NMRA දත්ත මැකීම රිමාන්ඞ් භාරයේ සිටි මෘදුකාංග ඉංජිනේරුවාට ඇප

95

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් පරිගණක දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සහකාර මෘදුකාංග ඉංජිනේරුවරයකු වන ප‍්‍රමෝද් දිලූප රාමනායක නමැත්තා දැඩි ඇප කොන්දේසි පනවා ඇප මත මුදා හැරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඊයේ (17 දා)  නියෝග කළේය.

විදේශගත වීම වළක්වන නියෝගයක් පනවා විදේශ ගමන් බලපත‍්‍රය අධිකරණයට භාරදීමේ කොන්දේසියට යටත්ව රුපියල් 50,000ක මුදල් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත එෆික් ලංකා ටෙක්නොලොජිස් සමාගමේ සේවය කළ එම සැකකරුව මුදාහැරීමට ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා එහිදී නියෝග කළේය.

එම නඩුව ලබන ජනවාරි 27 වැනිදා යළි කැඳවීමට ද ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධික සී. රාගල මහතා වැඩිදුරටත් නියෝග කළේය.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ උපදෙස් පරිදි නීතිඥ මිගාර කොඩිතුවක්කු මහතා සැකකරු වෙනුවෙන් පෙනීසිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment