QR නොතැකූ ෂෙඩ් 66 ක් අමාරුවේ: අයි.ඕ.සී. ෂෙඩ් 26 කුත් ඒ අතර

88

කිව්. ආර්. ක්‍රමය නොතකා ඉන්ධන බෙදාහැරීම් සිදුකළ ඉන්ධන හල් 66කට ඉන්ධන නිකුත් කිරීම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අත්හිටුවා ඇත.

ඛනිජ තෙල් නීතිගති සංස්ථාවේ සිපෙට්කෝ ඉන්ධන හල් 40කට මීට පෙර ඉන්ධන සැපයීම අත්හිටුවා තිබූ අතර ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධන හල් 26 ට ඉන්ධන නිකුත් නො කිරීමට තීරණය කර ඇත්තේ ඊයේ (07 දා) දිනයේ සිටය.

ඛනිජ තෙල් සංස්ථාව විසින් ගත් මෙම පියවර අගය කරන බව ඉන්ධනහල් හිමියන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා ‘දිවයින’ට ඊයේ (07 දා) පැවසීය.

රජය හඳුන්වා දී ඇති කිව්. ආර්. ක්‍රමයට ඉන්ධන නිකුත් කරන ලෙස දැනුම් දී තිබිය දී එම උපදෙස් කඩ කරමින් ඉන්ධන බෙදා හැරීම නිසා ඉන්ධන හල් 66කට ඉන්ධන නිකුත් කිරීම තහනම් කර ඇති බවත්, ඔවුන්ට නියමිත ක්‍රමවේදයට ඉන්ධන නිකුත් කරන ලෙස තම සංගමය ද දැනුම් දී තිබූ බවත් ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා කීය.

මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ ලේකම් කපිල නාඔටුන්න මහතා කියා සිටියේ ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධන 26කට ඉන්ධන නිකුත් කිරීම තහනම් කර ඇතත්, එම ඉන්ධන හල් නාගරික ඉන්ධනහල් නොවන බවය. කිව්. ආර්. ක්‍රමවේදයෙන් බාහිරව සිපෙට්කෝ ඉන්ධනහල්වල ඉන්ධන නිකුත් කිරීම නිසා එම ඉන්ධන හල් 40කට ඉන්ධන නිකුත් කිරීම තහනම් කර තිබෙනවා. එම නීතිය ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධන හල්වලට ද ක්‍රියාත්මක කළ බව හැඟවීමට එම ඉන්ධන හල් 26 ට ඉන්ධන සැපයීම තහනම් කළත් එය සාධාරණව ගත් තීරණයක් ලෙස සිතිය නොහැකි” යැයි ද ඔහු කීවේය.

මේ අතර කොළඹ අවට ඉන්ධනහලේ හිමියකු ප්‍රකාශ කර සිටියේ අධිකරණ විනිසුරුවරුන්, මැති ඇමැතිවරුන්, රාජ්‍ය ආයතනවල අත්‍යවශ්‍ය සේවා, වෛද්‍යවරුන්, ගිලන් රථ ඇතුළු අත්‍යවශ්‍යම සේවාවලට ‘කිව් ආර්’ ක්‍රමයට පිටින් ඉන්ධන නිකුත් කිරීමට සිදුවන අවස්ථාව පැන නඟින බවය. ඇතැම්විට කොළඹ ජාතික රෝහලේ රෝගියකු ටිකට් කපා අම්පාර, මඩකලපුව හෝ වෙනත් ප්‍රදේශයකට යායුතු නම් ‘කිව් ආර්’ ක්‍රමයට ඉන්ධන නිකුත් කර ඔවුන්ගේ අපේක්ෂා සපුරාගත හැකි ද යන්න බලධාරීන් සිතා බැලිය යුතු යැයි ද ඔහු කීවේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment