N.M.R.A දත්ත සොරකමේ සුලමුල මොකක්ද?

145

කොරෝනා උණුසුම පරදා ඖෂධ ජාවාරම නොහොත් ඖෂධ මාෆියාව නමැති මාතෘකාව කරළියට පැමිණ ඇත. කොටින්ම, සහල්, කිරිපිටි, ගෑස්, එළවළු ඇතුළු පවතින ජීවන වියදම් ප‍්‍රශ්න පසෙක දමා ජනතාවද අද අවධානය යොමු කර ඇත්තේ මේ ඖෂධ අර්බුදය, එහෙමත් නැත්නම් ඖෂධ මාෆියාව ගැන කෑ මොර දෙන කතා ගැනය.

මෙම මාතෘකාවෙන් පාර්ලිමේන්තුව ද උණුසුම් වී ඇති අතර, සෞඛ්‍ය සම්බන්ධ හිටපු හා ඉන්න ඇමැතිවරු වාග් ප‍්‍රහාරවල පැටලී සිටිති. සෞඛ්‍ය වෘත්තීය සමිති හා තවත් බොහෝ දෙනකුගේම මාතෘකාව ඖෂධ මාෆියාවය. එසේ හෙයින් පෙර කී පරිදි කොරෝනා වසංගතයට දිනපතා කී දෙනකු ගොදුරු වන්නේද….හෝ කී දෙනෙක් ඉන් මිය යන්නේද යන්නවත් ගැන දැන් හරි හැටි අවධානයක් නැත. කොටින්ම ‘‘නොදැනම දරුවන් ඇකයෙන් වැටුණා” කියන්නා සේ ‘‘නොදැනම මුහුණේ ඇති මාස්ක් ගිලීහී වැටෙන තරමටම” ඖෂධ මාතෘකාව උණුසුම්ව කතා කරති. සෞඛ්‍ය අමාත්‍යංශයට, එහි මාධ්‍ය ප‍්‍රකාශවරුන්ට ද දැන් කොරෝනාවලට වඩා ඖෂධ අර්බුදය ගැන අවධානය යොමුකරන්නට සිදුව ඇත.

මෙසේ එකවරම ඖෂධ ජාවාරමක් හෝ ඖෂධ මාෆියාවක් ගැන බෝම්බයක් පිපිරී ගියේ එන්. එම්.ආර්.ඒ. නොහොත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ෆයිල් ලක්ෂ ගණනක් එම පරිගණක පද්ධතියෙන් මැකීයාමේ සිද්ධියක් අනාවරණය වීමත් සමගය. දැන ගන්නට ඇති පරිදි මෙසේ මැකී ගොස් ඇති ඩිජිටල් ලිපිගොනු සංඛ්‍යාව ලක්ෂ 10 කට වැඩිය. ආරම්භයේදී දින කිහිපයක් එහාට මෙහාට දෝලනය වෙමින් පැවති මේ ප‍්‍රවෘත්තිය බෝම්බයක් බවට පත් වී ඇත්තේ මේ දත්ත මැකී යාමේ සිද්ධියට අදාළව වගකිව යුත්තන් යැයි හැෙ`ගන පිරිස් නිල නොවන වගඋත්තර බඳින්නට පටන් ගැනීමත් සමගය. මිලියන, බිලියන ගණනින් සිදුවන මේ රටේ ඖෂධ වෙළෙඳාමේ නියාමනය සඳහා පිහිටුවා තිබෙන ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියට රිංගා එම දත්ත සොරකමට ලක්කිරීම (මකා දැමීමද සොරකමක් ලෙස සලකා කටයුතු කරමු) ලෙහෙසි, පහසු කටයුත්තක් නොවේ. කොටින්ම ලෙහෙසියෙන්, පහසුවෙන් අතහැර දමන්නට පුළුවන් දෙයක් නොවේ. අපගේ විශ්වාසයේ හැටියට මේ කටයුත්ත ජාතික ආරක්ෂාව සම්බන්ධ ප‍්‍රශ්නයක් ද වන බැවින් (රජයට අයත් ලිපිගොනු අස්ථාන ගතකිරීම) වහා මේ පිළිබඳව සොයාබලා රටට ඇත්ත හෙළිදරව් කිරීම ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ජාතික හා රාජ්‍ය බුද්ධි සේවාවල කටයුත්තක් විය යුතු බවද අප විශ්වාස කරන්නෙමු.

