SGST බඳු මුදල් වෙනම ගිණුමකට බැර කරන ගැසට්ටුවට විරෝධය – රාජ්‍ය ආයතන 7ක් අද මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතා

270

දේශීය ආදායම්, රේගුව, සුරාබදු ඇතුළු රාජ්‍ය ආයතන 07ක් විසින් එකතු කරන සියලූ බදු නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයකුගේ නමින් විශේෂ භාණ්ඩ හා සේවා බද්ද SGST නමින් විශේෂ ගිණුමකට බැර කිරීමට නිකුත් කර ඇති ගැසට් නිවේදනය අහෝසි කරන ලෙසට බලකරමින් එම ආයතනවල වෘත්තීය සමිති අද (18 දා) මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට දැඩි විරෝධතාවක නිරත වෙයි.

මෙම නව ගැසට් පත‍්‍රය ජනවාරි (7 දා) නිකුත් කර ඇත. මෙමගින් විගණකාධිපතිවරයාගේ අධීක්‍ෂණය යටතේ කි‍්‍රයාත්මක වන බදු ක‍්‍රමවේදයන් ඉවත් කිරීම සහ එම බදු ආදායම රජයේ ඒකාබද්ධ අරමුදලට බැර වන්නේද යන්න පිළිබඳව නිශ්චිත සඳහනක් නොමැතිවීම ගැටලූවක් බව දේශීය ආදායම් සේවා සංගමයේ සම ලේකම් එච්.ඒ.එල්. උදයසිරි මහතා ‘දිවයින’ට ඊයේ (17 දා) පැවසීය.

රාජ්‍ය බදු ආදායම් විශාල වශයෙන් කඩා වැටීමකට ලක්ව ඇති මොහොතක නව බද්ද පරිපාලනය කිරීමේ කටයුතු කුඩා ඒකකයකට සිදුකළ හැකිද යන්න ගැටලූවක් යැයිද හෙතෙම කීය.

මේ අතර ශී‍්‍ර ලංකා සුරාබදු නිලධාරි සංගමයේ සම ලේකම් ජේ. ඒ. ඞී. එන්. ජයකොඩි මහතා කියා සිටියේ සුරාබදු, දේශීය ආදායම්, මෝටර් රථ ප‍්‍රවාහන, රේගුව යන දෙපාර්තමේන්තු සහ විදුලි සංදේශ නියාමන කොමිසම, අපනයන සංවර්ධන මණ්ඩලය, ගවන්තොටුපළ සේවා අධිකාරිය යන ආයතන මෙතෙක් කල් එකතු කළ බදු මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය භාණ්ඩාගාරික ලේකම්වරයකුගේ ප‍්‍රධානත්වයෙන් යුතු නව කුඩා ඒකකයක් බිහිකර එම නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයාගේ නමින් විවෘත කරන ගිණුමකට බැර කිරීමට උත්සාහ කරන බවය.

මෙම ගිණුම ගැන විශ්වාසයක් නොමැතිවීම පමණක් නොව සුරාබදු දෙපාර්තමේන්තුව වසර 109ක් තිස්සේ සිදුකළ කාර්යයන්ගෙන් කොටසක් පවරා ගැනීමට එරෙහිව වෘත්තීය සමිති විරෝධය දක්වන බවද ඒ මහතා කීය.

නව ගැසට් පත‍්‍රය අහෝසි කිරීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී ගනු ලබන වෘත්තීය කි‍්‍රයා මාර්ග සම්බන්ධයෙන් අද වෘත්තීය සමිති සාකච්ඡුා කරන බවද ජයකොඩි මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment