‘Les Monsieur Monsieur’ ශ්‍රී ලංකාවේදී

86

ප්‍රංශ භාෂා සහ සංස්කෘතික සැමරුමට (Francophonie 2023) සමගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් ප්‍රංශ සහ ස්විස් නෘත්‍යමය ගීත ප්‍රසංගයක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය පියවර ගෙන තිබේ. ස්විට්සර්ලන්තයේ ප්‍රමුඛතම ප්‍රංශ භාෂා කලාකරුවන් දෙදෙනෙකුවන ලොරෙන්ට් බෲනෙටි සහ මරියෝ පචියොලි එක්ව ඉදිරිපත් කරන මෙම ප්‍රසංගය ‘Les Monsieur Monsieur’ ලෙස නම් කර ඇත.

මෙහි පළමු ප්‍රසංගය අද (24 වැනිදා) පස්වරු 7.00 සිට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ නුග උද්‍යාන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. ඉන් අනතුරුව මාර්තු 26 වැනිදා ඉරිදා පස්වරු 7.00 සිට යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේදීත්, අවසාන වශයෙන් මාර්තු 28 වැනිදා අඟහරුවාදා පස්වරු 6.00 සිට පේරාදෙණිය සරසවියේදීත් ප්‍රසංගය ඉදිරිපත් කරන අතර මෙම සියලුම ප්‍රසංග නොමිලේ පැවැත්වේ.

ලෝරෙන්ට් බෲනෙටි ඉතා ළාබාල වයසේදීම සංගීතයට සහ නෘත්‍ය වේදිකාවට නැඹුරු වූ දක්ෂ කලාකරුවෙකි. තනිව වාදනය කරන පියානෝවක් හෝ සිම්පනි වාද්‍ය වෘන්දයක් සමඟ වේදිකාවට පිවිසෙන බෲනෙටි සංගීත ඛණ්ඩ සහ ස්වර මාධූර්යය නෘත්‍ය අංගයක් බවට පත් කිරීමට සමත් ය. මේ දක්වා ස්වකීය සංගීත ඇල්බම් පහක් එළිදක්වා ඇති ඔහු, වෙනත් කලාකරුවන් වෙනුවෙන් ද සංගීත රචනයේ නියැළී සිටියි.

මරියෝ පචියෝලි තම සංගීත දිවිය ආරම්භ කළේ හත් හැවිරිදි වියේදී, පියානෝ වාදකයෙකු සහ ඔපෙරා ගායකයෙකු ලෙසිනි. ස්විට්සර්ලන්තයේ Golden record සහ ඇල්බම් හතරක් තමන් සතුකරගෙන සිටින මරියෝ තම කලා නිර්මාණ එළිදැක්වූයේ ලොස් ඇන්ජලීස්හි හොලිවුඩ් සංගීත තාක්ෂණ විද්‍යාලයේදී (Musicians Institute of Technology of Hollywood) ය.

advertistmentadvertistment
advertistmentadvertistment