ඖෂධ, වෙළෙඳාමක් පමණක් නොව බිලියනවලින් ගණන හදන මහා ජාවාරමක් බවට පත්වන්නේ අද ඊයේ සිට නොවේ. බුදුන්වහන්සේ දේශනා කරන ලද, කරන්නට නුසුදුසු වෙළෙඳාම් 5 ක් වන – සත්ත්ව හිංසාව පිණිස වන ආයුධ වෙළෙඳාම, මස් පිණිස සතුන් වෙළෙඳාම, මත්ද්‍රව්‍ය වෙළෙඳාම, වහල් වෙළෙඳාම සහ විස වෙළෙඳාමෙන් පසු ඊළඟ තැනට ගතහැකි ඖෂධ වෙළෙඳාම අද ලෝකයේ සුපිරිතම මාෆියා ව්‍යාපාරයකි. හරියටම කල්පනා කර බලන්නේ නම්, මේ ඖෂධ කර්මාන්තය තුළ මත් පෙති, මත් සිරප් වර්ග, මාත‍්‍රාව අඩු-වැඩි වුවහොත් විෂ වී මරණ සිදුවීම යනාදිය සිදුවන ඖෂධ තොග ගණනින් හුවමාරු වන නිසා එක් අතකින් ඖෂධ යනු අකැපයි කියන මත් කර්මාන්තයට හා විෂ වෙළෙඳාමට යන දෙඅංශයටම ගැනෙන මිනිස් සදාචාරය සහ මිනිස් ආත්මය පවා සූරාකන කළුකඩ ව්‍යාපාරයකි. එනිසා ඖෂධ යනු ප‍්‍රකෝටිපතියන් බිහිකරන, ලොව සුපර් ක්ලාස් සමාජයේ ව්‍යාපාරයකි. ඒකාධිකාර ව්‍යාපාරයකි.
ඖෂධ නිෂ්පාදනය, ආනයනය, අපනයනය, බෙදාහැරීම පමණක් නොව, ඖෂධ නිර්දේශ කිරීමද තනිකරම මාෆියාවක කොටසක් බවට අද පත්ව ඇත. (ලෙඩුන්ට විවර නොවන දොස්තරවරුන්ගේ දොරවල් කළු පෙට්ටි ඔසවාගෙන එන ඖෂධ කාක්කන්ට විවෘත වන අයුරින් එය පැහැදිලිය.) නොහොත්, මේ කර්මාන්තයේ සිටින්නේ මහා සමාගම් අතලොස්සක් හා ලොව පුරා ජාල ගතව සිටින, කොමිස් කුට්ටි පිටින් මෙන්ම අධික ලාභාංශ ලබන නියෝජිත පිරිසකි. ජනතාව ලෙඩුන් බවට පත්කිරීමේ ක‍්‍රියාවලියද මෙහෙයවමින් මොන්සන්ටෝ වැනි බොහෝ බහුජාතික සමාගම් එක් පැත්තකින් කෘෂි රසායන නිෂ්පාදනය සිදුකර ලෝකය පුරා බෙදාහරින අතර, තවත් පැත්තකින් වකුගඩු, පිළිකා වැනි රෝග සඳහා ඖෂධ නිපදවීමේ කර්මාන්තශාලා ද පවත්වාගෙන යනු ලබන බව කියනු ලැබේ. මේ කතා ශ‍්‍රී ලංකාවේ මාධ්‍යයට කීවේ අද ඖෂධ රාජ්‍ය ඇමැති වී සිටින මහාචාර්ය චන්න ජයසුමන මහතා රජරට කොටින්ම, ඔළුවේ කැක්කුමකට බොන, අප හොඳින් දන්නා පැරසිටමෝල් පෙත්තට විවිධ නම් වර්ග භාවිත කරමින් වෙළෙඳ නාම රාශියක් යටතේ අපේ රටේ පවා ඖෂධ වෙළෙන්දන් විසින් ජනතාව සූරාකන අන්දම ජනතාවට රහසක් නොවේ. මේවා ගැන කතා කර, ඖෂධ නියාමන අධිකාරියක් වැනි, ජනතාව වෙනුවෙන් ජාතික ඖෂධ ප‍්‍රතිපත්ති හදන්නට උත්සාහ කළ සේනක බිබිලේ වැනි සුව විරුවන් අභිරහස් ලෙස අකාලයේ අප අතරින් සමුගෙන ගිය අයුරුද අප ඉතා හොඳින් දන්නා කාරණාය.

