My Womb, A Barren Land මානව සන්තානයේ අඳුරට එල්ල කරන විදුලි එළියක් ද?

52

පසුගිය කාලය පුරාවටම කියවීම සඳහා ගොඩ ගැසී ඇති ඇතැම් පොත් පෙරළා බැලීමට පවා සිතක් නොවීමේ පුද්ගල ඛේදවාචකයෙන් (පුද්ගල පරිහානිය) අප මුදා ගැනීමට නිසංසලා සොයුරියගේ My Womb, A Barren Land කෘතියෙහි නිමාව සමත් වූවා යෑයි කියන්නේ අතිශෝක්තියෙන් හෝ ඇය මුරුංගා අත්තේ තැබීමට නොවේ. නිසැකවම එය ජාත්‍යන්තර මට්ටමේ නිමාවකි. ඒ නිමාවේ විශිෂ්ටත්වය විසින් සිත තුළ පැළපදියම්ව තිබූ ඉච්ඡා භංගත්වයන්, ආතතීන්, තාවකාලිකව හෝ පරාජය කර කෘතියක් කියවා රසවිඳීමට හිත එකලස් කිරීමට සමත් විය. මෙවැනි මට්ටමක නිමාවක් කාව්‍ය කෘතියක් විසින් අත්පත් කර ගන්නේ ඉතාම කලාතුරකිනි. රාජ්‍ය විසින් නිර්මාණය කරන ලද මේ ව්‍යසනකාරී මොහොත විසින් පොත පත මුද්‍රණය කිරීම සිහිනයක් බවට පත් කිරීමට පෙර පවා මෙවැනි නිමාවකින් යුතු කාව්‍ය සංග්‍රහයක් පළ කිරීමට ප්‍රකාශකයකු එකඟ වීමම මවිත කරවන සුළු සිතුවිල්ලකි. (මෑත ඉතිහාසය තුළ මෙවැනි නිමාවකින් ප්‍රකාශයට පත් කළේ අජානා රණගල ගේ ‘අපේ අහ කෙහෙද ලිලි මල්’ කෘතිය පමණක් බව මතකයේ ඇත)

නිසංසලාගේ කවිය පිළිබඳව මගේ විඳීම සටහන් කිරීමට පෙර මේ පූර්විකාව තැබූවේ මෙවැනි කාලයක මෙවැනි නිමාවකින් යුතු කෘතියක් පළ කිරීමේ ගෞරවය කිවිඳියට සහ ප්‍රකාශන ආයතනයට නිසැකවම හිමි විය යුතු බැවිනි.

ඉඳින්, ඉංග්‍රීසි බසින් මෙන්ම සිංහල බසින්ද කාව්‍යකරණයේ නියැළෙන නිසංසලා ගේ අලුත්ම කාව්‍ය සංග්‍රහය My Womb, A Barren Land කෘතිය තුළ ඇය සංගෘහිත කර ඇති කවි සමස්තයක් ලෙස ගත් විට බොහෝ සිංහල භාෂාවෙන් ප්‍රකාශයට පත් වන කාව්‍ය කෘතිවලට වඩා වෙනසක් සනිටුහන් කරන්නේ යැයි සිතේ. ඇයගේ කෘතිය තුළ දෛනික සමාජ, දේශපාලන හා ආර්ථිකමය තේමාවන් අනුභූතීන් ලෙස තෝරා ගන්නා අවස්ථාවන් හමුවන්නේ ඉතාම අවම වශයෙනි. ඒ වෙනුවට ඇයගේ කාව්‍ය සලකුණු කරන්නේ දෛනිකත්වයෙන් ඔබ්බෙහි පවතින පුද්ගල සන්තානය දෙසට යොමු කරන විදුලි පන්දමක් වැනි වූ අභ්‍යන්තරාවර්තී ප්‍රවේශයකැයි සිතේ.

To reach a certain island of a man
She traveled across treacherous waters’
At times worked on thin ice
Not knowing how she will be received
Not sure of her own footsteps
This man like an island
A soul
Hidden from the human eye
Only migrant birds landed once in a while
Maybe like a one-night stand,
She wanted to be a bird that stays
A bird who finds comfort in his abode
And a bird who brings calm
In to his ever so calming world
An Island of a Man
P. 03

An Island of a Man නම් හිස දරන මේ කවිය තුළ ඇය තේමාත්මකව සටහන් කරන්නේ මිනිස් පැවැත්මේ ආත්මීය පැතිකඩක් යැයි සිතේ. මේ සංස්කෘතික සන්දර්භයන් තුළ අප ප්‍රේක්ෂාවන් සියල්ල හිමි කර ගැනීමේ ඉඩක් නැතුවා මෙන්ම ඇතැම් විට සියල්ල හිමිකර ගැනීමේ ප්‍රේක්ෂාව පවා අප අත්පත් කර නොගනී.

Hidden from the human eye
Only migrant birds landed once in a while
Maybe like a one-night stand,
She wanted to be a bird that stays

යමක් හිමි කර ගැනීමේ ප්‍රේක්ෂාව මුදුන් පමුණුවා ගැනීම වෙනුවට හිමි කර නොගැනීම තුළ අපේ ආත්මය සොයා යෑමට අප කැමතිය. මෙය හිමිකර ගැනීම නම් වූ සන්දර්භය සංස්කෘතික වශයෙන්ම ඛණ්ඩනය කිරීමක්ද විය හැකිය. එය මේ යුගයේ මානව පැවැත්මේ එක් විදියක්ද විය හැකිය. මට මේ කවිය පුරා දැනෙන්නේ අප ආත්මය තුළ ඇති අප සොයා යෑමට කැමති නමුත් හිමි කර ගැනීමට හෝ පිළිගැනීමට අකමැති ඉසව්වකට යොමු කරනු ලබන ආලෝකයක් මෙනි. නමුත් එය ආත්මීය වශයෙන් කාංසාමය බවත් අත්පත් කර ගැනීමකි.

