(NMRA දත්ත මැකීම) මකපු එකාවත් මකමු

1130

ලෝකයේ වැඩිම ආදායමක් උපදවන නිල නොවන බිස්නස් එක කුඩු බිස්නස් එකය. අන්තර්ජාතික කුඩු බිස්නස් එකේ අවුරුද්දක වටිනාකමත් ලෝක ආර්ථිකයේ අවුරුද්දක වටිනාකමත් එක සමාන වෙමින් පවතින බව සොයාගෙන තිබේ. ලෝකයේ වැඩිම ආදායම් ලබන තවත් බිස්නස් දෙකක් තිබේ. ඉන් පළමුවැන්න ආයුධ බිස්නස් එකය. දෙවැන්න බෙහෙත් බිස්නස් එකය. වැඩිදෙනා නොදන්නවාට මේ බිස්නස් දෙකෙන් අවදානම අඩු, ලාභ වැඩි ව්‍යාපාරය බෙහෙත් බිස්නස් එකය. ලෝකයේ වැඩිම ආදායමක් උපදවන බෙහෙත් කොම්පැනිය ජොන්සන් ඇන්ඞ් ජොන්සන් ය. ගිය අවුරුද්දේ එහි වාර්ෂික ආදායම ඩොලර් බිලියන 56 කි. ෆයිසර් එන්නත නිසා මේ රටේ ජනයා අතර අමරණීය නාමයක් බවට පත්ව තිබෙන ෆයිසර් කොම්පැනිය ගිය අවුරුද්දේ රුපියල් බිලියන 51.75 ක් ඉපදවීය. ප‍්‍රංශයේ රෝෂ් සමාගම ඩොලර් බිලියන 49 ක් උපදවා ඇත. සාමාන්‍යයෙන් ප‍්‍රංශයේ ගැමි පළාත්වල ඉඩම්වලින් 50% ක් පමණ රෝෂ් සමාගමට අයත්ය. ලෝකයේ පැරණිම ගුහා චිත‍්‍ර සහිත ලස්කෝ ලෙන පිහිටි ඉඩම ද රෝෂ් සමාගමේ පාරම්පරික ඉඩමකි. එමතුදු ද නොව ලෝකයේ ලොකුම බෙහෙත් කොම්පැනිය ද රෝෂ් ය. මේ අතර ග්ලැක්සෝ ස්මිත් ක්ලයින් සමාගම ගිය අවුරුද්දේදී ඩොලර් බිලියන 44.27 ක් උපදවා ඇත. ඉහත සඳහන් සමාගම් හතරට අමතරව ඩොලර් බිලියන 40 ට එහා පැත්තේ වාර්ෂික ආදායම් ලබන බෙහෙත් කොම්පැනි තවත් 500 ක් පමණ ලෝකයේ තිබේ. ජොන්සන් ඇන්ඞ් ජොන්සන් සමාගමේ වාර්ෂික ආදායම ලංකාවේ වාර්ෂික ආදායමෙන් තුනෙන් දෙකකි. ග්ලැක්සෝ ස්මිත් ක්ලයින් සමාගමේ වාර්ෂික ආදායම ශ‍්‍රී ලංකාවේ ජාතික ආදායමෙන් භාගෙකට ස්වල්පයක් වැඩිය. ඒ අනුව මේ පෘථිවි තලය මත තිබෙන ඖෂධ සමාගම් වැඩි හරියක් ධනවත් රාජධානි හා සමානය. මෙහි නම් සඳහන් සියලූ ඖෂධ සමාගම් සමග ඖෂධ නියාමන අධිකාරිය ගනුදෙනු කර තිබේ. ඒ ගනුදෙනු අඩංගු ලිපි ගොනු එකොලොස් ලක්ෂයක් පසුගියදා මකා දමන ලද බව මේ කියවන මොහොතේදීත් ඔබට ඉතා හොඳින් මතකය. මැකූ දත්ත වැඩිහරියක් යහපාලන ආණ්ඩු කාලයේ බෙහෙත් ගනුදෙනුවලට අදාළ බව කියනු ලැබේ. මකා දමන ලද දත්ත සංඛ්‍යාවේ ඩිජිටල් වටිනාකම ටෙරා බයිට් 3 කි. සාමාන්‍යයෙන් ටෙරා බයිට් 3 ක දත්ත කඩදාසිවල සටහන් කළොත් කොළඹ නගර ශාලාව හා සමාන ඉඩක පුරවා තැබිය යුතු වෙයි. NMRA හෙවත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය මේ වෙලාවේ පත්ව තිබෙන තත්ත්වය මහත් සේ අවදානම් වීමට පුළුවන. වසර ගණනාවක් තිස්සේ එම අධිකාරිය හරහා අනුමැතිය ලැබ රට තුළට පැමිණි බෙහෙත් වර්ග කෝටි ගණනක විස්තර අද වනවිට තවදුරටත් නැත. ඒ නිසා අලූතින් එන සෑම බෙහෙත් ටෙන්ඩරයක්ම පරික්ෂා කළ යුතු තත්ත්වයක් මතුවී තිබේ. හෘද රෝගියකුට, පිළිකා රෝගියකුට හෝ වෙනත් අසාධ්‍ය රෝගියකුට අවශ්‍ය බෙහෙතක් පිටරටින් ගෙන්වන විට ඒ පිළිබඳ සියලූ විස්තර NMRA පරිගණක දත්ත ගබඩාවට ඇතුල් කරනු ලැබේ. එම ඖෂධවලට අනුමැතිය ලැබෙන්නේ එම දත්ත තවදුරටත් පරීක්ෂා කරමින් හා වෙනත් සමාන ඖෂධවල දත්ත සමග සැසඳීමෙන් පසුවය. NMRA දත්ත ගබඩාව මැකී යෑමෙන් පසු ඉහත සඳහන් ඖෂධය දෙවන වරට ගෙන්වන රෝගීන්ට මාරයා සමග දින කිහිපයක් කතා කරමින් සිටීමට සිදුවේ. එයට හේතුව එම ඖෂධය වහා අනුමත කරදීම සඳහා අවශ්‍ය පැරණි දත්ත NMRA දත්ත ගබඩාවේ මේ වන විට නැති බැවිනි. මේ ආකාරයෙන් ඖෂධ පිළිබඳ දත්ත ගබඩාවක් විනාශ කළ විට ඕනෑම හොර කොම්පැනියකට කඩිමුඩියේම මෙරටට ඖෂධ ගෙන්වීමට පුළුවන. ලෙඩා මළොත් ඇතිවිය හැකි තත්ත්වය බරපතල බැවින් වැඩිදුර කල්පනා නොකරම ඖෂධවලට අනුමැතිය දීමට ඖෂධ නියාමන අධිකාරියට සිදුවේ. මේ නිසා මෙරට ජනතාවගේ සෞඛ්‍ය මාර මුඛයට ඇද වැටී ඇත.