කෙසේ හෝ ඖෂධ නියාමන අධිකාරිය සතු දත්ත මකා දැමීම සරල කටයුත්තක් නොවේ. මෙවන් දෙයක් ගෝඨාභය රාජපක්ෂ වැනි මහත්මා ආණ්ඩුවක් යටතේ සිදුවීම ගැන ජනතාව කළකිරීමකට පත්ව සිටින අතර, එය ආණ්ඩුවේ ජනප‍්‍රියත්වය අඩුවීම කෙරෙහි ඍජුව බලපාන බව අපගේ විශ්වාසයයි. එසේ හෙයින් ජනාධිපතිවරයාගේ ඍජු මැදිහත්වීම මත මේ පිළිබඳව සොයා බලා කටයුතු කිරීම ජනතා අපේක්ෂාවයි. ඒ සඳහා පරීක්ෂණ කඩිනම් කිරීම සඳහා සහ විනිවිද බවකින් සිදුකිරීම සඳහා ඉක්මන් පියවර ගත යුතුව තිබේ. සෞඛ්‍ය වෘත්තීය සංගම් පවසන්නේ මේ සඳහා අඩුම තරමින් සෞඛ්‍ය කැබිනට් අමාත්‍යවරයා වෙත ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වගකීම් පවරා මේ මොහොතේ පරීක්ෂණ කටයුතු සිදුකළ යුතු බවය. මේ පිළිබඳව අදහස් දක්වන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති, රවී කුමුදේශ් මහතා මාධ්‍යයට කියා ඇත්තේ ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාගෙන් මේ පරීක්ෂණ ඉවත් කර, සෞඛ්‍ය කැබිනට් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත පරීක්ෂණ භාරදීමටවත් ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවයි.

කුමුදේශ් මහතා පවසන්නේ මේ ඖෂධ මාෆියාව පිටුදකින්නට නම්, වහාම රට තුළ නිෂ්පාදනය කරන්නට හැකි ඖෂධ නිෂ්පාදනය සඳහා රාජ්‍ය අංශය මෙන්ම, මේ දක්වා ලියාපදිංචි වී සිටින දේශීය සමාගම් 36 කට එම අවස්තාව ලබා දිය යුතු බවයි.

‘‘අපේ රටට චීන කොවිඩ් එන්නත ගෙනෙන්නත් ඩොලර් 15 ක් විතර වියදම් කරනවා. නමුත් ඩොලර් 6-7 කින් කොරෝනා කොවිඩ් – 19) එන්නත රට තුළ හදන්න පුළුවන් සමාගම් ඉදිරිපත් වෙලා ඉන්නවා. ඇයි ඔවුන්ට අවස්ථාව දෙන්නේ නැත්තේ. බොහෝ ඖෂධ වර්ග රට තුළ නිපදවන්න පුළුවන්. ලංකාවට ගෙනෙනකොට රුපියල් ලක්ෂ 10 ක් විතර වෙන ටොසිඬේක්සුමා වැනි ඖෂධ රුපියල් 40,000 කින් ලංකාවේ හදන්න පුළුවන්. ඇයි මේවට අවස්ථාව දෙන්නේ නැත්තේ. ඖෂධ මාෆියාවක් රට තුළ තියෙන හින්ද. ඖෂධ නිෂ්පාදනය, ගෙන්වීම, බෙදාහැරීම අද තනිකරම ජාවාරමක්. මාෆියාවක්. වෙන කාටවත් සමාගම්, පුද්ගලයින්ට මේකට ඇතුල් වෙන්න දෙන්නේ නෑ. මේ සේරම කරන්නේ ඖෂධ නියාමන අධිකාරිය සම්බන්ධ වෙලා. මේ දත්ත මැකීමේ ක‍්‍රියාදාමය පසුපසත් තියෙන්නේ ඒ සම්බන්ධකම් තමයි. ඖෂධ කර්මාන්තය, ගෙන්වීම බෙදාහැරීම තියෙන්නෙත් වෙනම සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයෙක් යටතේ. ඒක නියාමනය කරන ආයතනය තියෙන්නෙත් ඒ ඇමැතිවරයා යටතේ. කොච්චර විනිවිද පෙනෙන ආකාරයෙන් රටේ කටයුතු සිදුවෙනවද කියල මේවගෙන් පෙනේනේවනේ….’’ රවී කුමුදේශ් මහතා සඳහන් කරයි.