My soul, a bombed building යන කවියේ මාතෘකාවම කවියේ තේමා මානය කුමක්ද යන්න හැඟවන හැඟුවුම්කාරකයක් ලෙස පෙනී සිටියි. නිසංසලාගේ කාව්‍යකරණයේ ඇති සුවිශේෂීතාවයක් වන්නේ ඇය පාඨක අඩවිය ආක්‍රමණය කිරීමට දක්වන මැලිකමයි. එමගින් නිසැකවම කියවන්නා තුළ නිර්මාණකරුට මරණය අත්පත් කර දෙමින් කවිය නැවත කියවන්නාට රිසි ලෙස ප්‍රතිරචනා කිරීමේ අයිතිය හිමි කර දීමයි. මෙය එයට කදිම නිදසුන් සපයන කවියකි.

ඇතැම් විට ඇයගේ කාව්‍ය සංරචනා සිනමාරූපීය. ප්‍රබලතාවකින් යුක්තය. දාර්ශනික තේමා මානයන් සිනමාරූපීව කාව්‍යකරණයට හසු කර ගැනීම පහසු නොවූවත් ඇය ඒ සඳහා සමත්කම් දක්වන්නීය. At the Dungeons of Despair එයට නිදසුන් ලෙස ඉදිරිපත් කළ හැකි කවියකි.

At the dungeons of despair, we met
Two women
Who loved the same man’
At two ends of a tunnel
We stood
Slowly walking towards each other’
At the Dungeons of Despair
P -13

කාව්‍යකරණය තුළ දී භාෂාවේ රිද්ම ලක්ෂණ යොදා ගැනීමට ද ඇය අමතක නොකරයි. එමගින් සිය කවිය තුළ ආකෘතිකමය විචිත්‍රයක් ඇති කිරීම කෙරෙහිද අවධානය යොමු කිරීම සාධනීය ගුණයකි.

Falling
falling like the fallen angels
floating
floating like the crown flowers
Sentimental pieces
P – 18

සිය කෘතියට නම් තබන My womb, a barren land නම් කවිය සරලත්වය තුළ ගාම්භීරත්වය සහ විශිෂ්ටත්වය හිමිකරගෙන ඇති කවියකි. My womb, a barren land යන්න ඉතා ප්‍රබල හැඟවුම්කාරකයකි. බැලූ බැල්මටම ගැහැනියකගේ අහිමිවීම් හෝ නොලැබීම් පිළිබඳව සිය පැවැත්ම තුළ වන සාංකාව හෝ සන්තාපය යැයි කියවා ගත හැකි වුවද ඉන් ඔබ්බෙහි ස්ථානගත වන ගැහැනියක සතු ශක්තියත් අහිමිවීම් නොලැබීම් තුළ පවා ජීවිතයේ සාරය අහිමි කර නොගැනීමට ඇය තුළ ඇති ප්‍රේක්ෂාවත් කවිය තුළ ප්‍රබලව නැඟි සිටියි.

Yes,
My womb is a barren land
Yet,
My Heart,
My heart is where everything was,
Everything is’
My Womb” A Barren Land
P – 07

මානව පැවැත්ම පිළිබඳව වන දේශපාලනික කියවීමක් ලෙස සන්දිග්ධාර්ථයෙන් එම කවිය කියවා ගැනීමට මා වඩාත් කැමතිය. ගර්භාෂය ගැහැනියකගේ සිරුරට ඔබ්බෙන් පවතින සමස්ත මානව පැවැත්මේ ගර්භාෂය ලෙසත් එය නිසරු මුඩු බිමක් බවට සම්මත අර්ථය තුළ පත් කළ විට පවා එය තවදුරටත් සරුබිමක් ලෙසත් කියවා ගැනීමට අවශය පුළුල් අවකාශයක් මෙම සංරචනාව තුළ දැකිය හැකිය. ඒ අර්ථයෙන් එය කිසි ලෙසකත් මුඩු බිමක් නොවේ. සියල්ල දරා සිටිනා කෙම් බිමකි.

නිසංසලාගේ මේ කෘතිය තුළ ඕනෑම කවියක් වඩාත් සංදිග්ධාර්ථයෙන් යුතුව කියවා ගැනීමට ඇති හැකියාවත් දෛනිකත්වයෙන් ඔබ්බෙහි පවතින සමස්ත මානව පැවැත්මේ සදාතනික බව පිළිබඳව රචනා කිරීමට ඇය තුළ ඇති කැමැත්තත් සිත වඩාත් තදින් වැළඳ ගන්නා බව කිව යුතුය. මෙවැනි කාංසාමය යුගයක කියවන්නාගේ මනස් තටාකයට රැළිති නංවන කැට ඇහුරක් විසි කිරීම පිළිබඳ වන ගෞරවය නිසංසලා ධර්මසේන බර්තොලමියුස් කිවිඳියට නිසැකවම හිමි විය යුතු බව අවසන් වශයෙන් සටහන් කරමි.

● සෝමසිරි ඒකනායක

advertistmentadvertistment
advertistmentadvertistment