දත්ත මැකීම පිළිබඳව හෙළිවී ඇති අලූත්ම තොරතුරුවලට අනුව විත්තිකාර දේශද්‍රෝහියා දත්ත මැකීම සිදුකර ඇත්තේ තුන් වතාවක් පරිගණකයට විධාන දීමෙන් පසුවය. සාමාන්‍යයෙන් සංවේදී දත්ත අඩංගු පරිගණක ගබඩාවලින් එම දත්ත ඉවත් කිරීම සඳහා විධානයක් දුන් විට පරිගණකය ස්වයංක‍්‍රීයව එම විධානය ක‍්‍රියාත්මක කිරීම ප‍්‍රතික්ෂේප කරමින් දත්ත මකා දැමිය යුතු දැයි ප‍්‍රශ්න කරයි. එය එසේ කළ යුතු බවට දෙවන විධානය දුන්විට එසේ කළ යුතු බව ෂුවර් දැයි පරිගණකය පෙරළා විමසයි. එහිදී සිදුවන්නේ දෙවන වතාවටත් විධානය ප‍්‍රතික්ෂේප වීමය. දත්ත මකා දමන්නැයි තුන්වන වරටත් විධානය දුන්විට Deleting… යනුවෙන් පරිගණක තිරය මත දර්ශනය වී තත්පර 15 ක් පමණ දත්ත මැකීම අත්හිටුවයි. මේ තත්පර 15 තුළදී විධානය ක‍්‍රියාත්මක කරනවාද නැද්ද යන කාරණය පිළිබඳ කල්පනා කිරීමට විධානකරුවාට පුළුවන. NMRA දත්ත මැකු දේශද්‍රෝහියා එය නොමකන ලෙසට පරිගණකය තුන් වතාවක්ම කළ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර ඇත. මෙයින් හැඟී යන්නේ ලේ මස් නහර ඇති සැබෑ මනුෂ්‍යයා පෙර කී පරිගණකය බවය. දත්ත මැකූ එකා තනිකර යකඩ ගොඩකි. ඒකා Scrap Metal ලෙස සලකා හෙවත් අබලි යකඩ ලෙස සලකා යකඩ උණු කරන තැනකට කිලෝ ගණනට විකුණා දැමිය යුතුය. සාමාන්‍යයෙන් ඇතැම් රටවල ආයුධ දත්ත ගබඩා මකා දමනු ලැබේ. පරිගණක දත්ත ගබඩාවක් මකන ලද පළමු අවස්ථාව මෙයද?

advertistmentadvertistment
advertistmentadvertistment