ඔහු තවත් තර්කයක්ද මතු කරයි. එනම්, දත්ත මැකී ඇත්තේ ඖෂධ නියාමන අධිකාරියේය. නමුත්, යහපාලන කාලයේදී ඖෂධ මිලදී ගැනීමේ යම් අක‍්‍රමිකතාවක් සිදුව ඇත්තේනම් එය සිදුවන්නේ රාජ්‍ය ඖෂධ සංස්ථාව තුළය. එසේ නම් ඔහු අසන්නේ ඖෂධ සංස්ථාවේ දත්තත් මැකිලාද යන්නය. ‘‘2019 ජූලි මාසය දක්වා ඖෂධ නියාමන අධිකාරිය විසින් තොරතුරු සටහන් කිරීම පවත්වාගෙන ආවේ මැනුවල් ක‍්‍රමයට. ඒ කියන්නේ අතින් ලියා පොත් පත්, ලිපිගොනු තබන විදිහට. ඒ වෙනකම් සිදුකළ ගනුදෙනු විතරක් නෙමේ…දත්ත ඩිජිටල්කරණය කරපු 2020 ජනවාරි දක්වා තොරතුරු පොත් පත්, ලිපි ගොනු තුළ තිබෙනවා. අපි චන්න ජයසුමන ඇමැතිවරයාට කියනවා මේ පොත් පත්වලින් වැරදිකාරයින් හොයල දඬුවම් දෙන්න කියල. අනික රාජ්‍ය ඖෂධ සංස්ථාවේ දත්ත මැකිලා නැති නිසා වහාම හොයන්න. දත්ත මැකෙන කම්ද හිටියේ පරීක්ෂණ කරන්න. කරුණාකර මේ පරීක්ෂණ මේ ඇමැතිවරයාගෙන් ඉවත් කරල සෞඛ්‍ය කැබිනට් ඇමැතිවරයාට දෙන්න කියල අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා” ඔහු වැඩිදුරටත් කියයි. එසේම වහාම ඖෂධ නිෂ්පාදනය සඳහා දේශීය යාන්ත‍්‍රණයට පණ දෙන ලෙස ඔහු ඉල්ලා සිටී.

වාර්තා වන පරිදි දේශීය සමාගම් 36 ක් ඖෂධ නිෂ්පාදනය සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය සමග ලියාපදිංචි වී පොරොත්තු ලේඛනයේ සිටී. නමුත් ඔවුන්ට ඇති ප‍්‍රශ්නය මේ සඳහා ඔවුන්ට ක්ෂේත‍්‍රයට පිවිසෙන්නට ඔය කියන ජාතික ඖෂධීය නියාමන අධිකාරියෙන් සිදුවන කෙනෙහිලිකම්ය. නැතහොත් අවසර හෝ බලපත‍්‍ර නොදී සිටීමය. සැබවින්ම ඖෂධ ඒකාධිකාරයට සහ ඖෂධ මාෆියාවට හොඳම විසඳුම ලෙස අපට පෙනෙන්නේ රටේ නිෂ්පාදනට කළ හැකි ඖෂධ රට තුළම නිෂ්පාදනය කිරීමය. වැඩි කොමිසම් පිට හා අධික ලාභ පසුපස දුවන්නට එවිට සමාගම් කිහිපයකට හැකියාව ලැබෙන්නේ නැත. නමුත් වත්මන් ආණ්ඩුව යටතේ දේශීය ආර්ථික චින්තනයට මුල්තැන දෙමින් ජනපතිවරයා ගෙන යන වැඩපිළිවෙල යටතේ එය ඉටු නොවන්නේ මන්දැයි ගැටලූවකි. වත්මන් ඖෂධ රාජ්‍ය අමාත්‍යවරයා යටතේ හෝ එය ඉටුනොවන්නේ මන්දැයි අපට ප‍්‍රශ්නයක් තිබේ. රට තුළ ඖෂධ නියාමන අධිකාරියක් පිහිටුවනු ලබන්නේ මෙසේ මේ සිදුවන ඖෂධ ජාවාරම් සඳහා සහ ඖෂධ මාෆියාවට තිත තබා, (මතට තිත මෙන්,) ජනතාවට සහන සලසා රටේ මුදල් අක‍්‍රමිකතා වළක්වා ගැනීම සඳහාය. රටේ ඩොලර් සංචිත හිඟයක් පවතින මෙවන් මොහොතක ඒ බව අපට ඉතා හොඳින් පසක් වේ.

අප ඊට දකින විසඳුම නම්, ජාතික ඖෂධ නියාමන අධිකාරිය ස්වාධීන ආයතනයක් බවට පත්කිරීමත්, එම අධිකාරිය ඖෂධ නිෂ්පාදනය සහ සැපයුම සිදුකරන රාජ්‍ය ඖෂධ සංස්ථාව හා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව භාරව (ඇතුළු ඖෂධ ගෙන්වීම හා බෙදාහැරීම සිදුකරන පෞද්ගලික සමාගම්) කටයුතු කරන ඇමැතිවරයාගෙන් ව්‍යුක්තව කැබිනට් අමාත්‍යවරයා භාරයේ හෝ පවත්වාගෙන යෑමත්, හැකිතරම් ඖෂධ හා වෛද්‍ය උපකරණ සැපයුම් සේවා සඳහා දේශීය ව්‍යාපාරිකයින්ට අවස්ථාව ලබාදීමත් සිදුකළ යුතු කාරණාය. එසේම ඖෂධ නියාමන අධිකාරියේ දත්ත සොරුන් සොයා නිසි දඬුවම් දීමද අත්‍යවශ්‍යය.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment