප විසින් ප‍්‍රතිපාදන ලබා ගන්නා ලද්දේ බැංකුව හරහා ය. ගොඩනැඟිල්ල තහනම් කිරීම නිසා සිදු වූ පාඩුව දරාගැනීමට ඉතා දුෂ්කර වූ දුක් කන්දරාවක් විය.

අද මේ රටට ඩොලර් නැත. ඒ නිසා පුවත්පත් මුද්‍රණ කඩදාසි පිටරටින් ගෙන්වා ගැනීමට ප‍්‍රතිපාදනයක් නැත. එබැවින් මේ රටේ පුවත්පත් කර්මාන්තය බරපතළ අර්බුදයකට මුහුණ පා තිබේ. ඉදිරි කාලයේදී බ්ලැක් මාර්කට් එකෙන් පවා පත්තර කඩදාසි මිලට ගැනීමට නොහැකි වනු ඇත. එබැවින් පුවත්පත් කර්මාන්තය දුවන්නේ බලවත් පාඩු පිටය. එවැනි දුෂ්කර තත්ත්වයක් තුළ පවා බලධාරීන් ෂේප් කරගෙන ඔවුන්ගේ පස්ස පැත්තට පිඹිමින් සැප දීමේ පුවත්පත් කලාවක් අපි අනුගමනය නොකරමු. දිවයින හැමදාමත් සිටියේ විපක්‍ෂයේ ය. යුද සමයේදී පමණක් දිවයින මඳ කලක් ආණ්ඩු පක්‍ෂය සමග සිටියේය. පත්තරයකට 40 අවුරුද්දක් යනු ලොකු කාලයකි. එහෙත් අප ලොකු කාලයක් හැටියට සලකන්නේ දිවයින සියක් අවුරුදු වයස් වූ කල්හිදී ය.

advertistmentadvertistment
advertistmentadvertistment