QR වාසිය කාටද – ඇප් එකට කීයද  – ගෙවන්නෙ කාටද  – රටට හෙළි කරන්න – ආනන්ද පාලිත

205

ජාතික ඉන්ධන අවසර පත් ක්‍රමය හෙවත් QR ක්‍රමයට අදාළ ඇප් එක සකස් කිරීමට තෝරාගත් සමාගම හා එහි හිමිකරු හෙළිකර ඒ සඳහා රජය මගින් අදාළ සමාගමට ගෙවීමට එකඟවී තිබෙන මුදල කොපමණ ද යන්න රටට හෙළි කළ යුතුව ඇතැයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා කියා සිටී.

මෙම ඇප් එක හඳුන්වා දුන්න ද මේ දක්වා ඇප් එක භාවිතා කර ජනතාවට ඉන්ධන ලබාගැනීමට හැකි වී නැතැයි ද ඒ මහතා කීය. මෙරට යතුරුපැදි ඇතුළු වාහන ලක්‍ෂ අසූදෙකක් පමණ ඉදිරි කාලයේ ලියාපදිංචිය ලබාගත යුතුව ඇතැයි ද ඒ මහතා කියා සිටී.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව මෙවැනි ඇප් එකක් හඳුන්වාදීමේදී අනුගමනය කළ ක්‍රමවේදය පිළිබඳ ප්‍රශ්න ගණනාවක් මතුව ඇතැයි ද අධ්‍යක්‍ෂ මණ්ඩලය ඊට අනුමැතිය ලබා දුන්නේ ද, කැබිනට් අනුමැතිය ලැබුණේද යන්න හෙළි කළ යුතුව ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

මෙම ඇප් එකට අනුමැතිය ලබාදීමේදී ඊට නීත්‍යානුකූල අවසරයක් ලබාගත යුතු බවත් මේ වනවිටත් අදාළ ඇප් එකට අදාළ සටහන මුද්‍රණය කර ගැනීම සඳහා බොහෝ අය රුපියල් දෙසීය, තුන්සීය බැගින් කොමිනිකේෂන් ආයතන සඳහා ගෙවන බවත් ඒ මහතා පැවසීය.

මෙම ඇප් එක ඩවුන් ලෝඩ් (බාගත) කර ගැනීමේදී ඇප් එකේ නිර්මාණකරුට රුපියල බැගින් මුදලක් ලැබුණත් එම මුදල් ප්‍රමාණය රුපියල් ලක්‍ෂ 82 ක් යැයි ද ඒ මහතා පැවසීය. එනිසා ප්‍රායෝගිකව තාමත් ක්‍රියාත්මක නොවන ‘තෙල් ඇප් එක’ සම්බන්ධව අනුගමනය කළ හා අනුමැතිය ලබාගත් ආකාරය පිළිබඳව රටේ ජනතාව දැනුවත් කළ යුතු බවද ආනන්ද පාලිත මහතා කියා සිටී.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment