SDIG රන්මල් ව්‍යාපාරිකයෙකුට පහරදීමේ සිද්ධිය සොයන්න විශේෂ පොලිස්‌ පරීක්‌ෂණයක්‌

400

සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා විසින් රත්නපුර නගරයේ ව්‍යාපාරිකයකුට මහමගදී පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝගය මත විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.

පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසන අන්දමට මෙම සිද්ධිය වී ඇත්තේ පෙරේදා (25 වැනිදා* දහවල් කාලයේදීය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය නිලධාරීන් පිරිසක් සම`ග රාජකාරි කටයුත්තක් සඳහා යමින් සිටියදී මෙම ව්‍යාපාරිකයා සිය මෝටර් රථය මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනය කර ඇත.

අවස්ථා කීපයකදීම ව්‍යාපාරිකයා සිය මෝටර් රථය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ගමන් ගත් ජීප් රථයට වෙට්ටු දමමින් ධාවනය කර තිබේ.

එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මෙම මෝටර් රථය නතර කර පරීක්‍ෂා කිරීමට උත්සාහ කිරීමේදී එය පදවාගෙන ආ ව්‍යාපාරිකයා පොලිස් නිලධාරීන් සම`ග වාදයකට පැටලී ඇත.

ඒ වනවිට මෙම ව්‍යාපාරිකයාගෙන් දැඩි මත්පැන් ගඳක්ද වහනය වෙමින් පැවැති අතර මාර්ග නීති උල්ලංඝනය කිරීම රාජකාරියට බාධා කිරීම සහ මත්පැන් පානය කර රිය පැදවීම යන චෝදනා යටතේ මොහු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් උත්සාහ කර ඇත.

එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ව්‍යාපාරිකයාට පහර කීපයක් එල්ල කර ඇති අතර එහිදී දැඩි උණුසුම් තත්ත්වයක් ද උද්ගත වී තිබේ.

ව්‍යාපාරිකයා පොලිස් නිලධාරීන්ට බැණවදිමින් අත්අඩංගුවට ගැනීමට සිය විරෝධය පළකර තිබිණි.

පසුව වෙනත් පොලිස් කණ්ඩායමක් පැමිණ ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන ඔහුගේ මෝටර් රථය ද පොලිසියට රැුගෙන ගොස් තිබේ.

සැකකාර ව්‍යාපාරිකයා මත්පැන් පානය කර තිබේ දැයි පරීක්‍ෂා කර ඇති අතර එහිදී හෙළි වූයේ ඔහු ඒ වනවිට මත්පැන් පානය කර සිටි බවයි.

අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා පොලිස් ඇප මත මුදාහැර තිබිණි.

මෙම සිද්ධියට අදාළ වීඩියෝපටයක් සමාජ ජාලා වෙබ් අඩවිවල ප‍්‍රචාරය වීම නිසා මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීමට පොලිස්පතිවරයා විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ‘‘දිවයින’’ කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා කියාසිටියේ මාර්ග නීති උල්ලංඝනය කරමින් බීමත්ව රිය ධාවනය කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී ඔහු පොලිස් නිලධාරීන්ට මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවට ඉතාම පහත් ආකාරයට පරිභව කරමින් බැණ වැදුණු බවයි.

රාජකාරියට බාධා කිරීම, මාර්ග නීති උල්ලංඝනය කිරීම සහ බීමත්ව රිය පැදවීම යන චෝදනා යටතේ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවද කොඩිතුවක්කු මහතා කියා සිටියේය.

සැකකරු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ ඔහු කලහකාරී ලෙස හැසිරීම නිසා ඔහු පාලනය කිරීමට අවම බලය පාවිච්චි කිරීමට සිදු වූ බව ද රන්මල් කොඩිතුවක්කු මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සමාජ ජාලා වෙබ් අඩවිවල, වීඩියෝ පට වලින් සහ පුවත්පත්වලත් පළකර තිබුණේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා අධික ලෙස බීමතින් මහමග ධාවනය වූ මෝටර් රථයක රියදුරකුට මහමගදී අමානුෂික ලෙස පහර දුන් බවයි.

හේමන්ත රන්දුණු, නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment